දෑතින් මළපහ අදින කසළ ශෝධකයෝ | දිනමිණ

දෑතින් මළපහ අදින කසළ ශෝධකයෝ

දශක දෙකක් තිස්සේ සුදාරක් ඔල්වේ ඉන්දියාවේ මුම්බායි නුවර සිටින කසල ශෝධකයන් ගේ ජීවිතය පිළිබඳව වාර්තා කරමින් සිටී.

මේ වෘත්තීය ඉතා දුක්බර මට්ටමක පවතී. එය පීඩිත කුලවලට පමණක් වෙන් වූ රැකියාවකි. ඔවුහූ සමාජයෙන් කොන් වී දිවි ගෙවති.

ඉන්දියාව ආර්ථික, සමාජයීය, සහ තාක්ෂණය අතින් ඉදිරියට පැමිණ ඇති නමුත් මේ කසල ශෝධකයන් ගේ ජීවිත තවමත් වෙනස් වූ බවක් නම් පෙනෙන්නට නැත.

'වෝටර්ඒඩ්' (WaterAid) ආයතනය වෙනුවෙන් සුදාරක් ඔල්වේ ගේ කැමරාවට හසුවූ මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද, අගහරුවාදා ට (නොවැම්බර් 19) යෙදුණු ලෝක වැසිකිලි දිනය හා සමගාමීව ය.

මෙහි දැක්වෙන්නේ වල්මිකි ප්‍රජාවට අයත් කසළ ශෝධකයන් පිරිසකි.

ඉන්දියාවේ අමාන්ගන්ජ්, පන්නා සහ මධ්‍ය ප්‍රදේශ් හි පවතින 'වියළි වැසිකිළි' පිරිසිදු කිරීම ඔවුන්ට පැවරී ඇති රාජකාරිය යි.

ඒ තුළ පවතින මළපහ මොවුන් විසින් ඉවත් කරනු ලබන්නේ දෑතිනි.

"මේ පළාතේ තියෙන කිසිම හෝටලයකින් අපට තේ එකක්වත් බොන්න අවසර නැහැ." බේටිබායි වල්මිකි පැවසීය.

"පොඩි තේ කඩේකට ගියත් අපිට තේ දෙන්නේ පාවිච්චි කරලා විසි කරන ප්ලාස්ටික් කෝප්පයක. අනිත් අය බොන කෝප්ප අපට දෙන්නේ නැහැ."

මේ කාන්තාවන්ගෙන් බහුතරයක් මැලේරියාව සහ ඇදුම රෝගයෙන් පෙළෙති. නමුත් ඔවුනට සෞඛ්‍ය පහසුකම් නොමැත.

රෝගී තත්වයක් මත රැකියාවට වාර්තා නොකළහොත් එදිනට වැටුප් නොලැබේ.

ඇය පළමු වරට තම නැන්දනිය සමඟ රැකියාවට ගියේ මීට වසර 25කට පෙර ය.

"මුලදී මට හරිම අප්පිරියාවක් දැනුණා. මේ රස්සාවට හුරු නැති නිසා මට ලැජ්ජාවක් දැනුනා. දැන් නම් මට මළපහ ගඳ හුරුයි. දුප්පත් කම නිසා කරන්න දෙයක් නැහැ." මීනාදේවි පැවසුවාය."මේ රස්සාව කරලා ම මගේ නැන්දම්මා මැරුණා. මළපහ ටින්වල පුරවලා ඇය අරගෙන යනවා. මමත් කළේ ඒක ම තමයි. දැන් අපි ටින් පාවිච්චි කරන්නේ නැහැ."

"ඒත් ඉතින් අපේ ඉරණම වෙනස් වෙලා නැහැ."

සියලු ඡායාරූප හිමිකම් Sudharak Olwe සහ WaterAid සතු වේ. (බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න