ත්‍රිවිධ හමුදා ශ්‍රමයෙන් තැනෙන සියලු ඉදිකිරීම් දූෂණයෙන් තොරයි | දිනමිණ


 

ත්‍රිවිධ හමුදා ශ්‍රමයෙන් තැනෙන සියලු ඉදිකිරීම් දූෂණයෙන් තොරයි

ත්‍රිවිධ හමුදා ශ්‍රමයෙන් සිදු කෙරෙන ඉදිකිරීම් සම්පුර්ණයෙන්ම දූෂණයෙන් වංචාවෙන් තොර ඒවා බවත් රුපියල් කෝටි හයදහසක් වැය කර පොළොන්නරුවේ ඉදි කරන ලද පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන සැලසුමේ සියලු ඉදිකිරීම් යුද හමුදාව ප්‍රමුඛ  ත්‍රිවිධ හමුදාවේ ශ්‍රමයෙන් ඉදි කළ නිසා එම සංවර්ධන ව්‍යාපෘතිය වංවාවෙන් දූෂණයෙන් තොරව සිදු කිරීමට හැකිවීම විශ්වකර්ම වැඩක් බවත් පැවැසීය.

ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අකුරගොඩ ප්‍රදේශයේ අලුත් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කිරීම නිසා එම ගොඩනැගිල්ල ගොඩනඟන තෙක් යුද හමුදාවේ විවිධ අංශ කුලී පදනම මත වෙනත් පෞද්ගලික ස්ථානවල පවත්වාගෙන යෑමට සිදුවීමෙන් මසකට රුපියල් මිලියන හතළිස් දෙකක පමණ මුදලක් ගෙවීමට සිදු වූ බව ජනාධිපතිවරයා පවසයි.

මීට වසර අටකට පමණ පෙර සියලු ත්‍රිවිධ හමුදා මූලස්ථාන එක් තැනක පිහිටුවිය යුතු බවට කරන ලද යෝජනාවක් මත අකුරගොඩ ප්‍රදේශයේ එම ස්ථානය තෝරාගෙන ඉදිකිරීම් ආරම්භ කළ බව පැවැසූ ජනාධිපතිවරයා මෙතරම් විශාල මුදලක් ගෙවීමට සිදුවීම නිසා මේ ඉදිකිරීම් කඩිනම් කිරීමට තමා විසින් උපදෙස් ලබා දුන් නමුත් භාණ්ඩාගාරය මගින් ලබා දෙන මුදල් ප්‍රමාණය අනුව මේ ඉදිකිරීම් සිදු කළ බව පැවැසූ ජනාධිපතිවරයා ගුවන් සහ නාවික හමුදා මූලස්ථාන සහ මෙහි ඉතිරි ඉදිකිරීම් අවසන් කිරීමට තවත් වසර දෙකක් පමණ ගත වන බවද පැවැසීය.

ජනාධිපතිවරයා මේ කරුණු හෙළිදරවු කළේ ඊයේ (8) නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මෙහි දී ජනාධිපතිවරයා අතින් යුද හමුදා මූලස්ථානය විවෘත කරනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් ගෞරවාචාර පෙළපාළියක් ද වෙඩි මුර 21 ද පවත්වා ආගමික වතාවත් මධ්‍යයේ විවෘත කිරීම සිදුවිය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මේ නව යුද හමුදා ගොඩනැගිල්ල විවෘත කිරීම සිදුවිය.

නවීන ලී කැටයම් ලී වර්ගවලින් ද නව තාක්ෂණය යටතේ සියලු පහසුකම් ද සහිතව ඉදිකර ඇති යුද හමුදා මූලස්ථාන භූමියේ තවත් කොටසක නාවික සහ ගුවන් හමුදා මූලස්ථානද ඉදිකෙරෙමින් පවතී.

ජනාධිපතිවරයා මෙහි දී විශේෂයෙන් පවසා සිටියේ මෙවැනි දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ගෞරවය යුද්ධ හමුදා සිවිල් ඉංජිනේරුවන් සහ යුද්ධ හමුදා ශ්‍රමය මත සිදු කිරීමට හැකි වූ නිසා එය අගය කළ යුතු දෙයක් බවයි.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පොලිස් යන සියලු ආරක්ෂක අංශ එහි සිටි නිසා ඔවුන් අමතා කතා කරමින් පස් වසරක් ජනාධිපතිවරයා වශයෙන් සේවය කළ මාහට තවත් එම තනතුරේ කටයුතු කිරීමට ඉතිරිව ඇත්තේ දින අටක් පමණයි. එම නිසා එම කාලය තුළ ආරක්ෂක අංශවලට සම්බන්ධ කටයුතු ඉතාමත් සාර්ථක ලෙස කරගෙන යෑමට සහයෝගය දුන් සියලු ආරක්ෂක අංශවලට තම ස්තූතිය පළ කරන බවද කියා සිටිමින් පසුගිය පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් මේ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම වළක්වා ගනිමින් සිදු වූ අපරාධය වළක්වා ගැනීමට ඉඩ තිබුණ බවත් කිහිප දෙනකුගේ නොසැලකිල්ල නිසා මේ ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූ බවත් කියා සිටියේය.

විජයානි එදිරිසිංහ, සදුනි රණසිංහ සහ කෝට්ටේ මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න