ජනපතිවරණයෙන් පසුව | දිනමිණ


 

ජනපතිවරණයෙන් පසුව

විධායක ජනපතිවරයාගේ නියම සටන ඇත්තේ ඉදිරියට ය. අද වනවිට රටේ ආර්ථිකය ඇත්තේ දැඩි අර්බුදකාරී තත්ත්වයකය. ජාතීන් අතර පැවැති සමඟිය හා සමාදානය අතරට සැකය, බිය හා වෛරය කාන්දු වී තිබේ. ඒ ඔස්සේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇත. අනෙක් පසින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැඟී තිබේ. හත්වන විධායක ජනපතිවරයා හමුවේ ඇති විශාලතම අභියෝගය වන්නේ මේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ඉදිරිපත් කිරීමය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනපති තෝරා පත්කර ගැනීම පිණිස පළාත් නවයක දිස්ත්‍රික්ක විසි පහක ජනතාව ඡන්ද මධ්‍යස්ථාන 12845 කදී ඡන්දය පාවිච්චි කරනු ලැබූහ. ජනපතිවරණය සඳහා අපේක්ෂකයින් තිස්පස් දෙනකු ඉදිරිපත් වුවද ඉන් සැබෑ ලෙසම ජයගැනීම හෝ තම මතවාදය රටේ ස්ථාපිත කිරීමේ අරමුණින් තරග වැදුණේ පුද්ගලයින් දහයකටත් අඩු පිරිසකි. මේ සියලු දෙනා දේශපාලන රැලි පවත්වමින් තමන්ගේ මෙන්ම පක්ෂයේ රට හදන වැඩපිළිවෙළ ජනතාව හමුවේ තැබූහ. 

අපේක්ෂකයාගේ වැඩපිළිවෙළ කුමක්ද යන්න සම්බන්ධව කිසිදු අවධානයක් යොමු නොකර තමන් කැමැති පක්ෂයට ඡන්දය දීමට කටයුතු කරන පිරිසක් මෙන්ම ප්‍රතිපත්ති ගැන සැලකිලිමත්ව ඒ මොහොතේ රටේ පවතින දේශපාලන, ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලට විසඳුම් දීමට හැක්කේ කාටද යන්න සම්බන්ධව අවධානය යොමුකර ඡන්දය දෙන පිරිසක්ද අප රටේ සිටිති. මෙවර ජනපතිවරණය සැලකීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් වූ අපේක්ෂකයින් දෙදෙනාම පක්ෂ නායකයින් නොවීම විශේෂත්වයකි. ජනතා විමුක්ති පෙරමුණ ද ඔවුන්ගේ සීනුව ලකුණ අත්හැර පොදු සන්ධානයක් ලෙස ඉදිරිපත් වූයේ මාලිමාව ලකුණිනි. මේ සියලු දෙනා රට හදන තමන්ගේ වැඩපිළිවෙළ රට හමුවේ තැබූ අතර ජනතාව තමන්ගේ කැමැත්ත කාටද යන්න පෙන්වා දෙමින් මේවන විට හත්වන විධායක ජනපති තෝරා ගෙන තිබේ.

ඡන්ද සටන

මැතිවරණ සටන ජයගැනීම සඳහා ප්‍රධාන අපේක්ෂකයෝ දැඩි තරගයක නිරත වූහ. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ වූ පොරොන්දු ලබා දුන් අතර බහුතර ජනතා කැමැත්ත අනුව ගෝඨාභය මහතා මෙරට හත්වන විධායක ජනපතිවරයා ලෙස තේරී පත් විය. ජනපතිවරණය ජය ගැනීම සඳහා තිබුණු අභියෝගවලට වඩා වැඩි අභියෝගයන්ට මුහුණ දීමට නව ජනපතිවරයාට සිදුව තිබේ. ඇත්තෙන්ම විධායක ජනපතිවරයාගේ නියම සටන ඇත්තේ ඉදිරියට ය. අද වනවිට රටේ ආර්ථිකය ඇත්තේ දැඩි අර්බුදකාරී තත්ත්වයකය. ජාතීන් අතර පැවැති සමඟිය හා සමාදානය අතරට සැකය, බිය හා වෛරය කාන්දු වී තිබේ. ඒ ඔස්සේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇත. අනෙක් පසින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැඟී තිබේ. හත්වන විධායක ජනපතිවරයා හමුවේ ඇති විශාලතම අභියෝගය වන්නේ මේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ඉදිරිපත් කිරීමය.

