ජනපති සමාව ලැබූ රෝයල් පාක් චුදිතට රට ගමන් බෑ | දිනමිණ


 

ජනපති සමාව ලැබූ රෝයල් පාක් චුදිතට රට ගමන් බෑ

රෝෂන් තුෂාර

මරණීය දණ්ඩනය නියමව සිරගතව සිටිය දී ජනපති පොදු සමාව යටතේ මුදාහල ‘රෝයල් පාක්’ ඝාතන නඩුවේ ශමන්ත ජුඩ් ඇන්තනි ජයමහට විදේශගතවීම වළක්වමින් අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩඬුල්ල ඊයේ (29) නිකුත් කළේය.

පොදු සමාව ලබාදීමට එරෙහිව පැවරූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා (පුද්ගලික මට්ටමින්) නම් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

කාන්තා හා මාධ්‍ය එකමුතුව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ හා ගාමිණි අමරසේකර මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මේ නියෝග නිකුත් කළේය.

නීතිපති, බන්ධනාගාර කොමසාරිස්වරයා, ආගමන විගමන පාලකවරයා, වැඩ බලන පොලිස්පති, හිටපු අධිකරණ ඇමැතිවරිය නීතිඥ සංගමය ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මරණීය දණ්ඩනය නියම වූ රැඳවියකුට සමාව ලබාදීමට ජනපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලතල තිබුණ ද අදාළ ප්‍රතිපාදන අනුව එය සිදු කළ යුතු බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

2005 ජුලි 01 දින රාජගිරිය රෝයල් පාක්හිදී 19 හැවිරි තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් වරදකරුවකු වී අභියාචනාධිකරණයෙන් මරණ දඬුවම ලබා ශ්‍රේෂ්ඨාධිකරණය එම මරණ දඬුවම ස්ථිර කළ චුදිතයකු නිදහස් කිරීම නිවැරැදි ප්‍රතිපාදන අනුව සිදුවිය යුතු බවද කරුණු ඉදිරිපත් කළේය. මුදාහල ජූඩ් සමන්ත මේ වනවිට රටින් පිටව ගොස් ඇති බවට තොරතුරු ඇති බවද වැඩි දුරටත් පැවසීය.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය චුදිත රටින් පිටවීම වළක්වන අතුරු නියෝගයක් ආගමන විගමන පාලකවරයාට නිකුත් කළේය. ලබන 10 දින දක්වා එම නියෝගය ක්‍රියාත්මක වන අතර, ලබන 09 දින පෙත්සම කැඳවීමට නියම කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය. වගඋත්තරකාර ජූඩ් සමන්ත වෙනුවෙන් ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

නව අදහස දක්වන්න