නිවුණු-පිරුණු- සොඳුරු මිනිසුන් හදන්න අත්වැල සපයන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව | දිනමිණ

නිවුණු-පිරුණු- සොඳුරු මිනිසුන් හදන්න අත්වැල සපයන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

සංස්කෘතික කටයුතු දෙපාර්ත‍මේන්තුවේ දැක්ම වන්නේ ශ්‍රී ලාංකික ඡනතාව ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වූ සංවේ දී මිනිසුන් බවට පත් කිරීමේ ඒකායන අපේක්ෂාව සපුරාගැනීම වස්, ශ්‍රී ලාංකික සංස්කෘතිය ගොඩනැගීම වේ.

ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුත් සාහිත්‍ය කලා හා සංස්කෘතික කටයුතු සංරක්ෂණය, ප්‍රවර්ධනය, ව්‍යාප්තිකරණය සඳුහා වූ වැඩසටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම අපේ මෙහෙවරයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික කටයුතු කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ සාහිත්‍ය හා කලාව සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ප්‍රචාරණයට අදාළව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලාංකික ලේඛකයා හා කලාකරුවා සංස්කෘතියේ සාමාජිකයන් ලෙස සලකමින්, ඔවුන්ට ආධාර ලබාදීම සහ නිර්මාණකරණය සඳහා අවශ්‍ය සහාය ලබාදීම,ශ්‍රී ලාංකික භාෂා සාහිත්‍ය හා ඉතිහාසය, සංස්කෘතියේ පදනම සේ සලකා විශ්වකෝෂ, ශබ්දකෝෂ හා මහාවංශය සම්පාදනය කිරීම හා ලේඛකයන් දිරිගැන්වීම උදෙසාවූ පොත්පත් සම්පාදනය කිරීම, පොත් මිලට ගැනීම, අත්පිටපත් තරග පැවැත්වීම, දුර්ලභ පොත්පත් නැවත මුද්‍රණය කිරීම සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාව බහු සංස්කෘතික රටක් සේ සලකා සියලු උප සංස්කෘතීන්ට සාධාරණ ආකාරයෙන් ඔවුන්ගේ කලාව හා කලා ශිල්ප සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ප්‍රචාරණය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලාංකික දෘෂ්‍ය හා අදෘෂ්‍ය සංස්කෘතිකාංගයන්ට පුනර්ජීවනය දෙමින්, ඒවා සමාඡයේ සියලු අංශ කරා කාන්දුවන ආකාරයේ වැඩසටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමෙන් සාරධර්මවලින් පිරි සමාඡයක් ගොඩනැඟිම යන කාරණාවන් වේ. පහත දැක්වෙන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදු කර තිබෙන කාර්යයන් සහ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත කාර්යයන් පිළිබඳව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනිය වන අනූෂා ගෝකුල මහත්මිය සමඟ සිදු කළ සංවාදයකි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ඉහළ දැමීම සඳහා සිදු කරන කාර්යය මොනවා ද ?- සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ස්ථාපිත වන්නේ 1956 වර්ෂයේයි. එදා මෙදා තුර සංස්කෘතික සහ කලා කටයුතු සංරක්ෂණය, ප්‍රවර්ධනය සහ ව්‍යාප්ත කිරීම දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා. මේ වන විට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 331ක , දිස්ත්‍රික්ක 25ක , සංස්කෘතික කටයුතු සංරක්ෂණය, ප්‍රවර්ධනය සහ ව්‍යාප්තිය වෙනුවෙන් කටයුතු සිදු කරනවා. එමෙන් ම අමාත්‍යාංශ යටතේ තිබෙන ආයතන 10 යටතෙත් වැඩ කරනවා. විවිධ සාහිත්‍යධරයන් සහ කලාකරුවන් ඇගයීම සඳහා වසරකට රාජ්‍ය සම්මාන උළෙල 15ක් පැවැත්වෙනවා . වාර්ෂිකව වැඩසටහන් 5000 කට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව මඟින් බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක කරනවා. ඒ වාගේ ම ප්‍රවීණ කලාකරුවන් ඇගයීම, අංකුර කලාරුවන් ජාතික ජාත්‍යන්තර තලවලට ගෙනයාම, ප්‍රජාවගේ රසවින්දනය සහ රසඥතාව වැඩි දියුණු යන කාර්යයන් සිදු කරනවා.

