කාලය වැදගත්! | දිනමිණ


 

කාලය වැදගත්!

අභිනව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම, අගමැතිවරයා පත්කිරීම සේම, කැබිනට් මණ්ඩලය පත්කිරීම ද යුහුසුළුව සිදුවී ඇත. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ද, අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ද පත්කිරීම් සඳුදා සිදුකිරීමට නියමිතය. එහි අර්ථය වන්නේ අලුත් ආණ්ඩුව සඳුදා සිට වැඩ කිරීමට සූදානම් බවය. කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමට ද, රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට ද සති ගණන් කාලය කාදමන සම්ප්‍රදායක් අපේ දේශපාලනය තුළ තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ක්‍රමය වෙනස් කර තිබේ. රට ඉදිරියෙහි ඇති අභියෝග දෙස බලනවිට කාලය ඉතා වැදගත් බව පෙනී යයි. හැම විනාඩියක්ම වැඩ කරන විනාඩියක් බවට පත්කර ගැනීම සිදුවිය යුතුව තිබේ.

අගමැතිවරයා දිවුරුම් දෙන උත්සවයේදී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පාලකයන්ට හා පුරවැසියන්ට වටිනා උපදේශනයක් ලබාදුන්හ. එම උපදේශනයෙහි වැදගත් කරුණු තුනක් ඇතුළත් විය. පළමු කරුණ වන්නේ සෞභාග්‍යවත් රටක් ගොඩනැඟීමේ අධිෂ්ඨානය පාලකයන් තුළ මෙන්ම පුරවැසියන් තුළ ද පැවතිය යුතු බව ය. දෙවන කරුණ වන්නේ ඉහත කී දෙපිරිසම රට වෙනුවෙන් යම් කැපකිරීමක් සිදුකිරීමට සූදානම් විය යුතු බවය. තෙවන කරුණ වන්නේ රට ගොඩනැඟීමේ වගකීම අනාගත පරපුරට භාර නොදී වත්මන් පරපුරෙන් ම එය නිමාවකට පත්විය යුතු බවය. මේ කරුණු තුන සිහියේ තබාගෙන කටයුතු කරන්නේ නම් අප බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ දී ගොඩනඟාගත හැකි ය.

සංවර්ධිත සෑම රාජ්‍යයක්ම එක්තරා කාලසීමාවක් තුළදී බලවත් කැපකිරීම් සිදුකර තිබේ. පාලකයන් කැපකිරීම් සිදුකර ඇත. පුරවැසියන් ද කැපකිරීම් සිදුකර ඇත. දැනට ම සිදු වී ඇති ආකාරයට කැබිනට් මණ්ඩලය සීමා වී ඇත. ඔවුන්ගේ කාර්ය මණ්ඩල සීමා වී ඇත. ජනාධිපතිවරයා සිය කාර්ය මණ්ඩලය සීමා කරමින් පළමු ආදර්ශය ලබා දී තිබේ. ඇමැතිවරුන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා මහජන මුදල් විශාල වශයෙන් වෙන්කිරීම වෙනදා සිදුවිය. ඇතැම් අමාත්‍යවරුන්ගේ කාර්යාල කුලියට ගෙන තිබිණි. ඒ සඳහා රුපියල් කෝටි ගණනින් වාර්ෂිකව ගෙවා ඇත. මේ ක්‍රමය වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. වියදම් අඩුකොට ආදායම් වැඩිකරන තැනකට රට ගෙනයා යුතුය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය යටතේ ආයතන හාරසිය ගණනක් පවතී. ඒවා රජයට ආදායම් ලබාදෙන හා විශාල මහජන සේවාවක් ඉටුකරන ආයතන ලෙස පැවතිය යුතු වුව එයින් බහුතරය පාඩු ලබයි. එම ආයතන පවත්වා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය වාර්ෂිකව විශාල මුදලක් වෙන්‍කරයි. ජනාධිපතිවරයා සිය කැබිනට් මණ්ඩලය අමතා කියා සිටියේ මේ සෑම ආයතනයක්ම ලාභ ලබන ඒවා බවට පත්කළ හැකි බැවින් ඒ සඳහා ක්‍රියා කළ යුතු බවය. ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා ද, අධ්‍යක්ෂ මණ්ඩල සඳහා ද සුදුසුම පුද්ගලයන් තෝරා පත්කර ගැනීමෙන් පැහැදිලි පරිවර්තනයක් ඇතිකළ හැකි ය. එහි වගකීම බාරගත යුත්තේ එකිනෙක විෂයන් භාර අමාත්‍යවරුන්ය.

