ප්‍රීමා කුසලානය බස්නාහිරට | දිනමිණ


 

ප්‍රීමා කුසලානය බස්නාහිරට

නායක ෂෙවෝන් ඩැනියෙල්ගේ සුපිරි පිතිහරඹය සහ සජිත විතානගේ පන්දුවෙන් පෑ දස්කම් හේතුවෙන් අන්තර් පළාත් අවුරුදු 15න් පහළ එක්දින ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ප්‍රීමා කුසලානය අත්කර ගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ වයඹ පළාත් කණ්ඩායමේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් කණ්ඩායම ඕවර 47කදී ලකුණු 249ක් රැස් කළ අතර ජයග්‍රහණය හඹා ගිය වයඹ පළාත් පිල ඕවර 25කදී කඩුලු 6කට ලකුණු 100ක් ලබා සිටියදී වර්ෂාව පතිත විය. ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ජයග්‍රහණය සඳහා වයඹ පළාත් පිල ඒ වනවිට ලකුණු 169ක් ලබා ගත යුතුව තිබිණ.

බස්නාහිර පළාත් ඉනිම ඉහළට ඔසවා තැබූ නායක ෂෙවෝන් ඩැනියෙල් පන්දු 49කදී ලකුණු 84ක් රැස් කිරිමට සමත්වූ අතර ආරම්භක පිතිකරු යුගලය වූ රුසිරු විලෝචන සහ ශාන් දාබරේ පළමු කඩුල්ලට ලකුණු 55ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. මැදපෙළ ශක්තිමත් කළ සමිත චතුර වේගවත් ලකුණු 31ක් රැස් කළේය.

පන්දු යැවීමේදී වයඹ පළාත් පිලේ නායක චතුමාල් ප්‍රනාන්දු ලකුණු 27කට කඩුලු 3ක් දවාලීමට සමත්විය. විශ්ව රාජපක්ෂ සහ තිමිර විරාන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

වයඹ පළාත් පිල වෙනුවෙන් ගයාන් වීරසිංහ ලකුණු 35ක් රැස් කළ අතර නෙත්මාල් ද සොයිසා ලකුණු 25ක් ලබා ගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සජිත විතානගේ ලකුණු 24කට කඩුලු 3ක් දවාලීමට සමත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වයෙන් පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

නව අදහස දක්වන්න