වැඩට බහිමු! | දිනමිණ

වැඩට බහිමු!

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊ‍යේ වැඩ භාර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා ලෙස පී. බී. ජයසුන්දර මහතා පත්කර තිබේ. ආරක්ෂක ලේකම්වරයා ලෙස කමල් ගුණරත්න මහතා පත්කර තිබේ. එස්. ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ධුරයට ඕෂධ සේනානායක මහතා ද පත්ව සිටිති. නව පත්වීම් ගැන මහජන ප්‍රසාදයක් ඇති බවද පෙනී යයි. මේ අතර තවත් විශේෂ සිද්ධි දෙකක් වාර්තා වෙයි. පළමු සිද්ධිය වන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ශීඝ්‍රයෙන් ඉහළ යෑමය. දෙවන සිද්ධිය වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රථම විදේශීය සංචාරය ඉන්දියාවට යොමු වී ඇති බව වාර්තා වීමය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්ධනය වීමෙන් කරුණු දෙකක් සනාථ වෙයි. එක; ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි විශ්වාසවන්ත ලෙස බලන්නට ව්‍යාපාරිකයන් හා මූල්‍ය ගනුදෙනුකරුවන් පෙළැඹී ඇති බවය. දෙක; ආර්ථික ගනුදෙනු ප්‍රසාරණය වන්නට පටන්ගෙන ඇති බවය. රටක් දේශපාලනික වශයෙන් දුර්වල වන විට කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු ශීඝ්‍රයෙන් පහළට ගමන් කිරීම පොදු ලක්ෂණයකි. ස්වාභාවික විපත් සේම ගැටුම්කාරී ස්වභාවයන් ඇතිවන විට ද කොටස් වෙළෙඳ පොළ පහළ යයි. පාස්කු ප්‍රහාරය නිසාද කොළඹ කොටස් වෙළෙඳ පොළ පිරිහීමට ලක්විය. නව ජනාධිපතිවරයා සිය පදවියෙහි වැඩ භාර ගැනීමත් සමඟ ආයතන තුළ අලුත් ජවයක් පහළ වී ඇතැ’යි සිතන්නට කරුණු තිබේ.

දැන් එළඹී ඇත්තේ වැඩ කළ යුතු කාලයෙකි. අප්‍රමාණ වැඩ කිරීමකින් තොරව රට ගොඩනැඟීමේ කාර්යය ඉටු කර ගත නොහැකි බව පැහැදිලි ය. රටේ ආර්ථිකය දෙස බලන විට තත්ත්වය හොඳින් සනාථ වෙයි. වැඩට බහින්නට පෙර අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම ඉතා වැදගත් ය. ඒ අනුව ව්‍යුහාත්මක වෙනස්කම් සේම පරිබාහිර වෙනස්කම් ද සිදුකර ගැනීමට සිදුවනු ඇත. අභිනව ජනාධිපතිවරයාගේ ආර්ථික ඉලක්ක ජයගැනීම සඳහා වැඩ කළ හැකි ආණ්ඩුවක් තිබිය යුතුය. වැඩ කළ හැකි ඇමැති මණ්ඩලයක් ද තිබිය යුතුය. අවශ්‍ය නම්; අලුත් නිලධාරී මණ්ඩල පවා බඳවාගත යුතුව තිබේ. මේ වෙනස්කම් පමාවකින් තොරව ඉටුකර ගන්නා තරමට ඉලක්ක ජයගැනීම පහසු වනු ඇත.

ජනතාවගේ පැත්තෙන් බලන විට; ඔව්හු ඉතා ඉක්මනින් වෙනසක් අපේක්ෂා කරති. පැවැති ක්‍රමය කෙරෙහි වූ කලකිරීමත් ඊට හේතුවක් විය හැකි ය. ගොවියා හා සාමාන්‍ය ව්‍යාපාරිකයා මෙහි ලා මූලික වෙති. තේ, පොල්, රබර් යන ප්‍රධාන අපනයන හැරෙන්නට සුළු අපනයන භෝග නිසා රටේ සැලැකිය යුතු පවුල් ප්‍රමාණයක් ජීවිතය ගැටගසා ගනිති. සුළු අපනයන භෝග සම්බන්ධයෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් තව ම නැත. ප්‍රති අපනයන ක්‍රියාවලිය නිසා ගම්මිරිස් ගොවියා මුළුමනින්ම අසාර්ථක විය. ලෝකයේ හොඳම ගම්මිරිස් සැපයූ ශ්‍රී ලංකාව අද පසුවන්නේ ප්‍රමිතියක් නැති ගම්මිරිස් සපයන රටක් හැටියට ය. ඉල්ලුම දිනෙන් - දිනම පහළ යයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය තුළ ඉහළින් ම සංවාදයට ලක් වූ කරුණු දෙකක් මෙහිලා උපුටා දැක්වීම වැදගත් ය. එක කරුණක් වන්නේ සුළු අපනයන භෝග සම්බන්ධයෙන් පවතින ගැටලු වහා විසඳන බව ය. ගම්මිරිස් වැනි සුළු අපනයන භෝගවලට අදාළ ආර්ථිකය පියවර කිහිපයක් ඔස්සේ ගොඩනැඟිය හැකි බව පෙනෙයි. ප්‍රති - අපනයන ක්‍රියාවලිය නැවැත්වීම පළමුව සිදු විය යුතුය. දෙවනුව එහි වෙළෙඳ පොළ නැවත සකස් කරගත යුතුව තිබේ. විවිධ රෝග නිසාද ඵලදාව අඩුකම නිසා ද ගම්මිරිස් වගාව අඩපණ වී ඇත. තෙවැනි පියවර ලෙස ඒවාට විසැඳුම් සපයාගත යුතුව තිබේ. ගම්මිරිස් ගොවියා රජයේ රැකියා ඉල්ලා සිටින්නේ නැත. මහා පරිමාණ ණය ඉල්ලා සිටින්නේ ද නැත.