ආයතනවල සභාපතිවරුන් පත්කිරීම සඳහා ද අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සඳහා ද විද්වත් කමිටුවක් ක්‍රියා කරනු ලැබේ. අමාත්‍යවරුන් ස්වකීය අභිමතයට අනුව තෝරාගත් පුද්ගලයන්ගේ නම් ඉහත කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුව තිබේ. විද්වත් කමිටුව අදාළ පුද්ගලයන්ගේ සුදුසුකම් හා හැකියාවන් පරීක්ෂාකොට නිර්දේශ ඉදිරිපත් කරයි. ස්වකීය ඥාතීන් හා හිතවතුන් ආයතනවලට පත්කොට එම ආයතන විනාශමුඛයට ඇදදමන සංස්කෘතියක් අපට උරුම වී තිබිණි. ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය නිසා එය වෙනස්වනු ඇතැයි විශ්වාස කළ හැකිය. අපේ රාජ්‍ය ආයතන බොහෝමයක් පාඩු ලබන තැනකට ඇද වැටුණේ සුදුසුකම් නැති පුද්ගලයන් එම ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කිරීමෙන් ය. එය වෙනස් වීම යහපත් දේශපාලන ප්‍රවණතාවකි. විධිමත් අධ්‍යාපනයක් නොලැබූ තැනැත්තකුට විභාග දෙපාර්තමේන්තුව භාරදීම සුදුසු නැත. සංචාරක කර්මාන්තයේ දිග පළල නොදන්නා කෙනකුට සංචාරක මණ්ඩලයේ සභාපතිකම ලබාදීම සුදුසු නැත. ධීවර සංස්ථාව භාර දිය යුත්තේ එම කර්මාන්තය පිළිබඳ හැදෑරීම් කළ කෙනකුට ය. නිවාස අධිකාරිය භාරදිය යුත්තේ එම විෂය දන්නා කෙනකුට ය. දේශපාලන කටයුතුවලට සහයෝගය ලබාදුන් පමණින් පුද්ගලයන් ආයතන ප්‍රධානීන් බවට පත් කළ යුතු නැත. එම තත්ත්වය පාක්ෂිකයන් ද වටහාගත යුතුය. රට ගොඩනැඟීමට නම් සුදුස්සාටම සුදුසු තැන් ලබාදිය යුතු ය. මේ සඳහා නිවැරැදි තීන්දු - තීරණ ගතයුතු ය. ජනාධිපතිවරයා එය ආරම්භ කර තිබේ. අමාත්‍යවරුන් ද ඒ ක්‍රමය අනුගමනය කිරීම වැදගත්ය.

රට ඉදිරියෙහි ඇති බලවත් අභියෝගය පොදුවේ කවුරුත් වටහාගත යුතුව තිබේ. ජාතික ආර්ථිකය හොඳම නිදසුන වෙයි. දේශීය කර්මාන්ත බිඳවැටී ඇත. අපනයන ක්ෂේත්‍රය හොඳටම දුර්වල ය. නව නිෂ්පාදන ඇත්තේම නැත. විදේශ විනිමය සංචිත පිරිහී ඇත. ආනයනවලට සීමාවක් නැත. සියල්ලම පිටරටින් ගෙන්වා දේශීය කෘෂිකර්මය හා දේශීය කර්මාන්ත දුර්වල තත්ත්වයකට ඇද දමා තිබේ. මේ තත්ත්වය තවදුරටත් පැවතියේ නම් රැකියා පිළිබඳ බලවත් අර්බුදයක් ද හට ගැනීමට ඉඩ තිබිණි. මේවා යථා තත්ත්වයට ගැනීම පහසු නැත. එය සංකීර්ණ ක්‍රියාවලියකි. කොටින්ම ආර්ථික අභියෝග ඉදිරියේ සෙල්ලම් කිරීමට කාලයක් නැතැයි සඳහන් කළ හැකිය.

දැන් එළඹී ඇත්තේ වහාම වැඩ ආරම්භ කළ යුතු කාලයකි. ජයග්‍රහණය සැමරීමට හා කිරිබත් කෑමට ගත් කාලය හොඳටම වැඩියයි කිව යුතුය. ආයතන ප්‍රධානීන් වහාම පත්කොට ඒවාට නිදහසේ ක්‍රියා කිරීමට අවස්ථාව ලබාදිය යුතු ය. එහිදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙරෙහි ය.

 

නව අදහස දක්වන්න