ජනපතිවරණ සමයේ මෙරට පක්ෂ මෙන්ම ජනතාවද විවිධ දේශපාලන මත අනුව බෙදී කටයුතු කළහ. මෙය මැතිවරණ සමයකදී මෙම තත්ත්වය මෙරට දේශපාලනය තුළ දක්නට ලැබෙන තත්ත්වයකි. විධායක ජනපති පත්වන්නේ සමස්ත රටටමය. පක්ෂයක් නියෝජනය කරමින් ජනපතිවරණයට ඉදිරිපත් වුවත් ජයග්‍රහණයෙන් පසු පාට, පක්ෂ අනුව ජනතාව වර්ග නොකර තමන්ට ඡන්දය දුන් ජනතාවට මෙන්ම නොදුන් ජනතාවට ද එක හා සමාන ලෙස සැලකීම ජනපතිවරයාගේ වගකීමය. නව ජනපතිවරයා ඒ අවශ්‍යතාව අවබෝධ කරගෙන ඇති බව ඔහු දිව්රුම් දීමේදී කළ කතාවෙන් පැහැදිලි විය. පසුගිය ජනපතිවරණයේ දී මෙන්ම මෙවර ද ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට උතුරේ හා දකුණේ ජනතාවගේ විශ්වාසය එකවර දිනා ගැනීමට නොහැකි විය. එක් අපේක්ෂකයකු දකුණේ ජනතාවගේ වැඩි විශ්වාසය දිනා ගනිද්දී අනෙක් අපේක්ෂකයා උතුරේ ජනතාවගේ වැඩි විශ්වාසය දිනා ගත්හ. මෙය රටේ ඉදිරිය පිළිබඳ කල්පනා කරද්දී එතරම් සුබදායක තත්ත්වයක් නොවේ. උතුරේ හා දකුණේ ජනතාවගේ කැමැත්ත එක ලෙස දිනා ගැනීම නව ජනපතිවරයා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 19 වන සංශෝධනයට අනුව ජනපතිවරයාගේ ධූර කාලය වසර පහකි. එම කාලය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකම ධජයක් යටතට ගෙන එමින් සියල්ලන් තුළ තමන් ශ්‍රී ලාංකික පුරවැසියන්ය යන හැඟීම ඇති කිරීම පිණිස කටයුතු කිරීම නව ජනපතිවරයා අභිමුව පවත්නා ප්‍රධාන අභියෝගයකි. ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් බැවින් සමස්ත රටවැසියාගේ ඡන්දයෙන් පත්වන ජනපතිවරයා සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස බෙදා වෙන්කර ජාතීන් දෙස නොබැලිය යුතු අතර මෙම සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රට මෙහෙයවීමට ජනපතිවරයා කටයුතු කළ යුතුව තිබේ.

ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසු පැවැත් වූ ප්‍රථම ජාතික මැතිවරණය මෙවර ජනපතිවරණයයි. පෙර සියලු අවස්ථාවලට වඩා මෙවර මැතිවරණ සමයේ නීති තදින් ක්‍රියාත්මක වූ තත්ත්වයක් දක්නට ලැබුණු අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වීමටද එය ප්‍රබලව බලපෑවේය. බරපතළ ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම අවම මට්ටමක පැවැති අතර ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු දේපොළ හානි හෝ විරුද්ධ පාක්ෂිකයින්ට හිරිහැර කිරීමට ඉඩක් නොතැබීම නව ජනපතිවරයාගේ කාර්යභාරයකි.

මැතිවරණ වසර

ජනපතිවරණය අවසන් වීමත් සමඟ තවත් මැතිවරණ ගණනාවක් ඉදිරි වසර තුළ පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තු මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් අතරින් කුමක් ඉස්සර වුවද මෙම මැතිවරණ දෙකම ලබන වසර ඇතුළත පැවැත්විය යුතුව තිබේ. මේ අනුව ඉදිරියේදී එළඹෙන්නේ මැතිවරණ වසරක් යැයි කීම වරදක් නැත. මෙම මැතිවරණවලදී ජනපති භූමිකාව මධ්‍යස්ථ එකක් විය යුතුය. ජනපති රටේ ප්‍රධානියා වුවත් රට පාලනය කිරීමේදී ඉහළ සිට ස්ථර කිහිපයක් ඔස්සේ බලය පහළට ගලා එයි.

