හුස්ම හිරවුණු දිල්ලිය | දිනමිණ


 

හුස්ම හිරවුණු දිල්ලිය

ධම්මික සෙනෙවිරත්න

දිල්ලිය යනු ලොව දෙවන විශාලම ජනගහනය සහිත නගරයයි. ඉන්දියාවේ මිලියන 2.5 ක් දෙනා මියගොස් ඇත්තේ පරිසර දූෂණය හා සම්බන්ධ රෝගී තත්ත්ව නිසා බව 2015 දී සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් විය. කෙසේ වුවද දීපාවලි උළෙලට පෙර දිල්ලිය ඉන්දියාවේ පාරිසරිකව දූෂිතම නගර 10 අතරට අයත්ව නොතිබිණි. දීපාවලි උළෙලට පසුව මේ තත්ත්වය වෙනස් වී තිබේ.

මිලියන දහඅටක ජනගහනයක් ජීවත්වන දිල්ලියේ අහස් ගැබ කහපැහැ බ්ලැන්කට්ටුවක් ඇතිරුවාක් මෙන් දිස්වූ වායු දූෂණ තත්ත්වය දින ගණනාවක් තිස්සේ මුළුමනින් පහව ගොස් නැත. නගර වීදි මීදුමෙන් වැසී ගියාක් බඳු තත්ත්වයක් පවතිද්දී පාසල් වසා දැමීමට ද නවදිල්ලිය බලා පැමිණෙන ගුවන් යානා ගණනාවක් හරවා යැවීමට ද සිදුවිය. වායු දූෂණය කොපමණ ඉහළ ගොස් පවතී ද කිවහොත් එම වායු දර්ශක මාපකවල ඩිජිටල් ඉලක්කම්වලින් දැක්විය හැකි උපරිමය ද ඉක්මවා ගියේය. උතුරු ඉන්දියාවේ වායු දූෂණය දරාගත නොහැකි මට්ටමට ළඟාවී ඇති බව පවසන නවදිල්ලි මහ ඇමැති අර්වින්ද් කෙජ්‍රිවාල්, දිල්ලිය ‘වායු කුටීරයක්’ බවට පත්ව ඇතැයි කියා සිටී.

දිල්ලියේ වීදි පුරා දැකිය හැක්කේ මුව ආවරණ පැලැඳි මිනිසුන්ය. දිල්ලි සෞඛ්‍ය ඇමැති සත්‍යෙන්දර් ජායින් ජනතාවට උපදෙස් දී ඇත්තේ දොර ජනෙල් වසා තබන ලෙස හා සවස් කාලයේදී එළිමහනේ ගැවසීමෙන් වළකින ලෙසය. නිවසින් පිටතට පැමිණෙන්නේ නම් මුව ආවරණ පැලැඳ සිටින ලෙසට සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

පිදුරු ගිනි තැබීම

නාගරික පරිසරයේ වායු දූෂණය ඉහළ නැඟීමට ප්‍රකට හේතු වශයෙන් හඳුනාගන්නේ වාහනවලින් පිටවන දුමාරය, කම්හල්වලින් පිටවන දුම වැනි කාරණාය. එවැනි හේතූන් නිසා නවදිල්ලියේ පමණක් නොව ඉන්දියාවේ ප්‍රාන්ත රැසක වායු දූෂණය ඇත්තේ දරාගැනීමට අසීරු හෝ සෞඛ්‍යයට අහිතකර මට්ටමකය. එසේ තිබියදී හදිසියේ උද්ගත වූ මේ තත්ත්වයට හේතු විමසා බැලූ බලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ පසුගිය දිනවල අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙළාගැනීමෙන් පසු විශාල වශයෙන් පිදුරුවලට ගිනි තබා ඇති බවය. අමතර කාරණයක් ලෙස හඳුනාගෙන ඇත්තේ දීපාවලී උළෙල වෙනුවෙන් විශාල වශයෙන් ගිනිකෙළි දැල්වීමය. මේ කාරණා දෙක විසින්ම හුස්ම ගැනීමට අපහසු තත්ත්වයක් දිල්ලි වැසියන් තුළ ඇතිකිරීමට සමත් විය. වායු දූෂණය ඉහළ මට්ටමකට ඇතැයි කියැවෙන චීනයේ බෙයිජිං නගරය මෙන් හත් ගුණයක් දිල්ලියේ වායු දූෂණය ඉහළ ගොස් ඇති බව ගණනය කර තිබේ.

