ලී ඇණ නිපදවන යන්ත්‍රයක් සාදා රිදී පදක්කමක් දිනූ ශෙහාන් | දිනමිණ


 

ලී ඇණ නිපදවන යන්ත්‍රයක් සාදා රිදී පදක්කමක් දිනූ ශෙහාන්

ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ සහ ලෝක කාන්තා නව නිපයුම්කරුවන්ගේ නව ව්‍යවසායකයන් සංගමය මගින් පසුගිය ඔක්තෝබර් මාසයේදී දකුණු කොරියාවේ සෝල් නුවර ඒ. අයි. සෙන්ටර් හි දී පවත්වනු ලැබූ නව නිපදවීම් පිළිබඳ තරගයෙන් අයගම ගවරගිරිය ගමේ කේ. පසිඳු ශෙහාන් ගුණරත්න දරුවා රිදී පදක්කමක් ලබා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවටත් ගෞරවයක් ලබාදීමට සමත්ව සිටී.

එම තරගය සඳහා රටවල් තිස් හතක් ඉදිරිපත්ව සිටි අතර ශෙහාන්ගේ නව නිපැයුම වූයේ අඩු වියදමකින් සහ අඩු කාලයකින් ලී ඇණ නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයක් නිපදවා ඉදිරිපත් කිරීමයි.

අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශෙහාන් නිරන්තරයෙන් අලුත් යමක් අත්හදා බලා අලුත් යමක් නිපදවීමට උත්සාහ කරන දරුවෙකි. වෘත්තියෙන් වඩු කාර්මිකයෙක් වන තම පියා වඩු නියන උපයෝගී කරගනිමින් 'ලී ඇණ' නිපදවීමට නිරන්තරයෙන් ගන්නා වෙහෙස පිළිබඳ අවධානය යොමු කළ ශෙහාන් බාහිරින් සොයාගත් දේ එක්කාසු කරමින් 'ලී ඇණ' නිපදවන යන්ත්‍රය තනා ඇත. ලී කැබලි එකිනෙකට සම්බන්ධ කිරීමටත් වඩු කාර්මිකයන්ට නිතරම 'ලී ඇණ' අවශ්‍ය වේ. ඒවා නිපදවීමට කාලයක් වැය වෙයි. එමෙන්ම ප්‍රවේශමින් කළ යුත්තකි. එහෙත් යන්ත්‍රය හේතුවෙන් කාලය ඉතුරු වෙනවා පමණක් නොව අඩු වියදමකින් අවදානමක් නොගෙන කාර්යක්ෂමව මනා නිමාවකින් යුත් ඇණ නිපදවිය හැකිය. විදුලිය අවශ්‍ය නැත. 2019 මැයි මාසයේ පැවති පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගයේදී සබරගමුව පළාත් තරගයෙන් ජය ලැබූ ශෙහාන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික තරගයෙන් ද රන් පදක්කමක් ලබා ජයගෙන ඇත. මේ යන්ත්‍රය නිපදවීම සඳහා ශෙහාන් රුපියල් තුන්දාහක් වැනි මුදලක් වැය කර ඇති නමුත් එමගින් ෂෙහාන් ජාතියට දායාද කර ඇති වටිනාකම මුදලින් ගණනය කළ හැකි නොවේ. ශෙහාන්ගේ ඊළඟ අරමුණ වී ඇත්තේ යන්ත්‍රය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමයි. පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ සහ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ද සාමාජිකයෙකු වන ශෙහාන් තමන්ගේ කටයුතු සඳහා උදව් කරන චතුරංග බණ්ඩාර විද්‍යා ගුරුතුමා ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.

කලවාන සමූහ සේන වේරගම

නව අදහස දක්වන්න