සංස්කෘතිය ඉහළ දැමීම සඳහා සිදු කරන ව්‍යාපෘති කවරේ ද ?- වර්ෂයකට අපි සිංහල , දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව 331ක් පවත්වනවා. දිස්ත්‍රික් 25හි දිස්ත්‍රික් සංස්කෘතික උළෙලවල් 25 ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනවා. ඒකේම ජාතික උත්සවය , කොළඹ බණ්ඩාරනායක ශාලාවේ දී සෑම වසරකම මාර්තු 5 වැනිදා පවත්වනවා. ළමයින් වෙනුවෙන් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල, රාජ්‍ය ළමා චිත්‍ර උළෙල, වැනි උළෙල රට පුරා විහිදෙන ආකාරයට සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාර්ෂිකව පවත්වා ළමයින්ට රාජ්‍ය සම්මාන ලබාදීම සිදු කරනවා. පාසල් පද්ධතිය සම්බන්ධ කර ගෙන මෑතක දී දරුවන්ගේ ලේඛන කුසලතා වර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව පාසල් දරුවන්ට, යෞවනියන්ට, අංකුර කලාකරුවන්ට රට පුරා සාහිත්‍ය , විචාර කලාව, නාට්‍ය, සංගීත, නර්තනය, දෘශ්‍ය කලාව, යන යන විෂය ක්ෂේත්‍ර 10ක් ඔස්සේ ලංකාව පුරා වැඩමුළු පවත්වනවා. ඊට අමතරව 2017 වර්ෂයේ දී ආරම්භ කළ " ප්‍රතිභා ප්‍රභා "වැඩසටහන මඟින් සංස්කෘතික සායන සහ සංස්කෘතික කඳවුරු කියන වැඩසටහනක් කරනවා. එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් අංකුර කලාකරුවන් ‍තෝරා ගෙන දිස්ත්‍රික්ක‍යේ එක කලාංගයකට 30දෙනා බැගින් තෝරා ගෙන දවසක වැඩමුළුවක් පවත්වනවා. මෙය ක්ෂේත්‍ර 10 ටම පවත්වනවා. ඒ පවත්වන වැඩමුළුවලින් පස්සේ එක දිස්ත්‍රික්කයකින්, එක ක්ෂේත්‍රයකට 2 බැගින් තෝරා ගනු ලබනවා. උදාහරණයක් ගත්තොත් නාට්‍ය ගත්තොත් එක දිස්ත්‍රික්කයෙන් නාට්‍ය වලට කුසලතා දක්වන පුද්ගලයන් දෙන්නෙක් බැගින් දිස්ත්‍රික්ක 25 දෙනෙක් බැගින් ලංකාවෙන් 50 දෙනෙක්, තෝරා ගන්නවා . මෙම 50 දෙනාට සති 2ක නේවාසික පුහුණූවක් ලබා දීලා ඔවුන්ව ජාතික සහ ජාත්‍යන්තර තලවලට ගෙන යාම සිදු කරනවා. මේකේ දෙවැනි අධියර වශයෙන් , නාට්‍ය අවසන් කර තිබේ. ඉදිරියටත් මේ වැඩසටහන දිගින් දිගටම කරගෙන යාම බලාපොරොත්තුවයි. ලේඛකයන්ට තමන්ගේ පළමුවැනි කෘතිය ජන ගත කරන්න අත්පිටපත් තරගයක් පවත්වනවා. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන අයගේ ප්‍රමිතියෙන් යුතු ග්‍රන්ථ අපි මුද්‍රණය කරනු ලබනවා. වාර්ෂිකව කර්තෘවරයකුගේ කර්තෘ ප්‍රකාශිත කෘතියක් හෝ ප්‍රකාශකයකු මඟින් ප්‍රකාශිත කෘති තෝරා 25,000 ක පොත් මිල දී ගැනීමක් කරනවා. රාජ්‍ය උත්සවවලින් සම්මාන ලබන අයව විදේශ සංචාර ලබා දීමට කටයුතු කරනවා . විදේශ සම්පත්දායකයින් ගෙන හල්ලා වර්ෂයකට අවුරුද්දකට වැඩමුළු තුනක් හෝ හතරක් පවත්වනවා. ප්‍රතිපාදන සමාගම් හිඟ නිසා විදේශගතවන කලාකරුවන්ට සහයෝගය ලබා දීමත් අවම වශයෙන් සිදු කරනවා. සමාජ ගැටලු පර්යේෂණයට ලක් කර එම ගැටලු වළක්වා ගැනීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනවා.

