ජනතාවාදී පාලනයක් පිහිටුවීම සඳහා උපරිමයෙන් කැප වෙනවා - ඇමති විමල් | දිනමිණ


 

ජනතාවාදී පාලනයක් පිහිටුවීම සඳහා උපරිමයෙන් කැප වෙනවා - ඇමති විමල්

 රටේ ජනතාව බලාපොරොත්තු වන ජනාතාවාදී පාලනයක් පිහිටුවීම සඳහා  උපරිමයෙන් කැප වන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන  හා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
 
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද(25) අමාත්‍යාංශයේදී සුබ මොහොතින් තම රාජකාරී ආරම්භ කරන කරමින් එසේ පවසන පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
 
“2015 ජනවාරි 8 වන දින පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ අවස්ථාවේදී නැවතත් මෙරටට එතුමාගේ නායකත්වයෙන් යුත් පාලනයක් ගෙන එන බවට ස්ථීර ප්‍රතිඥාවක් අප ලබා දුන්නා. පසුගිය අවුරුදු 4 ½ තුළ  මෙරට පැවති පරගැති පාලනයට විරුද්ධව 2015 පෙබරවාරි 18 දා නුගේගොඩින් ආරම්භ කළ මහා ජනතා ක්‍රියාන්විතය ජයග්‍රහණය දක්වාම නොනවත්වා ඉදිරියටම ගෙනයාමට කටයුතු කළා. ඒ සඳහා අපි අපේ උපරිමයෙන් කටයුතු කළා. අපි බලාපොරොත්තු වුනේ එකම එක දෙයක් පමණයි. එනම් පැවති පරගැති පාලනයෙන් රට නිදහස් කර ගැනීම පමණයි. එය කොතරම් පරගැති පාලනයක් දැයි කියනවානම් යුද හමුදාවේ බුද්ධි අංශය දඩයම් කිරීමට දායකවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත නම් නිලධාරියා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබාගෙන රටින් පැනගොස් තිබෙනවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතාවත් දඩයම් කිරීමට උත්සාහ කළා. අපි මහත් වෙහෙසක් දරා ඒ පරගැති පාලනයෙන් රට නිදහස් කර ගත්තා.
 
ස්වදේශික ජන කැමැත්තට අනුව පාලනයක් ප්‍රතිස්ථාපනය කිරීමයි අපේ බලාපොරොත්තුව උනේ. ඇමති තනතුරු හෝ වෙනත් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නෙමෙයි අපි මේ කාර්ය්‍ය සිදුකළේ. රටේ අතිමහත් ජනතාවක් මෙම පාලනය පිළිබඳව බලාපොරොත්තු තබා තිබෙනවා. නිදහස ලබා ගැනීමෙන් පසු ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම බලාපොරොත්තු රදවා තබාගත් සිංහල- බෞද්ධ ජනතා ඡන්දයෙන් පිහිටුවාගත් ආණ්ඩුවක් දැන් තියෙන්නෙ. දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් සුඵතරයක් අපට ඡන්දය දී තිබෙනවා. ඒ සියඵ දෙනාගේම විශ්වාසය හා බලාපොරොත්තු රකිමින් රටේ ජනතාව බලාපොරොත්තු වන ජනතාවාදී පාලනයක් පිහිටුවීම සඳහා අපි උපරිමයෙන් කැප වෙන බව පවසන්න කැමතියි. එම වගකීම ඉටුකිරීමට අප සියලු දෙනා බැදී සිටිනවා. ගෙවුණු වසර 4 ½ තුළ ගිය ගමන වෙනුවට නව සුබදායි ගමනක් ආරම්භ කිරීමට උපරිම ශක්තියෙන් කටයුතු කරනවා. 2015 ජනවාරි 8 ට පෙර පැවති පාලනයට විරුද්ධව ජනතාව අතරින් එල්ල වූ සාධාරණ චෝදනා තිබුණා. නමුත් එම වෝදනා නැවත ඇතිවීම වැලැක්වීමේ වගකීම අප සියඵ දෙනාට පැවරී තිබෙනවා. එම වගකීම මුල සිට අගට අප ආරක්ෂා කළ යුතුයි. අපගේ වගකීම ඉතා ඉහළින් ඉටුකරන බව රටේ ජනතාවට සහතික වෙනවා.” යැයි පැවසීය.
 
මෙම අවස්ථාවට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ,බෙංගමුවේ නාලක හිමි ඇතුළු අන්‍යාගමික පුජක තුමන්ලා, මහින්දානන්ද අළුත්ගමගේ, උදය ගම්මන්පිල, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.    

නව අදහස දක්වන්න