ලෝකයේ හොඳ ම තේ සැපයූ රට හැටියට ප්‍රචලිතව තිබුණේ ශ්‍රී ලංකාව ය. “සිලෝන් ටී” ලෙස කීර්තිමත් වෙළෙඳ නාමයක් ඊට තිබිණි. එහෙත් ඒ කීර්ති නාමය පමණක් නොව; ඊට අදාළ ආර්ථිකය ද ඇද වැටී බොහෝ කල්ය. ශ්‍රී ලංකාව අද පවතින්නේ තේ නිෂ්පාදනය කරන රටවල් අතර පස්වන ස්ථානයේ ය. ඉන්දියාව, කෙන්යාව වැනි රටවල තේ නිෂ්පාදනය, අපනයනය හා වෙළෙඳ පොළ ආකර්ෂණය අපට වඩා බොහෝ ඉදිරියෙන් පවතී. මේ තරගයට සාර්ථක ව මුහුණ දීම සඳහා ‘සිලෝන් - ටී’ යන කීර්ති නාමය යළි වෙළෙඳ පොළ වෙත රැගෙන යා යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි. එය සාර්ථක උපාය මාර්ගයක් බව පිළිගත හැකිය.

නව ජනාධිපතිවරයා ප්‍රධාන අභියෝග හතරකට මුහුණ දී ඇතැ’යි අපගේ පිළිගැනීම ය. එම අභියෝග වන්නේ ජාතික ආරක්ෂාව ගොඩනැගීම, ජාතික ආර්ථිකය ගොඩදැමීම, ජාතියේ විනය ඇති කිරීම හා විදේශීයකරණයට එරෙහි ව ක්‍රියා කිරීමය. මේ එකක්වත් පහසු කාරණා නොවේ. ආර්ථිකය ඇත්තේ අසංවිධානාත්මක තැනෙක ය. එය කණපිට හරවා යළි ගැම්මක් ඇතිව පණගැන්විය යුතුව තිබේ. ජාතික ආරක්ෂාව ගොඩනැඟීම ද මුල සිට පටන්ගත යුතුව තිබේ. ජාතියට විනය පිළිබඳ ඉගැන්වීමට හා නීති - රීති තද කිරීමට වඩා නායකයන් ආදර්ශයෙන් විනයගරුක බව පෙන්වා දීම ඉතා වැදගත්ය. විදේශීයකරණය නැවැත්විය යුතු අතර රටට ඵලදායී විදේශීය සම්බන්ධතා පමණක් ගොඩනඟා ගැනීමට රජය වගබලා ගත යුතු ය.

විදේශීය ගනුදෙනුවලින් තොරව ශ්‍රී ලංකාව වැනි රජයක් ඉදිරියට ගෙන යෑම අපහසුය. ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදෙකලාවේ සිටිය නො හැකි ය. සෑම රටකටම කලාපීය වශයෙන් සේ ම ගෝලීය වශයෙන් ද එකිනෙක ජගත් සංවිධානවල සහයෝගය ලබාගැනීමට සිදු වේ.

වඩාත් වැදගත් වන්නේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් විදේශීය සම්බන්ධතා පවත්වා ගැනීමය. මෙහිලා ජනාධිපතිවරයා දක්වා ඇති අදහසක් වන්නේ ලෝකයේ කිසිදු බල තරගයක් සඳහා ශ්‍රී ලංකාව මැදිහත් නොවන බව ය. එහි එක් අදහසක් වන්නේ අමෙරිකාව, චීනය මෙන්ම ඉන්දියාව ද අපගේ සමීප මිතුරන් විය හැකි බව ය.

නව අදහස දක්වන්න