වැසීගිය තේ කර්මාන්ත ශාලා යළි ඇරැඹීමට සහන ලබා දෙනවා | දිනමිණ


 

වැසීගිය තේ කර්මාන්ත ශාලා යළි ඇරැඹීමට සහන ලබා දෙනවා

වැසීගිය තේ කර්මාන්තශාලා නැවත ආරම්භ කරීමට සහන ලබාදී තේ කර්මාන්තය නැවත නගා සිටුවීමට‍ පියවර ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

බදු පිළිවෙත් හේතුවෙන් පීඩාවට පත්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සරල බදු ක්‍රමයක් හදුන්වාදී සහන සලසා රටේ ආර්ථිකය උසස් මට්ටමකට ගෙන ඒම තම ඉලක්කය බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත බන්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් වේදිකාවට එක්වූහ.

නව ප්‍රජාත්‍රරන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා (07) දෙණියාය, අකුරැස්ස යන ප්‍රදේශවල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැලි අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

දෙණියායට නව ක්‍රීඩාංගනයක් සහ රෝහලක් ඉදිකිරීමට මා බලාපොරොත්තු වෙනවා. බලප්‍රදේශයේ තේ සහ ගම්මිරිස් වගාවේ විශාල පිරිසක් නිරත වී සිටිනවා. අපි කෘෂිකාර්මාන්තයේ විශාල විප්ලවයක් කරන්න යනවා. සෑම සුළු අපනයනය බෝගයකටම නිෂ්චිත මිලක් ලබාදෙනවා. ඒ හරහා තේ, ගම්මිරිස් ගොවියා ආරක්ෂා වනවා.

තේ කර්මාන්තශාලා දෙණියාය ප්‍රදේශයේ වැඩි වශයෙන් ඉදිකරන්නට මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තේ කර්මාන්තයට බලපාන සියලුම ප්‍රශ්න විසදීමට මා පොරොන්දු වනවා. තේ කර්මාන්තශාල ප්‍රතිසංස්කරණය කර තේ කර්මාන්තයේ දියුණුවක් ඇතිකීරීම අපේ අරමුණයි.

මම කියන හෑම දෙයක්ම කරන්න මහා භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා. අපි හොරකම, දූෂණය නතර කර අපේ රටේ සල්ලි ජනතාවගේ සුබ සෙත සදහා අපි යොදාගන්නවා.

සෑම පෙරපාසලක් සදහාම සම්පත් ලබාදී නිදහස් නිවහල් පෙරපාසල් අධ්‍යාපනයක් කරනවා. පෙර පාසල් දරුවන්ට නොමිලේ ආහාර සහ ඇදුම් ලබාදීමට කටයුතු කරනවා.

සාගල රත්නායක මහතා මාගෙන් ඉල්ලීමක් කළා දෙණියාය බලප්‍රදේශයේ උප නගර දියුණු කිරීම පිළිබඳව මා එම ඉල්ලීම ඉටු කරනවා. දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ සෑම උප නගරයක්ම දියුණු කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගියදා ජනගත කළා. එහි අඩංගු වී තිබෙන්නේ 25 වසරක මා දේශපාලන ජීවිතයේ අත්දැකපු දේවල්. උදාගම්මාන වැඩසටහන හරහා ගම් නියන්ගම් වල ඇවිදිමින් පොදු ජනතාවගේ හදුනාගත් ගැටලු සදහා විසදුම් ලබාගතහැකි ලෙසයි එම ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කළේ.

රට ජාතිය බේරාගත් සැබෑ යුධ වීරයා සරත් ෆොන්සේකා මහතායි. අපි එතුමාට රටේ ආරක්ෂාවේ වගකීම භාරදෙනකොට රණවිරුවන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සුභසාධනය පුද්ගලිකව මා ජනාධිපති කර්‍යසාධක බලකාය හරහා බලනවා. මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, කුඩු කාරයින්ට, කප්පම් කාරයින්ට අපේ රටේ ඉඩක් නෑ. සැමට එක් නීතියක් ලෙස මේ රටේ විනාශකාරී බලවේග සියල්ලක් අපි විනාශ කරනවා.

මා ප්‍රතිවාදී අපේක්ෂක තුමාට විවාදයකට ආරාධනා කළා සජීවි විවාදයකට. හැබැයි අද වෙනතුරු උත්තරයක් නෑ.

සජිත් ප්‍රේමදාස කාටවත් යටත් වෙලා වැඩකරන කෙනෙක් නෙමෙයි. මගේ කර පිට වෙනත් රටවල් වල නීති රීති ක්‍රියාත්මක කරන්න අවශ්‍යයයි කියන බර නෑ. කාටවත් බෑ ඇගිලි දික්කරන්න ලංකාවට. සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල් ශ්‍රී ලංකා පුරවැසියෙක් කියා ප්‍රකාශ කරනවා.

මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහිකරන්න ජනතව ලබාදෙන සහයෝගය මා කිසිදු දිනක අමාතක කරන්නේ නෑ.

එම අවස්ථාව සදහා මැති ඇමතිවරුන් වන සාගල රත්නායක, විජිත් විජයමුනි සොයිසා, රන්ජන් රාමනායක, මර්වින් සිල්වා, බුද්ධික පතිරණ, කඹුරුපිටිය ආසන සංවිධායක ප්‍රියන්ත කුමාර ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.

අසේල ලියනගේ, තෙලිජ්ජවිල සමූහ හා අකුරැස්ස මධ්‍යම විශේෂ 
ජායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න