මග තොටේ දී පවා හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා | දිනමිණ


 

මග තොටේ දී පවා හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා

නදුනි කරු­ණා­ති­ලක

 දෙරණ නාළිකාව ඔස්සේ සති අන්තයේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’හි ‘නිරාශා‘ චරිතයට පණපොවන නදුනි කරුණාතිලක රසිකාදරය දිනාගත් නවක නිළියන් අතර ප්‍රමුඛ ය .

 

ඔබ මේ දිනවල විකාශය වන ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයේ රඟපෑමට වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ටෙලිනාට්‍ය විකාශය වෙලා දින දෙක තුනක් යද්දී රසික ප්‍රතිචාර ගොඩක් ලැබුණා. මග තොටේදී පවා බොහෝ දෙනෙක් අපිව අඳුරගෙන කතා කරනවා.

කොහොමද ඔබ මේ නාට්‍යයට සම්බන්ධ වුණේ?

මම ‘දෙවෙනි ඉනිම’ කියන ටෙලි නාට්‍යයට චරිතයකට සම්බන්ධ වුණා. මට දිලූක ප්‍රසාද් ගුණතිලක මහත්මයාගෙ පෝය දින ටෙලිනාට්‍ය කිහිපයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉන්පසුව ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ නාට්‍යට සම්බන්ධ වෙන්න කියලා දෙරණෙ ලක්සිරි වික්‍රමගේ සහ චරිත් කොතලාවල මහත්වරු මට ආරාධනා කළා. එය දිලූක ප්‍රසාද් ගුණතිලක මහත්මයාගේ අධ්‍යක්ෂණයක්.

ප්‍රවීණ සහ ආධුනික කලා ශිල්පීන් හා එක්ව වැඩ කිරීම මොනවගේ අත්දැකීමක් ද?

මට වැඩිපුර රඟපාන්න තියෙන්නේ ප්‍රවීණ නිළි ගීතා කාන්ති ජයකොඩි මහත්මිය එක්ක. මට එතුමියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණ ආධුනික කියලා නෑ. අපි හරි සහයෝගයෙන් වැඩ කරනවා.

ටෙලිනාට්‍යයේ දියණියගේ පියාගේ චරිතය රඟන ‘දිනූෂ දිසානායක‘ සැබෑ ජීවිතයේ ඔබේ සැමියා වුණු මතකය අවධි කළොත්?

මගේ සැමියා දිනූෂ, දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 තරගයේ අවසන් දස දෙනා අතරට තේරුණු කෙනෙක්. ඔහුට දෙරණෙ රාජිකා ක්‍රිෂාන්ති මහත්මිගේ ආරාධනයක් ලැබුණා. ඊට පස්සේ දිලූක ප්‍රසාද් මහත්මයාට සම්බන්ධ කෙරුණා. ඔහු මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ ඒ විදියටයි. අපි දෙන්නා විවාහ වෙන්න කලින් ඉඳන්ම මොවුන් සමඟ පෝය නාට්‍යවල වැඩ කළා. අපි මේ නාට්‍යයට අපි සම්බන්ධ වුණේ නම් විවාහයෙන් පසුව .

කතාවේ සිටින ‘චූටි දුව‘ ගැන මොනවාද කියන්න තියෙන්නෙ?

චූටි දුව ඉතින් හරිම හුරතල් වගේම දක්ෂ දරුවෙක්. ඇය එක්ක රඟපාන එකත් හරිම ලේසියි.

රූගත කිරීම් අතරතුර සිදුවුණ අමතක නොවන සිදුවීම් තියෙනවද?

ඔව්, තියෙනවා. එක් දර්ශනයක නාට්‍යයේ මගේ සැමියා ලෙස රඟන කාවිංග මට කම්මුල් පහරක් ගසන අවස්ථාවක් තියෙනවා. ඒකෙදි පළවෙනි රූගත කිරීමේදී මට ඇත්තටම කම්මුල් පාර වැදුණා. ඇත්තටම මම වැටුණා. මට ඇඬුණෙත් ඇත්තටමයි. ඒ වෙලාවෙ එතනින් එහාට මට දෙබස් ටිකත් අමතක වුණා.ඒක මට අමතක නොවන සිදුවීමක්.

ඔබ රංගනය හදාරලා තියනවද?

මම රංගනය ගැන විශේෂ හැදෑරීමක් කරලා නෑ. නමුත්, ඉදිරියට ඒ ගැන වැඩිදුර හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දැනට හදාරන්නේ සංගීතය. මම සෞදර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. වසර හතරක පමණ කාලයක ඉඳලා ‘බ්‍රයිඩ්ල් මොඩ්ලිං‘ කරනවා.

මෙගා නාට්‍ය සම්බන්ධයෙන් ඔබේ අදහස් මොනවද?

මෙගා නාට්‍යවල රඟපාද්දි රංගන ශිල්පීන් එක තැනක හිර වෙනවා වගේ ස්වභාවයක් තියෙනවා. ඒවා දීර්ඝව ඇදෙන නිසා. නමුත්, ප්‍රසිද්ධිය පැත්තෙන් බලනකොට මෙගා නාට්‍ය හොඳයි. පෞද්ගලිකවම මෙගා ටෙලිනාට්‍යවලට විශේෂ කැමැත්තක් නෑ.

විදේශීය ටෙලි නාට්‍ය මෙරට විකාශනය වීමත් සමඟ අපේ ටෙලි නිර්මාණත් හරසුන් ඒවා බවට පත් වෙලා නේද?

එහෙම ප්‍රශ්නයක් මේ කලා ක්ෂේත්‍රයේ තියෙනවා. අපේ රටේ ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා. නමුත්, ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත වෙනස් වෙලා. විදේශ නිර්මාණ හා අපේ හරසුන් ටෙලි නිර්මාණ ප්‍රේක්ෂකයින් ප්‍රතික්ෂේප කරනවා නම් අපේ රටේ තව තවත් හරවත් නිර්මාණ බිහි වේවි. ප්‍රේක්ෂකයාගෙ රසය කොතනද කියන එක හඳුනා නොගත්තොත් ටෙලි නාට්‍ය කලාව සමාජයට යහපත් දේවල් දායාද කරන්නේ නෑ.

පෞද්ගලික ජීවිතය ගැන ටිකක් කතා කළොත්?

මම දැන් පදිංචි වෙලා ඉන්නෙ නුවර. මගේ පවුලේ ඉන්නෙ, නංගිලා දෙන්නයි, අම්මයි, තාත්තයි. විවාහයට ප්‍රථමයෙන් මගේ පසුපසින්ම හිටියේ තාත්තා. ඒක මට ලොකු හයියක් වුණා. මගේ පියා මට දුන් සහයෝගය අමතක වන්නේ නෑ. දැන් මගේ පසුපසින්ම ඉන්නේ මගේ සැමියා. ඔහුත් මට ලොකු සහයෝගයක් දෙනවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?

දැනට මට ටෙලිනාට්‍ය දෙකකට විතර ආරාධනා කරලා තියෙනවා. නමුත්, දැනට මම මූලික තැන දීලා තියෙන්නෙ ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයට.

 

සංවාදය - යශෝදා ඉන්දීවරී

සංස්කරණය

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න