සිනහ වෙන්න | දිනමිණ


 

සිනහ වෙන්න

 

මිනිසා, සිය ජීවිතයේ පළමුවෙන්ම අරඹන්නේ කථනය නොව සිනහවයි. කථන කාර්යය සඳහා අවශ්‍ය අවයව ශක්තිමත් වීමට පළමුව මිනිසා එකිනෙකා සමඟ සම්බන්ධතා පවත්වන්නේ සිනහවෙනි. උපතින් දින 17ක් පමණ ගෙවෙන විට කුඩා දරුවකු සිනහසීමට වෑයම් කරන බව තහවුරුවී ඇත. බිහිරි සහ අන්ධ අත දරුවන්ට පවා සිනහසීමේ හැකියාව තිබේ.

 

මිනිසුන්ගේ උරුමයක් ද?

ඔබ සිතන්නේ, සිනහව මිනිසාට පමණක් උරුම වූවක් බවද?. කිති ගතිය ඇති ඇතැම් සතුන්ට කිතිකවන විට, එම සතුන් අමුතු ආකාරයේ ප්‍රතිචාර දක්වන බව විද්‍යාඥයෝ පවසති. එකී ප්‍රතිචාර සමාන වන්නේ සිනහවකට බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගෝරිල්ලා පදනමේ සභාපති පෙනී පැටර්සන් පවසන්නේ ඇතැම් ගෝරිල්ලන් "හො..හො.." යනුවෙන් ශබ්ද නිකුත් කරන බවයි. එය සිනහවකට ආසන්න හඬ නිකුත් කිරීමක් බව දැක් වේ. සමහර මී විශේෂ කිති කවමින් සිනහා ගැන්විය හැකි බව විද්‍යාඥයෝ පවසති.

සිනහව මොළයේ වැඩක්!

සිනහව මොළය මඟින් පාලනය කෙරෙන ක්‍රියාවලියකි. එක්සත් රාජධානියේ ලන්ඩන් කොලේජ් විශ්වවිද්‍යාලයේ ස්නායු පිළිබඳ විද්‍යාඥ සොෆී ස්කොට්, සිනහව සහ මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකර ඇත. මේ පර්යේෂණයෙන් ඈ පෙන්වා දෙන්නේ හඬ නඟා සිනහසෙන විට මුහුණේ පේශීවල ඇතිවන චලන සියල්ලක්ම පාලනය වන්නේ මොළයෙන් බවයි.

කැලරි දහනය කිරීමේ හැකියාව

දිනකට දහ පහළොස් වරක් හඬ නඟා සිනහවෙන්නට හැකි නම් කැලරි 40කට ආසන්න ප්‍රමාණයක් දහනය වන බව විද්‍යාඥයන් තහවුරු කරගෙන තිබේ. දහනය වන එම කැලරි ප්‍රමාණය සමාන වන්නේ මධ්‍යම ප්‍රමාණයේ චොකලට් බාර් එකකින් ශරීරයට ලැබෙන කැලරි සංඛ්‍යාවටයි. දිනකට මිනිත්තු 15ක් පමණ සිනහසෙන්නට හැකි නම් ශරීරයෙන් දිනකට මේදය කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් දහනය වන බව ඇතැම් අධ්‍යනවලින් තහවුරුව ඇත.

බෙහෙතක්!

සිනහව ඖෂධයක් බව බොහෝදෙනෙක් නොදනිති. වයස අවුරුදු හැට ගණන් සහ හැත්තෑ ගණන්වල පසුවන අයවලුන් හඬ නඟා සිනහසෙන විට ඔවුන්ගේ ස්මරණ ශක්තිය වැඩි වන බව ඇමෙරිකාවේ ලොමා ලින්ඩා විශ්වවිද්‍යාලයේ විද්වත්හු පිරිසක් පෙන්වා දෙති. ප්‍රහසන චිත්‍රපට නරඹන විට සිනහසෙන ප්‍රේක්ෂකයන්ගේ රුධිර වාහිනීවල ක්‍රියාකාරීත්වය වැඩිවන බවත් රුධිර සංසරණය වේගවත් වන බවත් ඇමෙරිකාවේ මේරිලන්ඩ් වෛද්‍ය පාසලේ විද්වත්හු සඳහන් කරති.

