පුරවැසිභාවය! | දිනමිණ


 

පුරවැසිභාවය!

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකන් පුරවැසිභාවය පිළිබඳ ගැටලුව යළිත් සංවාදයට ලක් ව තිබේ. ගැටලුව වඩාත් තීව්‍ර තත්ත්වයකට පරිවර්තනය වී ඇත්තේ ඉඟුරුවත්තේ සුමංගල හිමියන් උපවාසයක් ආරම්භ කිරීමත් සමඟ ය. ගරුතර හිමියන්ගේ ඉල්ලීම වන්නේ ගෝඨාභය මහතා අමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් බවට පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කළ යුතුය යන්න ය. එසේ පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කළ නොහැකි නම්; ඒ මහතා ජනාධිපති තරගයෙන් ඉවත් විය යුතු බව ද ඒ හිමියෝ කියා සිටිති. ගෝඨාභය මහතා සමඟ පෞද්ගලික එදිරිවාදිකමක් නැති බව ද; කිසිදු දේශපාලන බලපෑමකින් තොරව මේ උපවාසයෙහි යෙදෙන බව ද උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරති. .

සුමංගල හිමියන්ගේ උපවාසය මෙන් ම ප්‍රශ්න කිරීම ද සාධාරණ යැයි සිතන්නට කරුණු තිබේ. අමෙරිකන් පුරවැසියකු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීම නීතියට පටහැනි ක්‍රියාවකි. ගෝඨාභය මහතා කූට ලේඛන ඉදිරිපත්කොට ස්වකීය අපේක්ෂකත්වය ලබාගෙන ඇතැ’යි මතයක් ද මහජනයා අතර පවතී. මේ මගින් අනෙකුත් අපේක්ෂකයන්ට අගතියක් සිදුවීමට ඉඩ ඇතැ’යි මතයක් ද මහජනයා අතර පවතී. මීට අදාළ නිශ්චිත විසැඳුම ලබාගත හැකි මාර්ග දෙකක් ඇතැ’යි බැලූ බැල්මට පෙනී යයි. එක්කෝ අමෙරිකන් තානාපති කාර්යාලය උක්ත කරුණ ගැන පැහැදිලි කිරීමක් කළ යුතු ය. එසේ නැතහොත් ගෝඨාභය මහතා ඉදිරිපත් වී එය සිදු කළ යුතුය.

අමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්නා තැනැත්තකුගේ නම ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කරන බව බොහෝ දෙනකු දන්නා කාරණයෙකි. එහෙත් මේ වනතුරු ප්‍රකාශයට පත් වූ ගැසට් පත්‍රවලට ගෝඨාභය මහතාගේ නම ඇතුළත් වී නැත. එය ප්‍රශ්නකාරී බව පිළිගත හැකි ය. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ගෝඨාභය මහතා වෙනුවෙන් කරුණු දක්වා ඇත. එහිදී යම් ලේඛන ප්‍රමාණයක් ද, අවලංගු කළ විදේශ ගමන් බලපත්‍රයක් ද මාධ්‍ය සභාවට පෙන්වා තිබේ. එහෙත් ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර නැත. මේ අතර අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නීතිඥ අලි සබ්රි මහතා වෙත තවත් ප්‍රශ්න පත්‍රයක් යොමු කර ඇත. මහජනයාට නෛතික තර්ක පිළිබඳ වැටහීමක් නැත. ඔවුන්ගේ සෘජු ප්‍රශ්නය වන්නේ ගෝඨාභය මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ද යන්න ය.

අමෙරිකන් පුරවැසියකු රටේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වේ යැයි බියක් පැතිර යන්නේ කුමන හේතු - සාධක මත ද යන්න සොයා බැලිය යුතු කාරණයෙකි. අමෙරිකන් පුරවැසිභාවය ලැබූ තැනැත්තා අමෙරිකාව සුරක්ෂිත කිරීමට ද, අමෙරිකාව වෙනුවෙන් පෙනී සිටීමට ද දෙවියන් ඉදිරියේ දිව්රා පොරොන්දු වන බව කියති. දෙවියන් ඉදිරියේ දිවුරා පොරොන්දු දීම බරපතළ කාරණයක් ලෙස සමාජය පිළිගනිති. එබඳු තැනැත්තකුගේ මාතෘ භූමිය විය යුත්තේ අමෙරිකාව මිස වෙනත් රටක් නො වන බවට ද තර්කයක් ගොඩනැඟිය හැකි ය. එබඳු තැනැත්තකු ශ්‍රී ලංකාව සුරක්ෂිත කිරීමට ඉදිරිපත් වන්නේ කෙසේ ද? අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර මතුවන ගැටලුකාරී අවස්ථාවක දී ඔහු කෙබඳු තීරණයක් ගනී ද? වැනි උභතෝකෝටික ප්‍රශ්න මහජනයා තුළ පැන නඟින්නට පුළුවන.

