ඇතැම් විද්යුත් මාධ්‍ය ජනාධිපතිවරණයට බාධා වන අයුරින් කටයුතු කරනවා | දිනමිණ


 

ඇතැම් විද්යුත් මාධ්‍ය ජනාධිපතිවරණයට බාධා වන අයුරින් කටයුතු කරනවා

මානෙල් පුෂ්ප කුමාරි

ඇතැම් විද්‍යුත් මාධ්‍ය නිදහස් ගුවන් කාලය භාවිතකරමින් ජනාධිපතිවරණයට සහ මාධ්‍ය නිදහසට බාධා වන අයුරින් කටයුතු කරන බව සඳහන් කරමින් ඊට එරෙහිව පියවර ගන්නා ලෙස දක්වමින් නාරාහේන්පිට පිහිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට පසුගියදා(7) ප්‍රජාතත්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ සම කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා ඇතුළු පිරිස විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ පිළිබඳ පැමිණිල්ලක් භාර දීම සිදු කෙරිණි.

රටේ තීරණාත්මක මැතිවරණයක් සේ සැලකෙන ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඒ සඳහා කාලවකවානු නියම කර ඇති පසුබිමක මේ රටේ විද්‍යුත් මාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳ දේශපාලන තලයේ මෙන්ම පොදු සමාජයෙහි ද බලවත් සංවාදයක් මතුව තිබෙන බව පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව ප්‍රජාතත්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ සම කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා පැවසීය.

එහිදී මේ පිළිබඳ සාකච්ඡා කර ලබන සතිය වන විට මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ කොමිෂන් සභාවට සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා තිබේ.

මේ මොහොතේ විද්‍යුත් මාධ්‍ය තුළ හිතාමතා කරුණු විකෘති කිරීමක් කරන බවත් මාධ්‍යයට අදහස් දැක්වූ සුනිල් ජයසේකර මහතා ජනමාධ්‍ය සංස්කෘතියට කරන නිගාවක් බව ද කීය. ජනතා අපේක්ෂාවන්ට බරපතළ හානි කරන මෙම අගතිගාමී තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නේ නම් මහත් භාග්‍යයක් බව ද හෙතෙම කීය.

ප්‍රවීණ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, ප්‍රවීණ මාධ්‍යවේදිනී දීප්ති අධිකාරී මහත්ම මහත්මීන් ද වෘත්තීය සමිති සංගමය වෙනුවෙන් ලේක්හවුස් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ‍.

 

නව අදහස දක්වන්න