රාජ්‍ය යාන්ත්‍රණය

විශේෂයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය මගින් ගනු ලබන තීන්දු ක්‍රියාත්මක කරනු ලබන්නේ අදාළ ස්ථර ඔස්සේය. මේවා අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම ජනපති සතු කාර්යභාරයකි. ඉහළින් ගනු ලබන තීන්දු තීරණ පහළ මට්ටමේදී මන්දගාමී ස්වරූපයෙන් ක්‍රියාත්මක වීම පසුගිය කාලය පුරා දක්නට ලැබුණ තත්ත්වයකි. රාජ්‍ය ආයතනවල බොහෝ විට සිදුවන්නේ හිටපු ජනපතිවරයාගේ ඡායාරූපය ගලවා එම ස්ථානයේ නව ජනපතිවරයාගේ ඡායාරූපයක් එල්ලා පරණ පුරුදු වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම කරගෙන යාමය. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ සුබදායි ආකල්පයක් නොවන අතර එය වෙනස් කළ හැක්කේ එම ආයතන මගින් කාර්යක්ෂම මහජන සේවාවක් ලබා දීමෙනි. ඒ සඳහා නව ජනපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව පෙනේ.

රට අද ණය උගුලක පැටලී තිබේ. දළ ජාතික ආදායම සැලකීමේදී මෙම ණය ගෙවීම අපට අභියෝගයක් බවට පත්ව ඇත. අනාගතයේ උපදින්නට සිටින දරුවන් පවා ණයකාරයින් බවට පත් කරන්නට තරම් අපේ දේශපාලනඥයින් ගත් වැරදී තීන්දු තීරණ හේතු වී තිබෙන බව රටම දන්නා කරුණකි. රට වෙලාගෙන තිබෙන වංචාව, දූෂණය හා නාස්තිය පිටුදැකීම පිණිස ජනපතිවරයා දැඩිව කටයුතු කළ යුතුව ඇත. රටේ ආර්ථිකය දුර්වල වීමට බලපා තිබෙන ප්‍රධාන කාරණය වන්නේ ආදායම් නොමැති වීමටත් වඩා තිබෙන මුදල් නිසි කළමනාකරණයකට ලක් නොකිරීමත්ය. ජනතාවගෙන් බදු ලෙස අය කරනු ලබන මුදල් නිසි ලෙස වැය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස හිස්වන භාණ්ඩාගාරයට මුදල් ලබා ගැනීම පිණිස ආණ්ඩු කරනු ලබන්නේ බදු පැනවීම්ය. මේ නිසා පීඩාවට පත්වන්නේ ජනතාවය. ජනතාව මත අනවශ්‍ය ලෙස බදු බර පටවා පීඩාවට පත්කරන්නට කටයුතු කිරීම ජනතාවාදී ආණ්ඩුවකින් අපේක්ෂා කළ නොහැක්කකි. 

අද රාජ්‍ය ආයතන ගණනාවක් ක්‍රියාත්මක වන්නේ පාඩුපිටය. මේවා නඩත්තු වන්නේ මුළුමනින්ම ජනතා බදු මුදල්වලිනි. රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට බලපා තිබෙන ප්‍රධානතම කාරණය වන්නේ නුසුදුසු පුද්ගලයින් ඒවා පාලනය කිරිම පිණිස යෙදවීමය. දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයින් ඉහළ පුටුවලට පත් කිරීම කාලයක් පුරා මෙරට දක්නට ලැබුණු තත්ත්වයක් වන අතර එය තිත තැබීම නව ජනපතිවරයාගේ ප්‍රධාන වගකීමකි. නව ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කරන බව නව නිලධාරීන් පත් කළ ආකාරයෙන් පෙනේ.

