මේස පන්දු සටනට 10ක් සූදානම් | දිනමිණ

මේස පන්දු සටනට 10ක් සූදානම්

නිරෝෂාන් ප්‍රියංකර
සාග් මේස පන්දු සංචිතය නිලධාරීන් සමග (උදය රණසිංහ ඡායාරූපයේ නැත)

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන මේස පන්දු කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු එක්ව සිටිති.

ක්‍රීඩකයන් 5 දෙනකුගෙන් සමන්විත පිරිමි කණ්ඩායමේ නායකත්වය මාස් ඉන්ටිමේට් ආයතන ක්‍රීඩා සමාජයේ නිර්මල ජයසිංහට හිමිව ඇති අතර වරාය අධිකාරිය නි‍යෝජනය කරන ඉෂාරා මධුරංගි ක්‍රීඩිකාවන් 5 දෙනකුගෙන් සමන්විත කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි.

මේ සංචිතයේ කැපී පෙනෙන සිදුවීම වන්නේ කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා, මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර සහ කොළඹ කාන්තා විදුහලේ අයිලා ච්ට්ටි ඇතුළත්ව සිටීමය.

සෙනුර සිල්වා සහ බිමන්දි බණ්ඩාර තවමත් 14 වැනි වියේ පසුවන අයවලුන වීම විශේෂත්වයකි. අයිලා චට්ටි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

අවසන් වරට ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදී පිරිමි කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනාගත් කණ්ඩායමට ඇතුළත්ව සිටි උදය රණසිංහ සහ නිර්මල ජයසිංහ මෙවරත් සංචිතයට ඇතුළත්ව ඇති අතර ඉෂාරා මධුරංගි, චමීර ගීගනගේ, එරන්දි වරුසවිතාන එම ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

සාග් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම මේ මස 30 වැනිදා නේපාලය බලා පිටත්ව යෑමට නියමිතය. සාග් ක්‍රීඩා උළෙලේ මේස පන්දු තරගාවලිය දෙසැම්බර් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වේ.

පිරිමි කණ්ඩායම - නිර්මල ජයසිංහ (නායක, මාස් ඉන්ටිමේට් ආයතනය), උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය), ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය), චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය), සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)

කාන්තා කණ්ඩායම - ඉෂාරා මධුරංගි (නායිකාව, වරාය අධිකාරිය), බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල), එරන්දි වරුසවිතාන (යුද හමුදාව), අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල), හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල)

නිලධාරීන් - සදිනි නිරාෂා (කළමනාකාරිණි), බුද්ධික දික්කුඹුර (පුහුණුකරු)

 

නව අදහස දක්වන්න