ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී දිනේෂ් ප්‍රියන්තට රිදී පදක්කමක් | දිනමිණ


 

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී දිනේෂ් ප්‍රියන්තට රිදී පදක්කමක්

ප්‍රින්ස් ගුණසේකර

ඩුබායි හිදී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්කමක් දිනා ගනියි. පිරිමි හෙල්ල විසිකිරීමේ F46 (එක් අතක් අහිමි) ඉසව්වේ මීටර් 60. 59ක් හෙල්ල විසිකොට දිනේෂ් ප්‍රියන්ත මෙම දක්ෂතාව දැක්විය. මෙහි රන් පදක්කම ඉන්දියාවේ සුන්දර් ගුර්ජාර් මීටර් 61. 22කින් හා ලෝකඩ පදක්කම ඉන්දියාවේම අජේ සිංග් මීටර් 59. 46කින් දිනාගත්හ.

දිනේෂ් ප්‍රියන්ත පළමු උත්සහයේදීම උපරිම දක්ෂතාව සටහන් කළ අතර සුන්දර් ගුර්ජාර් අවසන් උත්සහයේදී රන් පදක්කමට ළඟාවිය. ඔහු අවසන් උත්සහය දක්වාම දිනේෂ් ප්‍රියන්තට වඩා පසුපසින් සිටියේය.

ඩුබායි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක් හා ක්‍රීඩිකාවක් සහභාගීවී සිටින අතර ක්‍රීඩා ඉසව් මේ 15වැනිදා දක්වා පැවැත්වේ.

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝහී නිමාව දුටු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් දිනාගත් අතර රජයෙන් රුපියල් ලක්ෂ 25ක් හා ඔහුගේ පුහුණුකරු රෝහිත බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 6ක් පිරිනැමුණි.

එයට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 15ක් හා පුහුණුකරුට රුපියල් ලක්ෂ 3.5ක්, පැරා ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන ඩයලොග් ආයතනයෙන් ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 10ක් හා පුහුණුකරුට රුපියල් ලක්ෂ 2.5ක් පිරිනැමීය.

එහිදී පිරිමි හෙල්ල විසිකිරීමේ F46 (එක් අතක් අහිමි) ඉසව්ව මීටර් 58.23කින් නිම කරමින් දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

නව අදහස දක්වන්න