ලංකාවේ ලියාපදිංචි කලා ආයතන 3000ක් පමණ තියනවා. එම කලා ආයතනවලට ආධාර දීම, වැඩමුළු පැවැත්වීම, අධීක්ෂණය කිරීම, තරග පැවත්වීම සහ තරඟ පැවැත්වීම සිදු කරනවා. ලියාපදිංචි කළ කලා සංගම් 500කට ආසන්න සංඛ්‍යාවක් ලංකාවේ තියනවා. එම කලා සංගම්වල වාර්ෂික වැදගත් අවස්ථාවන්වලදී යම් සහයෝගයක් ලබා දෙනවා. 2015 සිට ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වැඩි කර තිබේ.

පුනාවර්තන වියදම් නැතුව සමස්ත වැඩසටහන් සඳහා වාර්ෂිකව මිලියන 300ක පමණ ප්‍රතිපාදන සඳහා වැය කරනවා.

ශ්‍රී ලාංකේය කලාවේ උන්නතිය උදෙසා සිදු කරන දායකත්වය කෙසේ ද ?- අපි කලාකරුවන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කරලා තියනවා. එලෙස අපි දායක විශ්‍රාම වැටුප සකස් කළේ සමාජ ආරක්ෂණ වැඩපිළිවළක් විදිහටයි. රාජ්‍ය සම්මාන උළෙලවල්වල ප්‍රමිතිය වැඩි කළා. ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කළා. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ක්ෂේත්‍ර තුනේම කලාකරුවන්ට යාවජීව සම්මාන සඳහා ලබා දෙන ත්‍යාග මුදල වැඩි කර තිබෙනවා. කලාවේ නියළුණු කලාකරුවන් බලන්න ගෙයින් ගෙට යාමේ "සුවදම්" යනුවෙන් හදුන්වන වැඩපිළිවෙළක් ආරම්භ කර තියනවා. ඒ යටතේ අපි ලංකාව පුරාම සිටින කලාකරුවන්ව බලන්න යනවා.

අවුරුද්දකට ලංකාව පුරා සිටින කලාකරුවන් 3000 ක් පමණ බලන්න යනවා. එක ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකට ඒ සඳහා රු 30,000ක ප්‍රතිපාදන යවනවා. වාර්ෂිකව අගහිඟකම් සහිත කලාකරුවන් 5000 දෙනෙකුට ආධාර ලබා දෙනවා. ඒ වාගේ ම ඔවුන්ට වෛද්‍යාධාර, මරණාධාර ලබා දීම වැනි සුබසාධන කටයුතු කරනවා. 50-60,70 දශක‍යේ ගායික ගායිකාවන්ගේ සුභාවිත ගී වියමන කියා සංදර්ශනයක් පවත්වනවා. මෙයින් සුභාවිත ගීතය ජනගත කිරීමත් , එම කලාකරුවන්ට ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කිරීමටත් අවස්ථාව ලබා දෙනවා. සෑම මාසයකම අවසාන සෙනෙසුරාදා දිනයේ නිදහස් මන්දිරේ අසල සහන් රන්වල පදනම සමඟ එකතු වී "ගයමු " වැඩසටහන පවත්වනවා. ඒ මඟිනුත් අපි ඉදිරිපත් කරන්නේ සුභාවිත සංගීතයයි. මෙය පවත්වන්නේ නොමිලේ. අපි ඉතාම දුර්ලභ අස්පර්ශක උරුමයන් වන ජන ගී , ජනශ්‍රෑති සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සිදු කරනවා. ටෙරාබයිට් 19කට වැඩි ප්‍රමාණයක් සංරක්ෂණය කර තියනවා.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා සිදු කරන කාර්යයන් මොනවා ද ?- අපි දිස්ත්‍රික් කාර්යාල 25ත්, ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 331ත් අපි ජාතික උත්සව ඇතුළු සාහිත්‍ය උත්සව මාලාවක් පවත්වනවා. රාජ්‍ය සාහිත්‍ය උත්සවය සෑම වර්ෂයකම සැත්තැම්බර් මාසයේ පවත්වනවා. මේ සඳහා ලංකාවේ මුද්‍රණය වන සියලුම පොත් අධීක්ෂණයට ලක් කරනවා. හොඳ පොත් තෝරා ගැනීමේ දී සාහිත්‍ය උපදේශන සභාවේ අධීක්ෂණය උපයෝගී කර ගන්නවා. ලෝකයේ අනෙක් රටවල් අතුරින් මේ අයුරින් සාහිත්‍ය උත්සවය එක දිගට පවත්වපු එකම රට තමයි ශ්‍රී ලංකාව. ඒ පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙන්න අවශ්‍යයි. අපි ලේඛක සංවිධානවලට උපකාර කරනවා. ස්වේච්ඡාවෙන් බිම් මට්ටම‍ට ගොස් කටයුතු කරන කලාකරුවන් සම්බන්ධ කරගනිමින් ඔවුන් සමඟ ඒකාබන්ධව කටයුතු කරනවා. වෙනත් සහයෝගය ලබා ගත හැකි ආයතන සමඟ ඒකාබන්ධ වී ඒකාබන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා . ශබ්ද කෝෂ, විශ්ව කෝෂ, මහාවංශ යන කාර්යාල තුනම තිබෙන්නේ සංස්කෘතික කටයුතු දෙපාරේතමේන්තුව යටතේ . ඒ මඟින් වාර්ෂිකව ග්‍රන්ථ නිකුත් කිරීම සිදු කරනවා. ඊට අමතරව ලේඛන වැඩමුළු පවත්වනවා. පාරිභාෂික වචන එකතු කර සංරක්ෂණය කරලා ප්‍රකාශයට පත් කිරීම සිදු කරනවා.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත දෑ කවරේ ද ?- අපි ප්‍රතිපත්තිමය කාරණා සහ ඒකාබන්ධ ප්‍ර‍වේශයක් සඳහා වැඩි ඉඩකඩක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. සංචාරක ව්‍යාපාරය, කලාකරුවන්ට විදේශ අත්දැකීම් ලබා ගැනීමට , අපේ රටේ කලාකරුවන්ගේ නිර්මාණ විදේශ රටවලට ගෙනයාමට මැදිහත් වී කටයුතු සූදානම් කරන්න බලාපොරොත්තු වනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දර්ශනය වන නිවුනු, හැදුණු , පිරුණු සොදුරු මිනිසුන් සපිරි පින්බර ‍දේශයක් එක්ව ගොඩනැගීම සඳහා සංස්කෘතිය හා කලාව තවදුරටත් ගළපගෙන කටයුතු කිරීම අපි සිදු කරනවා. ඒ සඳහා අපි රසවින්දන වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් ආරම්භ කළා. ඒකේ ප්‍රධාන එක වන "ජීවත් වීමේ කලාව" ( Art of Living ) වැඩසටන් 100කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ලංකාව පුරා ව්‍යාප්ත කළා. එසේ අපි සිදු කරන්නේ මිනිසුන්ගේ රසවින්දනය සහ රසඥතාවය දියුණු කරන්නයි.