රටේ සැබෑ දේශප්‍රේමීන් තුළ යම් තරමක අමෙරිකන් විරෝධයක් පවතී, ඊට හේතුව ලෝක බලවතා ලෙස අමෙරිකාව ගෙන යන දෙබිඩි ප්‍රතිපත්තිය යැයි කිව ‍හැකි ය. අමෙරිකාවට පක්ෂපාත පුද්ගලයන් කෙරෙහි අපේ සමාජය තුළ පිළිගැනීමක් හෝ ගෞරවයක් හෝ නැත. එබඳු පුද්ගලයන් හැඳින්වීම සඳහා සී. අයි. ඒ. කාරයා යන නම යොදනු ලැබේ. සී. අයි. ඒ. කාරයා යනු අමෙරිකාව උදෙසා ඔත්තු බලන පුද්ගලයා යන්න ය.

දේශපාලන වේදිකාව තුළ සිදු වන ඇතැම් ජවනිකා දෙස බලන විට දේශප්‍රේමීන් කවුද? දේශද්‍රෝහීන් කවු ද? සොයා ගැනීම අපහසු ය. දේශප්‍රේමීන් හිටගෙන ඇති වේදිකාවේ ම පැරණි ත්‍රස්තවාදීහු සිටිති. අන්තවාදීහු සිටිති. ඊළාම් කොඩිය ඔසවා රට බෙදීමට උත්සාහ කළ අය ද සිටිති. ජාතික චින්තනයේ නිර්මාතෘවරු සේ ම අමෙරිකාවට එරෙහි ව උපවාස කළ අය ද සිටිති. මෙබඳු සන්දර්භයක් තුළ සැබෑ දේශප්‍රේමියා නිශ්චිත ව හඳුනාගත හැකි ක්‍රමවේදයක් නැත. ජනතාව තුෂ්ණීම්භූත වී ඇති බවක් පෙනෙන්නට තිබේ. එබඳු වටපිටාවක සිටින පුද්ගලයන් ගෝඨාභය මහතාගේ අමෙරිකන් පුරවැසිභාවය නැවත - නැවත ප්‍රශ්න කිරීම අරුමයක් හැටියට සැලැකිය නො හැකි ය.

රටේ නීතිය, අධිකරණය හා පොලිස් දෙපාර්තමේන්තුව කුමන තීන්දු - තීරණ ලබා දුන්නද ඒවා ඒ හැටියෙන් ම පිළිගැනීමට මහජනයා සූදානම් නැත. මහජනයාගේ විශ්වාසය ඇත්තේ වෙනත් තැනෙක යැයි කිව හැකි ය. මහජන විශ්වාසය නඩු තීන්දුවකින් පමණක් ගොඩනැ‍ඟෙන්නේ නැත. මේ තත්ත්වය මැතිවරණයක් සඳහා වඩාත් තීව්‍ර ලෙස බලපානු ඇතැ’යි සිතන්නට පුළුවන. ගෝඨාභය මහතා කෙරෙහි යම් අවිශ්වාසයක් ගොඩනැඟී තිබේ ද? එය ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය කෙරෙහි ඉඳුරා බලපානු ඇත. එයින් මිදිය හැකි එක ම ක්‍රමය වන්නේ ගෝඨාභය මහතා ම ඉදිරිපත් වී අදාළ නෛතික සාධක ප්‍රසිද්ධ කොට අමෙරිකන් පුරවැසිභාවයක් තමන්ට නැතැ’යි සනාථ කිරීම ය. ඉන් එහා විසැඳුමක් පෙනෙන්නට නැත.

 

නව අදහස දක්වන්න