මේ වන විට අධිකරණය මඟින් පිදුරු ගිනි තැබීම තහනම් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇත්තේ බලධාරීන් එකිනෙකා වෙතට වගකීම් පවරා ගනිමින් බෝලය පාස්කරමින් සිටින බවය. ඔවුන් මේ ප්‍රශ්නය ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුකර නැති බව ද අධිකරණය කියා තිබිණි. බලධාරීන් විසින් නිසි පියවර ගෙන නොමැති බව පෙනී යන තත්ත්වයක් යටතේ විශේෂයෙන් තරුණ ප්‍රජාව ද දිල්ලි වැසියන් ද එක්ව විරෝධතා ක්‍රියාමාර්ගවලට ද අවතීර්ණව සිටී.

ලොව වායු දූෂණය අධිකම නගර 30 න් 22 ක්ම ඇත්තේ ඉන්දියාවේය. පරිසරවේදිනියක් වන භාරතී චතුර්වේදී පවසන්නේ වායු දූෂණය තවමත් ඉන්දියාවේ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව නැති බවය. ඊට හේතුව වශයෙන් ඇය පෙන්වා දෙන්නේ, සමාජ - ආර්ථික කාරණා සම්බන්ධයෙන් හඬ නඟමින් වීදියේ උද්ඝෝෂණ කිරීමට කෝපයෙන් පසුවන විශාල පිරිසක් තවමත් එහි ගොනුවී නැති බවය. කෙසේ වුවද සමාජ මාධ්‍යවල නම් එම විරෝධයේ පිළිබිඹුව දිස්වේ.

මේ දිනවල ඔවුන් බලා සිටින්නේ මෝසම් වැසි ඇදහැලෙනතුරුය. වැසි සමඟ මෙම අයහපත් පරිසර තත්ත්වය ද පහව යාම සිදුවේ. එසේම පෙබරවාරි වන විට සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ පැහැබර කාලගුණයකි. පැහැදිලි අහසකි. එවිට වායු දූෂණය නිසා විඳි දුක් පීඩා මෙන්ම අපහසුතා අමතක වීම සම්ප්‍රදාය වී තිබේ. මේ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ද මේ වෙනස්වන ස්වභාවය බලපා ඇත. එසේම, වායු දූෂණය අන්තරාදායක අන්දමින් ඉහළ ගොස් තිබියදී පවා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද බැහැර කරන හෝ නොතකාහරින විශාල පිරිසක් ඉන්දියාවේ සිටී. ඔවුහු මේ අනතුර නිසි ලෙස වටහා නොගනිති. එහි බලපෑම් ඛේදනීයය. ලොව පුරා වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව ජීවිතයෙන් සමුගන්නා පිරිස මිලියන 4.2 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සංඛ්‍යාලේඛන පෙන්වා දේ. දුමාරය හේතුවෙන් ආඝාතය, හෘද රෝග, දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පීඩාවිඳින ප්‍රමාණය මෙන්ම පෙනහළු පිළිකා හා ශ්වසන ආබාධවලට ලක්වන ප්‍රමාණය වැඩිවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

දීපාවලියේ බලපෑම

දිල්ලිය යනු ලොව දෙවන විශාලම ජනගහනය සහිත නගරයයි. ඉන්දියාවේ මිලියන 2.5 ක් දෙනා මියගොස් ඇත්තේ පරිසර දූෂණය හා සම්බන්ධ රෝගී තත්ත්ව නිසා බව 2015 දී සිදුකළ අධ්‍යයනයකින් හෙළිදරව් විය. කෙසේ වුවද දීපාවලි උළෙලට පෙර දිල්ලිය ඉන්දියාවේ පාරිසරිකව දූෂිතම නගර 10 අතරට අයත්ව නොතිබිණි. දීපාවලි උළෙලට පසුව මේ තත්ත්වය වෙනස් වී තිබේ. ඉන්දියාවේ හිතකර වායු තත්ත්වයන් සහිත නගර ඇත්තේ 4 ක් පමණි. ඉන් 2 ක්ම පිහිටා ඇත්තේ කේරළයේය. ඉන්දීය අගනුවර වන නවදිල්ලියේ කම්හල් 4000 ක් පමණ පිහිටා තිබේ. ඉන් ඇතිවන පරිසර දූෂණය අවම කිරීමට ඒවා ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි ඉන්දීය අධිකරණයේ අවධානය යොමුව තිබේ.

