පණ ඇදපු ඉබ්බාට පණ දුන් උත්තම වෙදකුගේ විස්මිත සැත්කම | දිනමිණ


 

පණ ඇදපු ඉබ්බාට පණ දුන් උත්තම වෙදකුගේ විස්මිත සැත්කම

විජයානි එදිරිසිංහ

වේදිත රණසිංහ කුරුණෑගල රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කරන තරුණ වෛද්‍යවරයෙකි. ඔහුගේ බිරිය උදේශි පශු වෛද්‍යවරියකි. වව්නියාව සෙට්ටිකුලම රජයේ පශු වෛද්‍ය රෝහලේ ඇය සේවය කරන්නීය. මේ වෛද්‍ය යුවළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ජීවකයෝය.

‍කුරුණෑගල රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ස්ට්‍රෙවින්ස්කි පෙරේරා මහතා යටතේ සේවය කරන මේ තරුණ වෛද්‍යවරයා සිය ගුරු වෛද්‍යවරයා සමඟ එක දිගට පැය ගණන් රෝගීන්ගේ මොළය සම්බන්ධ ශල්‍යකර්ම සිදුකරයි. රෝගීන්ට අප්‍රමාණ වූ කරුණාවෙන් සලකන වෛද්‍ය වේදිත විවේකයක් තිබුණොත් සිය බිරිය සතුන්ට ප්‍රතිකාර කරන අවස්ථාවල ඇයට එම කටයුතුවලට උදව් කරයි.

පසුගිය දිනයකදී කුරුණෑගල රෝහලේදී පැය හත අටක වෙහෙසකර ශල්‍යකර්මයක් අවසන් කළ වෛද්‍ය වේදිත රණසිංහ රෝහලෙන් නිවස කරා පිටත් වුණේ අලුයම දෙකට - තුනට වගේ වේලාවකය. දැඩි වෙහෙස මහන්සියෙන් සිටියත් ඔහු සිය මෝටර් රථය ඉතාම ප්‍රවේසමෙන් පදවාගෙන ගියා. මාර්ගයේ ටික දුරක් ඉදිරියට යන විට මහ පාර මැද ලේ පෙරාගෙන දඟලමින් සිටි විශාල ඉබ්බෙකු ඔහුට දකින්නට ලැබුණා. රාත්‍රියේ වේගයෙන් ගිය වාහනයකට මේ ඉබ්බා හසු වී මාර්ගය මැද පණ අදිමින් සිටියාය.

වහා වාහනය නතර කළ වෛද්‍යවරයා ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි මේ අසරණ සතා දෑතට ගෙන සිය වාහනයට දමා ගත්තා. වාහනයකට යටවීමෙන් උගේ කටුව මුළුමනින්ම පිපිරී මාරාන්තික තුවාල ලබා සිටියා. මේ අසරණ සත්ත්වයා වාහනයට දමාගෙන නිවෙස කරා ගෙන ගිය මේ උතුම් වෛද්‍යවරයා වෙහෙස මහන්සිය අමතක කර ඌට ප්‍රතිකාර කිරීම ඇරඹුවා.

රාත්‍රියේම සිය බිරියට දුරකතනයෙන් අමතා ඇයගේ ද උපදෙස් පරිදි මූලික ප්‍රතිකාර ලබා දී ඉබ්බා ජල බේසමකට දමා ආරක්ෂාකාරීව තැබුවා. එම සත්ත්වයාගේ ජීවිතය බේරාගැනීමට නම් ශල්‍යකර්මයක් සිදුකර කැඩී බිඳී ගිය කටුව සකස් කළ යුතු විය. එම ශල්‍යකර්මය සිදුකිරීමට නම් පහු වෛද්‍ය රෝහලකට ගෙන යෑමට සිදු වේ. සෙට්ටිකුලම පශු වෛද්‍ය රෝහලේ එම ශල්‍යකර්මය සිදුකිරීමට පසුකම් තිබුණත් රෝගී Òඉබ්බාÓ එම රෝහලට ගෙන යෑමට පැය හතරක පමණ කාලයක් ගතවේ. පැය ගණනක වෙහෙසකර ශල්‍යකර්මයක නිරතව සිට විවේක ගැනීමට නිවෙස කරා පැමිණියත් එම වෙහෙස අමතක කර සෙට්ටිකුලම පශු රෝහලට රෝගියා ගෙන යෑමට වෛද්‍යවරයා තීරණය කෙළේය.

එළිය වැටීමට පෙර සෙට්ටිකුලම පශු රෝහලට රෝගී ඉබ්බා ගෙන යෑමට වෛද්‍යවරයාට හැකි විය. පශු වෛද්‍ය බිරිය ශල්‍යකර්මය සඳහා සියලු දේ සූදානම් කර තිබිණි.

පැය දෙක තනක් ඇතුළත දී සාර්ථක ශල්‍යකර්මයක් සිදුකර සතාගේ තුවාලවලට මැහුම් දමා සිරුර යථා තත්ත්වයට පත්කිරීමට මේ වෛද්‍ය යුවළට හැකි විය. මහමඟ මිය යෑමට ආසන්නව සිටි මේ අසරණ සත්ත්වයාට යළි ජීවිතය ලැබිණි. ඉබ්බා වසර තුන්සියයක් පමණ ආයුෂ ඇති සතෙකි.

සතෙකු නොව මිනිසෙකු වාහනයකට හැපී වැටී සිටියත් නොදුටුවා සේ පළා යන මිනිසුන් සිටින රටක මේ ක්‍රියාව උත්තම ගණයේ එකක් නොවේද? මිනිසුන්ට සේම සතා සිව්පාවන්ටත් ආදරය කරන මෙවැනි වෛද්‍යවරුන් මෙම පිංබිමේ සිටිති. මෙම වෛද්‍ය යුවළගේ උතුම් මානව ගුණයට අපි හිස නමා ආචාර කරමු.

නව අදහස දක්වන්න