ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීමට කැපවෙමු | දිනමිණ


 

ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීමට කැපවෙමු

ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සංහිඳියාව තහවුරු කරගැනීම පිණිස නබි නායක උපන්දිනය ඉවහල් වේවායි තමා ප්‍රාර්ථනා කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

මෙලොව පහළ වූ උත්කෘෂ්ඨ ශාස්තෘවරයකු වන නබි නායකතුමන්ගේ උපන් දිනය ලොව පුරා මුස්ලිම්වරු මෙන්ම සෙසු ජාතීන් විසින් සොම්නස් සහගතව සමරනු ලබති.

මීට සියවස් පහකට පෙර සෞදිඅරාබියේ මක්කම නගරයේදී උපත ලද නබි තුමන් සිය සතලිස් පස්වැනි වියේ පමණ පටන් සිය දේශයේ ප්‍රජාව නිවැරදි ධාර්මිෂ්ඨ මාවතකට යොමු කිරීමට ගත් උත්සාහය නිසා එතුමන් මානව දයාවෙන් පිරිපුන් මනුෂ්‍යයකු ලෙස ප්‍රචලිත විය. අද ලොව පුරා ඉස්ලාම් ධර්මය විහිදී පැතිරීමට එදා නබි නායකතුමන් ගත් පියවර හේතු විය.

තත්කාලීන ලෝකයේ මිනිසුන් තුළ පවතින නොසන්සුන් හා අසංවරභාවය, ආවේගශීලීත්වය, කෘරත්වය හා අසහනය දුරලීමට නබි නායකතුමන්ගේ ධාර්මික ඉගැන්වීම් නිසැකයෙන්ම ඉවහල් වෙයි. ඒ පිළිබඳ ‍ලෝක ප්‍රජාව පුබුදුවාලීමට නබි නායකතුමන්ගේ උපන් දිනය ඉවහල් කර ගත හැකිය.

ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සංහිඳියාව තහවුරු කර ගැනීම පිණිස මේ උතුම් දිනය ඉවහල් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

නව අදහස දක්වන්න