වායු දූෂණය ද ඇතුළුව පරිසර දූෂණය හේතුවෙන් උද්ගතව ඇති ප්‍රතිවිපාක හමුවේ දේශපාලනඥයන් විශාල වශයෙන් මුනිවත රකිමින් සිටියදී ඊට එරෙහිව පෙරට පැමිණ සිටින්නේ අධිකරණයයි. නගර වීදිවල මෝටර් රථ ධාවනයට සීමා පැනවීමෙන් පමණක් වායු දූෂණය වැළැක්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. එම වැඩපිළිවෙළ අත්කර දී ඇති ප්‍රතිඵල අධිකරණයට වාර්තා කරන ලෙසට ද බලධාරීන්ට නියෝග කර ඇත. 

නොසැලකිල්ල

වායු දූෂණය නිසා දිල්ලිය වාර්ෂිකව පීඩා විඳීමට පටන්ගෙන තිබියදී රාජ්‍ය යාන්ත්‍රණය අක්‍රීයව ඇති බවත් පෙනෙන්නේ යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අරුන් මිස්රා පවසා ති‍බිණි. එසේම පරිසර දූෂණය අවම කිරීම වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ ඉන්දියානුවන් දක්වන නොසැලකිල්ලද අධිකරණයේ දෝෂදර්ශනයට ලක්වී ඇත. නිදසුනක් ලෙස ජපානයේ වායු සමීකරණ සෙල්සියස් අංශක 25 ට අඩු මට්ටමක ක්‍රියාත්මක කිරීම තහනම් වුවද ඉන්දියාවේ සෙල්සියස් අංශක 16 දක්වා ද වායු සමීකරණ මඟින් උෂ්ණත්වය පාලනය කරන බව ද අධිකරණය පෙන්වා ‍දී තිබේ.

මේ නොසැළකිලිමත් තත්ත්ව වළක්වා ගැනීම පිණිස නව දඩ මුදල් පැනවීමට ද පියවර ගෙන ඇත. කාර් රථ සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසි උල්ලංඝනය කළහොත් ඉන්දීය රුපියල් 4000 ක දඩ මුදලක් පැනවීම සිදුවේ. මහ ඇමැති අර්වින්ද් කෙජ්‍රිවාල් විශ්වාසය පළකරන්නේ නව රෙගුලාසි හේතුවෙන් සැලකිය යුතු මෝටර් රථ සංඛ්‍යාවක් මහ මඟට පිවිසීමෙන් වළකිනු ඇති බවය.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් බොහෝ දේශපාලනඥයන් උකටලීව සිටියදී කෙජ්‍රිවාල් යම් වැඩකොටසක් ඉටුකරන බව දිස්වේ. ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වූ විට වායු දූෂණය පිළිබඳ නව පනතක් රැගෙන ඒමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයකු වන ගවුරව් ගොගොයි සූදානමින් සිටී. දැනට ක්‍රියාත්මක පනත 1981 දී සම්මත කරන ලද්දකි. එය පදනම්ව ඇත්තේ එක්සත් ජනපදයේ පිරිසිදු වායු පනත (1963) මතය. ගොගොයිගේ නව පනත සම්මත වනු ඇත්දැයි නිශ්චිතව කිව නොහැකිය. එහෙත් අවම තරමින් මේ කාරණා පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇතිවීම වුවද සැලකිය යුතු තත්ත්වයකි. ඉන් මේ ප්‍රශ්නය කෙරෙහි යම් අවදිවීමක් ඇතිවන නිසාය.

