ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට 26දා තීරණාත්මක පරීක්ෂණයක් | දිනමිණ


 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට 26දා තීරණාත්මක පරීක්ෂණයක්

ප්‍රින්ස් ගුණසේකර

දක්ෂතා මැන බැලීම මඟ හැරියොත් නේපාල ගමන නෑ

නේපාලයේ කත්මණ්ඩු නුවරදී ලබන මස 1වැනිදා ආරම්භවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට දක්ෂතා මැන බැලීමේ තරගාවලියක් හා විශේෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කරයි.

ඒ අනුව මේ 26වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මේ තරග හා පරීක්ෂණ පැවැත්වෙන අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට තෝරාගෙන ඇති සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය අනිවාර්ය කොට ඇත. දකුණු ආසියා ක්‍රීඩා උළෙලක් ඉලක්කකොට නම්කළ මලල ක්‍රීඩා සංචිතයකට ඉතිහාසයේ පළමු වරට මෙවැනි දක්ෂතා මැන බැලීමේ තරගාවලියක් හා විශේෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීම විශේෂත්වයකි.

යම් හෙයකින් මේ දක්ෂතා මැන බැලීමේ තරගාවලිය හා විශේෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මඟහරින ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් වෙතොත් දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගී නොකිරීමට තීරණයවී ඇත.

දකුණු ආසියා ක්‍රීඩා උළෙලට තෝරා ගැනීමේදී පෙන්වූ දක්ෂතා හෝ එයට වඩා යම් ප්‍රගතියක් මේ දක්ෂතා මැන බැලීමේ තරගාවලියේදී හා විශේෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ යුතු අතර යම් හෙයකින් විශාල පසුබැසීමක් ඇතොත් නේපාලය බලා යෑමට නොසුදුසු තත්ත්වයක් සේ සලකන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුම්දී ඇත.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 66ක් පසුගිය අගෝස්තු මාසයේදී තෝරාගත් හෙයින් මාස කිහිපයකට පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය සෙවීම මේ දක්ෂතා මැන බැලීමේ තරගාවලිය හා විශේෂ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමේ අරමුණවී ඇත.

මේ අතර එක් රටකින් මලල ක්‍රීඩා ඉසව්වකට ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක් පමණක් සීමා කිරීමට ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරන නේපාලය තීරණය කිරීමත් සමග මතුවූ අර්බුදය දැන් නිමාවට පත්ව ඇත. නැඟී එන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලවත් අසාධාරණයක් සිදුවන හෙයින් නේපාල බලධාරීහු ඉසව්වකට ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක් පමණක් යන සීමා කිරීම ඉවත්කොට ඇත.

ඉන්දියාවේ ගුවහාතී හී පැවැති 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී, මලල ක්‍රීඩා ඉසව්වලින් ඉන්දියාව රන් පදක්කම් 28ක් රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 8ක් දිනාගත් අතර ශ්‍රී ලංකාව රන් පදක්කම් 9ක් රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 17ක් දිනා දෙවැනි තැනට පත්විය. පාකිස්තානයට රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 8ක්, මාලදිවයිනට රිදී පදක්කම් 2ක්, බංග්ලාදේශයට ලෝකඩ පදක්කම් 2ක් හා නේපාලයට ලෝකඩ පදක්කමක් හිමිවූහ.

අවසන්වරට පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස මීටර් 100 ක්‍රීඩක හිමාෂ ඒෂාන් සම්මාන දිනාගත් අතර ඔහු මෙවර ද සංචිතයට ඇතුළත්ව සිටී. එහෙත් අවසන් දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී වේගවත්ම ක්‍රීඩිකාව සම්මානය දිනාගත් කෙටිදුර ධාවන ශූරී රුමේෂිකා රත්නායක මෙවර නේපාල දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත්ව නොමැත.

නව අදහස දක්වන්න