ඉල් පුර පසළොස්වක පොහොය දිනය | දිනමිණ

ඉල් පුර පසළොස්වක පොහොය දිනය

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල්වුණු ශ්‍රේෂ්ට දිනයකි. එසේම වස්සාන ඍතුවේ අවසාන පොහොය වන්නේද ඉල් පුන් පො‍හෝ දිනයයි. පොහෝ දිනයේ ශාසන ඉතිහාස‍ෙය් සඳහන් පරිදි පූජනීය සිද්ධි අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.

ධර්මදූත සේවය

බරණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන්වහන්සේ වස් පවාරණයකොට ප්‍රථම ධර්මදූත පිරිස වූ රහතන්වහන්සේලා හැට නම අමතා “මහණෙනි, බොහෝ දෙනාට හිතසුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස චාරිකාවෙහි හැසිරෙන්න. මුල, මැද, අග යහපත් වූ අර්ථවත් වූ පරිපූර්ණවූ ධර්මය දේශනා කරන්න.” සම්බුද්ධ ධර්මය ලෝකයාට හඳුන්වාදීමේ ප්‍රථම ධර්මදූත මෙහෙය ආරම්භ කළේ ඉල් පුන් පොහොය දිනයකය.

මෛත්‍රී ‍බෝසත්තුමා විවරණ ලැබීම

දේවාව රෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් හා භාග්‍යවතුන්වහන්සේ සහ සැරියුත් මහරහතන් වහන්සේ අතර ඇතිවූ ප්‍රශ්න විසර්ජන කථා ඇසීමෙන් වප් පුන් පොහෝ දින මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ දහසක් පමණ වූ පිරිවර සමඟ ගොස් පැවිදි වූහ. පසු කලෙක, චීවර මාසයේ අවසානයේදී ඉතා අගනා වස්ත්‍ර යුගලක් තමන්වහන්සේට ලැබුණි. චීවර දානයේ අනුසස් දත් බෝසතාණන් වහන්සේ ඒ වස්ත්‍ර යුගලයෙන් එකක් තථාගතයන් වහන්සේ වැඩසිටින ගන්ධ කුටියෙහි වියන් බැඳ අනෙක් වස්ත්‍රය ඉරා වියන් කෙළවර එල්ලා බැඳ බුදුන්වහන්සේට පූජා කොට වැඩ සිටියහ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ මේ උදාර පුණ්‍යක්‍රියාව සර්වඥතාඥානයෙන් දුටු බුදුන්වහන්සේ ආර්යය මෛත්‍රී භික්ෂුව අමතා “ඔබ මේ කල්පයෙහිම මෛත්‍රී නමින් බුදුවන්නේය” යැයි විවරණ දී වදාළ සේක. ඒ මෙවැනි පොහොය දිනයකය.

පවාරණය

පෙරවස් පවාරණය සහ පසුවස් පවාරණය යනුවෙන් පවාරණය දෙවැදෑරුම් වේ. ඇසළ පුන් පොහෝදා පොහොය කොට අව පෑළවියදා පෙරවස් සමාදන්ව වස් හොඳින් ආරක්ෂාකොට වප් පුන් පොහෝ දින මහා පවාරණයෙන් පවාරණය කිරීම පෙරවස් පවාරණය ලෙස ද නිකිණි පුන් පො‍ෙහාය දා පොහොයකොට අව පෑළවිය දා පසුවස් සමාදන්ව ඉල් පුන් පොහොය දා පවාරණය කිරීම පසුවස් පවාරණය ලෙස ද හඳුන්වයි. චීවර මාසයේ අන්තිම දිනය වන ඉල් පුන් පොහෝ දින, උදාර පුණ්‍යකර්ම රාශියක් බොදු උවැසි උවැසියෝ සිදු කරති.

සැරියුත් මහරහතන් වහන්සේගේ පිරිනිවීම

භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස්වන වස් කාලය බේලුව ගමෙහි ගතකොට මහා පවාරණයෙන් පවාරණයකොට ජේතවනාරාමයට වැඩම කළ කල්හි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුන් වහන්සේට වැඳ මෙසේ සිතන්නට වූහ. “පළමුකොට බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පානා සේක්ද, නැතහොත් අග්‍රශ්‍රාවකයෝ පිරිණිවන්පානාසේක් දැයි දිව්‍යමය මනසින් විමසා බැලූකල අවබෝධ වූයේ අගසවු දෙනම බුදුන්වහන්සේට පෙර පිරිණිවන්පානා බවය. සාරිපුත්ත තෙරුන්වහන්සේ තමන්ට ජීවත්වීමට ඇති දින හත ගැන සිතා, ධර්මය කෙරෙහි අපහැදී සිටි මවට ධර්මය අව‍බෝධ කරනුවස් තමන් උපන් ගෙදරට වැඩමකර මෑණියන් වන මිත්‍යාදෘෂ්ඨික සාරි බැමිණිය හමුවී ධර්මය දේශනා කර සිය මෑණියන් සෝවාන් ඵලයෙහි පිහිටවූහ. ඉක්බිති සැරියුත් හිමියෝ “ පෝෂණය කිරීමේ මිල ගෙව්වෙමි. මම වර්ධනය කිරීමේදී ඇතිවූ ණයගැතිභාවයෙන් මිදුනෙමියි” මෑණියන්ට පවසා ඉන් සෑහීමකට පත්ව පිරිනිවන් පා වදාළ සේක.

මෙබඳු අසිරිමත් ශාසනික සිද්ධිවලින් සපිරි ඉල් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසීන්ගේම ශ්‍රේෂ්ඨ ආගමික දිනයකි.

තෙරුවන් සරණයි.

 

විහාරාධිකාරි/ ප්‍රධානාචාර්ය
පූජ්‍ය රත්මල්වැටියේ සීලවිමල හිමි
පුරාණ විහාරය
ශ්‍රී සෝමාලංකාර දහම් පාසල මාගම්මන, හෝමාගම 

නව අදහස දක්වන්න