රට හදන මෙහෙවරට උරදෙන්න උපන්බිමට එන්න | දිනමිණ

රට හදන මෙහෙවරට උරදෙන්න උපන්බිමට එන්න

සමන්මලී ප්‍රියශාන්ති

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩ බාර ගනිමින් කියයි

රටින් එතෙරව සිටින විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා, කුසලතා සහ නවෝත්පාදන ඉදිරිපත් කළ විද්වතුන්ට, බුද්ධිමතුන්ට නැවත මව්බිමට පැමිණෙන ලෙස තමා ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන, නවෝත්පාදන හා තාක්ෂණ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

බම්බලපිටියේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී සිය රාජකාරී ආරම්භ කරමින් ඇමැතිවරයා මෙම ඉල්ලීම කෙළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ කුඩා කැබිනට්ටුව තුළ තවත් වගකීමක් මට භාර දීලා තිබෙනවා. ඒ වගේ ම තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අමාත්‍යංශයත් භාර දීලා තිබෙනවා. ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරන පරිදි ප්‍රධාන කරුණු දෙකම මේ සම්බන්ධ ව අදාළ වෙනවා. එනම් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා නවීන තාක්ෂණය යොදා ගනිමින් රටේ මානව සම්පත් සංවර්ධනය තුළින් සුරක්ෂිත හෙටක් හා සෞභාග්‍යමත් රටක් ඇති කර ගැනීමයි.

මේ වගකීම වෙනුවෙන් අපේ රට හෙට ලොවට ගෙන යෑමට අවශ්‍ය කරන ලෝකයේ දියුණු තාක්ෂණ ක්‍රමවේද ලෙස සැලකෙන තොරතුරු තාක්ෂණ, නැනෝ තාක්ෂණය හා අනෙකුත් තාක්ෂණය පිළිබඳ අත්හදා බැලීම්, නවෝත්පාදන තුළින් ජාතික ආර්ථිකයට අලුත් අගයක් එකතු කරන්නට ඒ අනුව අප කටයුතු කළ යුතුයි. මේ කටයුත්ත දේශපාලඥයන් ලෙස ඇමැතිවරුන්ට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. මේ රටින් එතෙරව සිටින විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ට රට වෙනුවෙන් පෙරට පැමිණෙන ලෙස විවෘතව සහ ගෞරවාන්විත ව ආරාධනා කරනවා.

හිතෙනවාට වඩා යමක් හිතන්න පුළුවන්, කරනවට වඩා යමක් කරන්න පුළුවන්, අහනවට වඩා යමක් අහන්න පුළුවන් විචක්ෂණශීලී ලෙස ලොව නවීනතම තත්ත්වයන් පිළිබඳ හැදෑරීමක් සහිත විද්වතුන් මව්බිම වෙනුවෙන් ඇවිත් මේ කාර්යය සඵල කර ගැනීමට දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජාති, ආගම්, කුල බේද නොසලකා අනාගතය ගොඩනැඟීමට අත්වැල් බැඳ ගන්න එන්න කියල ඉල්ලනවා.

අමාත්‍යාංශ ලේකම්වරු පත් වී පැමිණීමෙන් පසුව මහින්ද චින්තන ඉදිරි දැක්ම නැවතුණු තැන පටන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. පසුගිය කාලයේ අත් හැරුණු දේ, වැරදි දේ, දෝෂවලින් තොර වංචාවෙන්, දුෂණයෙන් සහ නාස්තියෙන් තොර ආදර්ශමත් අමාත්‍යාංශයක් ගොඩනඟන්නට බලාපොරොත්තු වෙනවා යනුවෙන් ද පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, එම අමාත්‍යංශයේ ලේකම් චන්දන රොද්‍රිගෝ, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන , ආචාර්ය චරිත හේරත් ,මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

නව අදහස දක්වන්න