එක්නැලිගොඩ අතුරුදන්වීම: මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් කරයි | දිනමිණ


 

එක්නැලිගොඩ අතුරුදන්වීම: මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් කරයි

මංජුල හිරිපිටිය - හෝමාගම සංචාරක

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය අවසන් කරන බවත්, මින් ඉදිරියට මෙම නඩු විභාගය කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සහ හෝමාගම මහාධිකරණයේ පැවැත්වෙන බව හෝමාගම අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා දන්වා සිටියේය.

එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අතුරුදන්වීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු නිලධාරින් දො‍ළොස්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියේය.

වසර පහකට අධික කාලයක් මෙම නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්විය. නඩු විභාගය දෙසැම්බර් දහඅට වැනි දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවැත්වීමට නියමිත අතර, දෙසැම්බර් දහනව වැනි දින හෝමාගම මහාධිකරණයේ පැවැත්වීමට නියමිතය. සැකකරුවන් වෙනුවෙන් අධිනීතිඥ ලාල් කුලරත්න මහතා ඇතුළු නීතිඥ මහත්වරුන් පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස් සැරයන් උඩවත්ත මහතා පෙනී සිටියේය.

නව අදහස දක්වන්න