කරන වැඩසටහන් තවත් ප්‍රමිතියෙන් යුතුව සිදු කර ගෙන යාමටත්, බිම්මට්ටමට වැඩි වැඩසටහන් ප්‍රමාණයක් ගෙන යාමටත්,ඒකාබන්ධව වැඩසටහන් කිරීමටත්, ප්‍රතිපත්තිමය කාරණාවන් සඳහා වැඩි ඉඩකඩක් ලබා දීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කලින් සැළසුම් කර පිළිවෙළකට වැඩකටයුතු සිදු කරන දෙපාර්තමේන්තුවක්. මෙහි නිලධාරීන් 700 කට වැඩි ප්‍රමාණයක් කටයුතු කරනවා.මෙම දෙපාර්තමේන්තුව දින 365 දීම විවෘත කර තිබෙන, ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රී 12න් ප පසුවත් වැඩ කරන දෙපාර්තමේන්තුවක් . ඒ වාගේ ම දිස්ත්‍රක් ලේකම්වරුන්, ප්‍රදේශීය ලේකම්වරුන්, හිටපු අමාත්‍යවරුන්, වර්තමාන අමාත්‍යවරුන්, මාණ්ඩලික නිලධාරීන්, යනාදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සුවිශාල කාර්යභාර්යයක් සිදු කරති. ඔවුන් සෑම කෙනෙක්ම මාත් සමඟ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කර ගෙන යාම පිළිබඳ විශාල සතුටක් තිබෙනවා.

සංස්කෘතියේ තිබෙන සාධනීය ලක්ෂණ ඊළඟ පරම්පරාවට ගෙනයමින් රටේ අනන්‍යතාවය ලෝකයට ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන ආර්ථිකයට රුකුලක් වෙන්න අපි බලාපොරොත්තු වනවා. මේ දේවල් දැනටමත් සිදු කර ගෙන යන අතර ඉදිරියේ දී තවත් පුළුල් වශයෙන් සිදු කිරීමට අප අරමුණු කර ගෙන සිටී.

සටහන- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න