ලෙඩ මැඩීමේ හැකියාව

රෝග රැසක් වැළඳීමට ඇති අවදානම අඩු කර ගැනීමට සිනහව වැදගත් වේ. ආතතිය සමනය කිරීමට, සිනහව හේතු වන බව බොහෝදෙනෙක් නොදනිති. අධික රුධිර පීඩනය පාලනයට, ඇතැම් හෘද රෝගාබාධා පාලනයට, කාංසා තත්ත්ව නැති කිරීමට මෙන්ම නිදා ගැනීමේ අපහසුතා සහ ආසාත්මිකතා නැති කිරීමටත් සිනහව වැදගත් වේ.

ආයුෂ වැඩි කරයි

ප්‍රතිකාරවලට අමතරව, පිළිකා රෝගීන්ට ඔවුන්ගේ මානසික ශක්තිය වැඩි දියුණු කිරීමේ වැඩ පිළිවෙළ ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වේ. එම වැඩපිළිවෙළ යටතේ එම රෝගීන් වෙනුවන් ධනාත්ම චින්තන වැඩසටහන් මෙන්ම සිනහසීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ. සිනහසීමේ වැඩසටහන් මේ සඳහා ඇතුළු කර තිබෙන්නේ, සිනහව පිළිකා රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට හේතු බව අනාවරණය වී ඇති නිසයි.

ගැඹුරු සිනහවකින් හදවත නිරෝගී වේ

උදරය ප්‍රදේශය හකුළුවමින් ඉතා ගැඹුරින් සිනහසෙන විට එමඟින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑමක් ඇති වේ. එවැනි සිනහවක් නැඟෙන විට පෙනහළු ඔක්සිජන්වලින් පිරේ. එසේ එක්රැස් වන ඔක්සිජන් ශරීරයේ සෛලවල ක්‍රියාකාරීත්වයට හේතු වේ. තත්පර කිහිපයක් දිගැති, ගැඹුරු සිනහවක් නඟන්නට හැකි නම් ශරීරය "යළි ආරෝපණය" වීමක් හෙවත් "රී - චා(ර්)ජ් වීමක්" කෙරෙන බව වෛද්‍යවරු පවසති. එවැනි අවස්ථාවකදී හෘදය ක්‍රියාකාරීත්වයත් සිරුරේ ඔක්සිජන් පරිභෝජනයත් වැඩි වේ.

සන්නිවේදනයට පහසුවක්

අනවශ්‍ය හැඟීම් නිසා ඇතිවන පීඩාකාරී තත්ත්ව මඟහරවා ගැනීමට මිනිසාට තිබෙන හොඳම මඟ සිනහසීමයි. කෙනෙකු සැහැල්ලුවෙන් හඬ නඟා සිනහසෙන විට ඒ පුද්ගලයා කෙරෙහි සෙසු අය තුළ ඇතිවන්නේ ධනාත්මක සිතුවිල්ලකි. එවැනි පුද්ගලයකු සමාජයට වඩාත් විවෘතයැයි පිළිගැනේ. ඔවුන් සමඟ විහිලු තහලු කරමින් සන්නිවේදනයේ යෙදීම ද පහසු ය.

වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය

හොඳින් සිනාසෙන්නේ නම් සම්මුඛ පරීක්ෂණ ආදියට මුහුණදීම ඔබට පහසු වේ. එවැනි අවස්ථාවකදී ඇතිවන ආතතිය නැති කරගැනීමටත්, ස්වයං විශ්වාසය ගොඩනඟා ගැනීමටත් සිනහව තරම් තවත් දෙයක් ඔබට නැත. එමඟින් ඔබට ඔබේ සන්නිවේදනය පහසු කෙරේ. සිනහවට පුද්ගලයන් ආකර්ෂණය වන නිසා ඔබ පුද්ගල සබඳතා හොඳින් හසුරුවා ගන්නා අයකු බව සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්නන්ට අවබෝධ වනු ඇත. සිනහව ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරන්නට බෙහෙවින් උපකාරී වන්නකි.

 

අන්තර්ජාලය ඇසුරෙනි මංජුලා විජයරත්න

 

නව අදහස දක්වන්න