ජන අනුමැතිය

සමාජය තුළ පැහැදිලි බෙදීම් නිර්මාණය වී තිබෙන බව ජනපතිවරණ ප්‍රතිඵල වලින් ද පැහැදිලිය. මෙම ප්‍රතිඵලය තුළින් ජනපතිවරයකු පත්වීමටත් එහා ගිය පණිවිඩයක් ලබා දී තිබේ. ඒ නම් ඒකීය රටක් ලෙස නාමිකව තිබුණ ද අපේ රටේ ජනතාව මතවාදී ලෙස බෙදී සිටින බවයි. මෙම ජනතාව මතුපිටින් නොව ඇතුළතින් සැබෑ ලෙස එක් කිරීම රට බාරගත් නව ජනපතිවරයාගේ වගකීමය.

දැනට රට හමුවේ පවතින අභියෝග සැලකීමේදී කෙටිකාලීනව විසඳුම් ලබා දිය යුතු මෙන්ම දීර්ඝ කාලීනව විසඳුම් ලබා දිය යුතු ප්‍රශ්න තිබේ. ඒවා මොනවාද යන්න පිළිබඳව ජනපතිවරයා විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත. අන්තවාදය විසින් රට යම් ආකාරයකට අස්ථාවරත්වයට ලක්කර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු ජනතාව යළිත් සැකයෙන් හා බියෙන් ජීවත්වන තත්ත්වයකට පත්ව ඇත. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිණිස විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වන්නේ එහෙයිනි. ජනපතිවරණ වේදිකාව තුළ ප්‍රධාන අපේක්ෂකයින් මෙම කාරණය ගැන ගැඹුරින් කතා කළ අතර එය ක්‍රියාවෙන් ඔප්පු කිරීම නව ජනපතිවරයාගෙන් ජනතාව අපේක්ෂා කරන්නකි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කළ හැක්කේ ජාතීන් අතර සමඟිය හා සහජීවනය ඇති කිරීමෙන් මිස ජනතාව බෙදා වෙන් කිරීමෙන් නොවේ. මේ නිසා බෙදී වෙන්ව සිටින ජනතාව එක් කරන අතර අනෙක් පසින් ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පසුබිම සැකසීම කාලීන අවශ්‍යතාවකි.

මෙවර මැතිවරණයේදී දක්නට ලැබුණු ප්‍රධාන කාරණයක් වන්නේ ජනතාව ප්‍රතිපත්තිගරුක දේශපාලනය අනුමත කරමින් ඒ වටා පාට, පක්ෂ නොමැතිව රොක්ව සිටීමය. එය සුබවාදී ලක්ෂණයකි. රට ඉදිරියට යෑමට නම් විනයක් හා නීතියක් තිබිය යුතුය. නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කාටත් එක හා සමාන ලෙසනි. දේශපාලනඥයින් නීතිය අතට ගෙන ක්‍රියා කරන අවස්ථා අප කොතෙකුත් දැක ඇත. දේශපාලන රැකවරණ මත මත්කුඩු ජාවාරම ඇතුළු බොහෝ නීති විරෝධී ක්‍රියාවන් සිදුවන බව කවුරුත් දන්නා කරුණකි. මේවාට වැට බඳින බවට ජනපතිවරයාට දැනටමත් ප්‍රකාශ කර තිබේ.

ප්‍රතිවාදී කණ්ඩායම් ප්‍රතික්ෂේප නොකර ඔවුන්ගේ සහය ද රටේ සංවර්ධන ක්‍රියාවලියට යොදා ගැනීම වැදගත්ය. සාමාන්‍යයෙන් මෙරට සිදුවන්නේ ජයග්‍රහණය කළ පුද්ගලයා හා ඔහු වටා සිටින පිරිස පමණක් තීන්දු තීරණ ගනමින් විරුද්ධ මත දැරූවන් සැමදා විරුද්ධවාදීන් ලෙස සැලකීමය. ඒ වෙනුවට සියලු දෙනා එක්ව රටේ යහපත වෙනුවෙන් වැඩ කිරීම වැදගත්ය. පරාජයට පත්වූ අය ද නව ජනපති ගෙන යන යහපත් වැඩපිළිවෙළට සහයෝගය ලබා දිය යුතුය. වාද, බේද සියල්ල මැතිවරණත් සමඟ අවසන් කළ යුතුය. කකුලෙන් අදින දේශපාලන සංස්කෘතිය රටින් තුරන් කළ යුතුය.

නව අදහස දක්වන්න