‘බුල්බුල්’ දිවයිනෙන් ඉවත් වන ලකුණු | දිනමිණ


 

‘බුල්බුල්’ දිවයිනෙන් ඉවත් වන ලකුණු

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුල්බුල් සුළි කුණාටුව, ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ බංගලාදේශ වෙරළට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, හේතුවෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

මේ අතර, හල්දුම්මුල්ල හරංකහව ප්‍රදේශයේ නායයාමකින් පවුල් 8ක පුද්ගලයින් 35 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රැඳවීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.ඒ.එම්.උදය කුමාර සඳහන් කළේ, හල්දුම්මුල්ල – සොරගුණේ මාර්ගය ද තාවකාලිකව වසා දමා ඇති බව ය.

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව ය.

ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

                                                   මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                           2019 නොවැම්බර් මස 09 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල විශේෂයෙන් උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

                              ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                              2019 නොවැම්බර් මස 09 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “බුල්බුල්” ඉතා චණ්ඩ සුළි කුණාටුව උතුරු අක්ෂාංශ 19.5ත් නැගෙනහිර දේශාංශ 87.7ත් ආසන්නයේ පවතී. එය ඉදිරි පැය 24 තුළ උතුරු දෙසට ගමන්කර ඉන්දියාවේ බටහිර බෙංගාල සහ බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

උතුරු අක්ෂාංශ 15ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 84ත් 94ත් අතර මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි, ඉතා තද සුළං සමඟ මුහුදු ප්‍රදේශ දල රළු විය හැක. නොවැම්බර් 11 වනදා දක්වා නාවික හා ධීවර ප්‍රජාවට (විශේෂයෙන්ම බහුදින ධිවර යාත්‍රාවලට) ඉහත මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසට උපදෙස් දෙනු ලබන අතර මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.(20-40) පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

නව අදහස දක්වන්න