මහින්දට සජිත්ගෙන් අභියෝගයක් | දිනමිණ


 

මහින්දට සජිත්ගෙන් අභියෝගයක්

අපේ රාජ්‍යයේ එක්සත්කම භෞමික අඛණ්ඩතාවය හා ‍ස්වෛරීභාවයට ලොකුම තර්ජනය වන අන්තවාදීන් සමඟ ගිවිසුම්ගතව ඔබ සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේදැයි යන්න පිළිබඳව ප්‍රසිද්ධියේ ජනතාවට කරුණු දක්වන්නැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළේය.

පිල්ලේයාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව, වර්ධරාජා පෙරුමාල් සමඟ ඔබේ රහස් ගනුදෙනුව, කරුණා අම්මා සමඟ ඔබේ රහස් ගනුදෙනුව සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සමඟ ඔබගේ රහස් ගනුදෙනුව කුමක්දැයි පැහැදිලි කරමින් ජනතාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ද සජිත් ප්‍රේමදාස මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කොට තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කළ අභියෝගයේ මෙසේ සඳහන් වේ.

ඔබේ බිය උපදවන මැතිවරණ ව්‍යාපාරයට මහානායක ස්වාමීන්වහන්සේලා ඇදගෙන යෑමට ඔබ ගත් මංමුළාසහගත උත්සාහය මම තරයේ හෙළා දකිමි. මගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු විකෘති කරමින් සහ වැරැදි ලෙස නිරූපණය කිරීමෙන් ඔබ වෙනුවෙන් දේශපාලන විවාදයකට අවතීර්ණ වන ලෙස ඔබ පසුගිය බදාදා මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.

ඔබේ දැන ගැනීම සඳහා, මගේ ප්‍රතිපත්ති ප්‍රකාශ‍නයේ පිටපත් පිරිනැමූ පළමු අය අතර මහානාහිමිවරු ද වූහ. මට මේ රටේ ජනතාවගෙන් සැඟවීමට කිසිවක් නැත.

ඒකීය රාජ්‍යයක් තුළ, උපරිම බලය බෙදාහැරීමට මම කැපවී සිටිමි. මම එය ‘ඒකීය නොබෙදුණු හා බෙදිය නොහැකි රටක්” ලෙස හඳුන්වන්නෙමි. ඔබට එය ‘ඒකීය රාජ්‍යයක්” ලෙස හැඳින්විය හැකිය. අපගේ එකමුතුකම පමණක් නොව, මම නැවත නැවතත් රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී ඇත.

අපේ රාජ්‍යයේ එක්සත්කම, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට මා දකින ලොකුම තර්ජනය වන්නේ අන්තවාදීන්ගේ කල්ලියකි. ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් අපේ ජනතාව බියගැන්වීමට හා බෙදීම ඇතුළුව ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටී.

ඔබ මෙහෙයවන දේශපාලන සන්ධානය අපේ රට මෙතෙක් දැක ඇති සෑම අන්තවාදී වර්ගයකින්ම පිරී තිබේ.

ඔබේ සහෝදර අපේක්ෂකයාට විවාදයකට මුහුණදීමට හෝ කිසියම් වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දීමට ධෛර්යය නොමැති බැවින්, පහත සඳහන් ප්‍රශ්නවලට ඔහු නොදෙන පිළිතුරු, ඔබ ජනතාවට ලබාදිය යුතුය.

1. පිල්ලෙයාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

නත්තල් උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාච්ඥා කරමින් සිටියදී මිනීමැරීම් සිදුකළ පිල්ලෙයාන්ගේ සහයෝගය වෙනුවෙන් ඔබ ඔහුව නිදහස් කරන බවට පොරොන්දු විය.

පිල්ලෙයාන් නැ‍ඟෙනහිර ජනයාගේ ළමයින් පැහැරගෙන ගොස් ඊලාම් වෙනුවෙන් සටන් කිරීමට ඔවුන්ට බල කළා. ඔබ ඔහුව නිදහස් කිරීමෙන් පසු ඔහුට නැවත වරක් නැ‍ඟෙනහිර ජනයාව බියගැන්වීමට ඉඩ දෙන්නේ ද?

2. වර්ධරාජා පෙරුමාල් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

ඔබේ සහෝදරයාට පක්ෂපාතී බවට ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්, මහ ඇමැති ලෙස නීතිවිරෝධී ලෙස ඊලාම් ප්‍රාන්තයක් ප්‍රකාශයට පත් කර ඊලාම් ධජය ඔසවා තැබූ අයෙකි. මේ ඊලාම්වාදියාගේ පක්ෂපාතීත්වය දිනා ගැනීමට ඔබ පොරොන්දු වී ඇත්තේ කුමක් ද?

3. කරුණා අම්මාන් සමඟ ඔබේ රහස් ගනුදෙනුව

පොලිස් නිලධාරීන් 600ක් මරාදැමූ අපගේ අතිශයින්ම පාරිශුද්ධ දළදා මාලිගාවට බෝම්බ හෙළූ සහ අරන්තලාවෙහි භික්ෂූන් ඝාතනය කළ කරුණා අම්මාන් සමඟ ඔබ ඇතිකරගත් රහසිගත ගිවිසුම කුමක් ද?

4. එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සමඟ ඔබේ රහස් ගනුදෙනුව

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධිත ත්‍රස්තවාදියකු බවට ප්‍රකාශයන් හෙළි කෙරෙද්දී ඔබේ සහෝදරයාට දෙවැනි ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම වෙනුවෙන් ඔබ ඔහුට ලබා දුන් රහසිගත පොරොන්දුව කුමක්ද?

නිමක් නැති ජනවාර්ගික ගැටුම්වලින් සිදු වූ විනාශය දුටු ඔබ වාගේ පරිණතභාවයකින් යුත් දේශපාලන නායකයකුට, බලය සඳහා වූ පිපාසයෙන්, පුරවැසියන් අතර බෙදීම් හා නීතියේ ගිනිදැල් වැපිරීමට හැකි වන්නේ කෙසේදැයි මට තේරුම්ගත නොහැකිය.

ජනවාර්ගික හා ආගමික බෙදීම් නොතකා, සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්වී ඉදිරියට යෑම ඔබේ සහ මගේ යුතුකම වන අතර, ඔබේ පටු දේශපාලන වාසි තකා එකිනෙකාට විරුද්ධවීමට ‍ඔවුන්ව පොළඹවා නොගත යුතුය.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකින් බලය අත්පත්කර ගැනීම සඳහා වසරකට පෙර අපේ උත්තරීතර නීතිය පාගා දැමූ දේශපාලකයකුගෙන් අපගේ ස්වෛරීභාවය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳ දේශනවලට සවන්දීම මම ප්‍රතික්ෂේප කරමි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ඔබව ප්‍රතික්ෂේප කළා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සංවත්සරය වන ජනවාරි 8 වන දින එම මැතිවරණය පැවැත්වීම අහම්බයක් යැයි මම විශ්වාස නොකරමි.

මේ ජනාධිපතිවරණය නොවැම්බර් 16 වන දිනට යෙදී තිබීම ඔබේ ඉරණම විය හැකිය. ඔබේ නීති විරෝධී පාලනය පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජය වූ විට ඔබ හා ඔබේ සගයන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද යන්න මුළු රටම දුටු දිනයේ වසරක සංවත්සරයයි.

මේ සංවත්සරයේදී මේ රටේ ජනතාව, ඔබේ බල පිපාසයට වඩා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බව ඔප්පු කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

නව අදහස දක්වන්න