මිලේනියම් චැලේන්ජ් ප්‍රවාහන දියුණු කිරීම්වලින් පමණක් බිලියන 1800ක් ඉතිරියි | දිනමිණ


 

මිලේනියම් චැලේන්ජ් ප්‍රවාහන දියුණු කිරීම්වලින් පමණක් බිලියන 1800ක් ඉතිරියි

ජයසිරි මුණසිංහ

මිලේනියම් චැලේන්ජ් අරමුදලෙන් ලබාදෙන මුදලින්, ප්‍රවාහන අංශයේ වැඩි දියුණු කිරීම් සිදු කිරීමෙන් පමණක් ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 1800ක මුදලක් ඉතිරි කර ගත හැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

දැනට පවතින රථවාහන තදබදය හේතුවෙන් වසරකට රුපියල් බිලියන 1800ක් තරම් අති විශාල මුදලක් රටේ ආර්ථිකයට අහිමිවන බව මොරටුව විශ්වවිද්‍යාලය විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් සොයාගෙන ඇත. ඒ අනුව රටට අහිමිවන බවට ගණන් බලා ඇති මේසා විශාල මුදල ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට ප්‍රවාහන අංශය වැඩි දියුණු කිරීම වැදගත් වෙයි.

ඒ අනුව මෙරට ප්‍රවාහන පද්ධතිය දියුණුවට සහශ්‍ර සංවර්ධන අරමුදලෙන් ලැබෙන ප්‍රදානයන් යොදා ගැනීමට රජය සූදානම් බවත්, එම වැඩපිළිවෙළ මුළුමනින්ම සිදු කරනුයේ ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත බවත් කීය. සහශ්‍ර සංවර්ධන අරමුදලේ ප්‍රදානයන් යොදාගෙන මෙරට ප්‍රවාහන පද්ධතිය කොටස් තුනක් යටතේ දියුණු කිරීමට බලාපොරොත්තු වේ. එම වැඩපිළිවෙළ පැහැදිලි කළ ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

යෝජිත ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 350ක් වෙන්කර ඇති අතර, එමගින් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන සඵලතාව දෙයාකාරයකින් වැඩි දියුණු කිරීම අරමුණු කර ඇත. පළමුව, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අඩු කිරීමට අදහස් කරන අතර, එමගින් එම ප්‍රදේශවල ජනතාවට ජීවත්වීමට සුදුසු වටපිටාවක් ඇති කිරීමට බලාපොරොත්තු වේ. දෙවනුව මෙමගින් රටෙහි මධ්‍ය ප්‍රදේශය සහ බස්නාහිර පළාතේ වරායන් සහ වෙළඳ පොළ අතර සම්බන්ධය වඩා වර්ධනය කෙරේ. මේ ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු කරනු ඇති අතර, එය ප්‍රධාන කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක වේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග අටක ප්‍රවාහන කාර්යක්ෂමතාව උපරිම තලයට ගෙන ඒම සඳහා නවීන ගමනාගමන කළමනාකරණ පද්ධතිය මගින් දැනට පවතින මාර්ග ජාලය භෞතික හා තාක්ෂණික වැඩි දියුණු කිරීම සිදු කරයි. මේ ක්‍රියාවලිය මගින් වාහන හඳුනා ගැනීම, ධාවනය වන රථවාහන පිළිබඳ එම අවස්ථාවේදීම දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය, අන්තර් සම්බන්ධිත රථවාහන ආලෝක සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම, බස් ප්‍රමුඛතා මංතීරු යන කටයුතු සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදෙනු ලබයි. නවීන ගමනාගමන කළමනාකරණ පද්ධතිය අධික වාහන තදබදයක් පවතින ලෝකයේ ප්‍රධාන නගරවල පදිකයන්, භාණ්ඩ හා මගීන්ගේ ආරක්ෂිත ගමනාගමනයන් තහවුරු කිරීමට වඩාත් සුදුසු මෙවලමක් බව සනාථ කර ඇත. මේ ව්‍යාපෘතිය මගින් කොළඹ හා තදාසන්න ප්‍රදේශයෙහි කිලෝමීටර් 205ක පමණ දුරක විහිදී ඇති මංසන්ධි 132ක් වැඩි දියුණු කිරීම හා රථවාහන කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් ඵලදායී රථවාහන කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ.

බස් ප්‍රවාහන සේවය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක වියදමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශයෙහි බස් ප්‍රවාහන සේවාව නවීකරණය කෙරේ. වර්තමානයේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශයෙහි මුළු මගී දුර ප්‍රමාණයෙන් 45%ක ප්‍රමාණයක් බස් සේවාව සතුවන අතර, අඩු ආදායම් ලාභීන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය බස් ප්‍රවාහනයයි. මේ ව්‍යාපෘතිය මගින් ස්වයංක්‍රීය ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයක්, ඒකාබද්ධ කාලසටහනක්, GPS තාක්ෂණය මගින් බස් රථ අධීක්ෂණය කිරීම සහ වැඩිහිටියන්, කාන්තාවන්, ආබාධිත සහ අනෙකුත් අනතුරුවලට භාජනය විය හැකි කණ්ඩායම් සඳහා ආරක්ෂාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ. තවද අති නවීන බස් රථ මිලදී ගැනීම සඳහා MCC ආයතනය මගින් තිරසාර මූල්‍ය අරමුදලක් පිහිටුවීමට ද අපේක්ෂා කෙරේ.

මධ්‍යම වටරවුම් මාර්ග ජාල ව්‍යාපෘතිය මගින් අමෙරිකානු ඩොලර් මිලියන 140ක වියදමින් ජාතික මහා මාර්ගයන්හි කිලෝමීටර් 131ක් නවීකරණය කිරීමෙන් සබරගමුව, ඌව සහ මධ්‍යම යන පළාත් බස්නාහිර පළාතේ ඇති වරායන් හා වෙළෙඳ පොළ සමඟ සම්බන්ධ කෙරේ. තවද මේ මාර්ග ජාලය තුළින් නැ‍ඟෙනහිර ජනතාවගේ ප්‍රවාහනය සඳහා ද පහසුකම් සැලසෙනු ඇත. මේ ව්‍යාපෘතිය තුළින් සංචාරක හා කෘෂිකාර්මික අංශයන්ගේ මධ්‍යස්ථානයක් මෙන්ම ජනවාර්ගික විවිධත්වය සහ දරිද්‍රතාව කේන්ද්‍ර කරගත් රටේ අභ්‍යන්තර ප්‍රදේශය විශාල වූ ප්‍රතිලාබයක් ලබා ගනු ඇත.

නව අදහස දක්වන්න