නබිතුමන්ගේ ජන්ම සංවත්සර දිනය නිමිත්තෙන් පණිවිඩ | දිනමිණ


 

නබිතුමන්ගේ ජන්ම සංවත්සර දිනය නිමිත්තෙන් පණිවිඩ

නබි දර්ශනය දිවියට ආදර්ශයක් කරගනිමු 
- ජනපති

සියලු සත්ත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමානන්ගේ දර්ශනය අප සෑම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතුවේවායි මිලාද් උන් නබිතුමන්ගේ ජන්ම සංවත්සර දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

එම පණිවිඩයේ මෙසේ ද දැක්වේ.

මිලාද් උන් නබි හෙවත් මුහම්මද් නබිතුමාගේ ජන්ම සංවත්සරය, ලෝකය වඩාත් යහපත් කිරීම සඳහා එතුමාගේ ඉගැන්වීම් ගැන සිහිපත් කිරීමට උචිත අවස්ථාවකි.

එතුමාගේ ඉගැන්වීම වූයේ කිසිදු පුද්ගලයකු තවත් පුද්ගලයකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේ ද පහත් වන්නේ ද නැති බවයි. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව නබිතුමාණෝ දේශනා කළහ.මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබිතුමා, සූරාකෑමට එරෙහි විය. ඩහදිය වේලෙන්නට පෙර කම්කරුවන්ට හිමි වේතන අඩු නොකොට ලබා දිය යුතු යැයි එතුමා කීය.ස්වකීය ‍ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් එකිනෙකා අතර භේදය හා වෛරය වගා දිගා වූ මෙකල අප සියල්ලන්ගේ පරමාදර්ශයට යෝග්‍යය.සියලු සත්ත්වයනට ආදරය දැක්වීමේ නබිතුමානන්ගේ දර්ශනය අප සැම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපැයීමට හේතු වේවායි පවසමින්, එතුමාගේ මේ වාර්ෂික ජන්මෝත්සවය දිනයේ හෘදයාංගමව ශුභ ප්‍රාර්ථනා කරමි. ශ්‍රී ලාංකේය මුස්ලිම් සහෝදර ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාම් බැතිමතුනට ද මාගේ ගෞරවය හා ප්‍රණාමය පළ කරමි.


අන්තවාදයෙන් තොර සමාජයක් ගොඩනඟමු 
- අගමැති

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් නබිනායකතුමන්ගේ උපන් දිනය සමරන මේ මොහොතේ, එතුමන්ගේ ජීවන දැක්ම සහ අධ්‍යාත්මික වටිනාකම අනුව යමින් සියලු අන්තවාදයන් පරදවා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට සමස්ත සමාජය පූර්ණ දායකත්වය ලබා දෙනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මිලාදුන් නබි උත්සවය සමරන්නා වූ සහෝදරයා මුස්ලිම් ජනතාවට තම හෘදයාංගම සුභාශිංෂණ පිළිගන්වන අතර, ඉස්ලාම් ඇදහිල්ලට අනුව දෙවියන් වහන්සේ තොරාගත් අවසන් නබිවරයා වන මුහම්මද් නබි නායකතුමා, සාමය, සංහිඳියාව, මනුෂ්‍යත්වය සපිරි සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් ස්වකීය ජීවිතය කැප කළ විශිෂ්ට ආගමික ශාස්තෘවරයෙක්.

එවකට ගෝත්‍රික අර්බුද නිසා භේදභින්නව පැවැති අරාබි ජනතාවට සහෝදරත්වයේ, සාමයේ, පරිත්‍යාගයේ, ජීවිත වටිනාකම හඳුන්වා දෙමින් සාමකාමී සමාජයක් ගොඩනැංවීමට එතුමා දැරූ උත්සාහය අද අපටත් අගනා ආදර්ශයකි. ධර්මය හා ජීවිතය දෙකක් නොව එකක් විය යුතු බව පෙන්වා දුන් එතුමා අධ්‍යාත්මික නායකයකු වන්නාසේම ධාර්මික දිවියක සෑබෑ සමාජයීය අරුත පසක් කොට දුන් විශිෂ්ට සමාජ නායකයෙක් ද වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වෙයි.

නව අදහස දක්වන්න