අනාරක්ෂිත ජනතාව

රූගත කිරීමක් සඳහාම දිල්ලියට පැමිණ සිටි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා මුහුණු ආවරණයක් පැලැඳසිටින සේයාරුවක් ද සහිතව සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා තිබුණේ මේ දිනවල එම රූගත කිරීම් දුෂ්කර වී ඇති බවය. මේ තත්ත්ව යටතේ දිල්ලියේ ජීවත්වීමට කැමැති වන්නේ කෙසේදැයි සිතා ගැනීමට නොහැකි බව ද ඇය කියා තිබිණි. සිය සේයාරුවට යටින් ඇය ලියා තිබ‍ුණේ නිවාස අහිමි අය වෙනුවෙන් යාච්ඤා කරන්න! ඔවුන් සැවොම ආරක්ෂිතව සිටිත්වා යනුවෙන් පතන්න! යනුවෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ආරක්ෂිත මට්ටම තිස් ගුණයකින් ඉක්මවා තිබියදී දිල්ලියේ ජීවත්වන හිසට සෙවණක් අහිමි ජනයාගේ තත්ත්වය කොපමණ කනගාටුදායක දැයි පැවැසීම දුෂ්කරය. ප්‍රවීණ සිනමා නිළි රිසී කපූර් ද දිල්ලිය පත්ව ඇති තත්ත්වය පිළිබඳ සංවේදී වෙමින් සටහනක් තබා තිබිණි.

දිල්ලියේ පාසල් නැවත විවෘත කිරීමට ඉකුත් බදාදා බලධාරීන් පියවර ගත්තේ තත්ත්වය තරමක් යහපත් අතට හැරෙමින් තිබූ බැවිනි. වායු දූෂණය ඝන මීටරයකට මයික්‍රො ග්‍රෑම් 400 ක් තරම් බරපතළ අන්තරාදායක මට්ටමක සිට මයික්‍රොග්‍රෑම් 175 පමණ තෙක් පහත වැටුනද එයද සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයකි. ඉකුත් 3 - 4 දිනවල පැය 24 ක් ආවරණය වන පරිදි කළ මැන බැලීමෙන් වායු දූෂණය වැඩිම ප්‍රාන්තය ලෙස හර්යානා ප්‍රාන්තය හඳුනා ගැනිණි. ජින්ද් නගරයේ එම මට්ටම ඝන මීටරයට මයික්‍රොග්‍රෑම් 448 ක් විය. දිල්ලියේ එය 407 කි.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නවදිල්ලියේ සියලු ඉදිකිරීම් මෙන්ම කැළිකසළ හා පිදුරු වැනි අපද්‍රව්‍ය පිළිස්සීම තහනම් කර තිබේ. කිසිවකු හෝ අනවසරයෙන් ඉදිකිරීමක යෙදුණහොත් රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරෙනු ඇත. එමෙන්ම ප්‍රාදේශීය පාලනාධිකාරයට වගකීම බාරගැනීමට සිදුවනු ඇත. දිල්ලියේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ පැවැති අධිකරණ විභාගයේදී අනාවරණ වූයේ දීපාවලි දිනයේ වායු දර්ශකවල එම මට්ටම හිතකර (කොළ) පරාසයේදී පැවැති නමුත් රාත්‍රී කාලයේදී එය දරුණු මට්ටමට ළඟාවූ බවය. ඊට ගිනිකෙළි බලපෑ බව හඳුනා ගැනුණේ එමඟිනි. පරිසර සංරක්ෂණය වෙනුවෙන් පවතින නීති ශක්තිමත් කිරීම මෙන්ම අවශ්‍ය නම් නව නීති පැනවීම ද විය යුතුය. එසේ වුවද ඊටත් වඩා අවශ්‍ය කරන්නේ මිනිසුන්ගේ දෛනික රටාව මහ පොළවට බරක් නොවන පරිදි පවත්වා ගැනීම හා පරිසර සංරක්ෂණය පිළිබඳ ආකල්මය වෙනස්කම් ඇතිකර ගැනීමය. නිදහසේ හුස්මක් ගැනීමට නොහැකි වී ඇත්තේ එසේ වීමට අප අසමත්ව ඇති නිසාය.

නව අදහස දක්වන්න