ශ්‍රී ලාංකීය විදේශ ප්‍රතිපත්තියේ නව දැක්ම ලොවට හෙළි කළ ජනපතිගේ ඉන්දීය රාජ්‍ය සංචාරය... | දිනමිණ


 

ශ්‍රී ලාංකීය විදේශ ප්‍රතිපත්තියේ නව දැක්ම ලොවට හෙළි කළ ජනපතිගේ ඉන්දීය රාජ්‍ය සංචාරය...

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඓතිහාසිකව ගොඩනැඟී තිබූ සහයෝගිතාව වඩ වඩාත් තිව්‍ර කළ රාජ්‍ය තාන්ත්‍රික චාරිකාව ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය ඉතිහාසයට එක්වෙයි. එසේම එය දෙරටේම දේශමාමක ජනතාවගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වන්නක් බවට නිසැකවම පු‍රෝකථනය කළ හැකි වන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රවේශය ලඝු කිරීමට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අපමණ වෙහෙසක නිරත විය. එහි එක් උපක්‍රමයක් වූයේ එතුමාගේ පුරවැසිභාවය පිළිබඳව ඉතා අවිචාරවූත්, අඳබාලවූත් ප්‍රශ්න කිරීම්ය. එහි වක්‍ර අරමුණ වූයේ ඉන්දියානු විරෝධයක් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ඇති කිරීමය. නමුත් සිදු වූයේ එය නොවේ. සත්‍යවාදි බව ජය ගැනීමය. ඒ අනුව ජනාධිපති පදවි ප්‍රාප්තියේ පළමු රාජ්‍යතාන්ත්‍රික සංචාරය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා ලැබෙන්නේ භාරත දේශයෙනි. සැබවින්ම එය දේශද්‍රෝහි කඳවුරේ බරපතළම පළමු පරාජය බව අපගේ විශ්වාසයයි.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ, සංස්කෘතියේ, අර්ථක්‍රමයේ, සභ්‍යත්වයේ, දේශපාලනයේ මෙකී නොකී සෑම අංශයකම ඉන්දීය සලකුණ අපට අකා මකා දැමිය නොහැක්කේමය. ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයන් දෙකක් ලෙස දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දෙරට අතර කලින් කලට යම් යම් සංසිද්ධීන් හේතු කොටගෙන පරස්පරතා ඇතිවුවත් අප දෙරටේ සහෝදරත්වය වඩාත් ප්‍රබලව පෑහී තිබේ. විටෙක දේශපාලන හා සමාජ විචාරකයෝ ශ්‍රී ලංකාවේ ලොකු අයියා ලෙස ඉන්දියාව හඳුන්වාදෙනු ලැබුවේද ඒ නිසාමය.

රාජපක්ෂ ආණ්ඩුකරණයේ සෑම යුගයකදීම ඉන්දියානු විරෝධයක් ඇති කිරීමට අවස්ථාවාදී දේශපාලනය සහ ඇතැම් බඩගෝස්තරවාදී රාජ්‍ය නොවන සංවිධාන අවි අමෝරාගත් බව අපට මතකය. නමුත් ඒ හැමවිටම සිදු වූයේ ඔවුන් පරාජිතව රට ජය ලැබීමය. ගෝඨාභය රාජපක්ෂ යුගයද මේ පෙන්නුම් කරන්නේ ‍එකී යථාර්ථයයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය සංචාරයේදී ඉන්දියානු රජයත්, ජනතාවත් පළ කළ ආදරය සහ ගෞරවය අසමානය. ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොළේදී ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයාගේ අභිමානයත්, පෞරුෂයත් ඔද වඩවන ආකාරයේ පිළිගැනීමක් සූදානම්ව තිබිණ. ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී. කේ. සිං මහතා ඇතුළු පිරිස විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් හරසරින් පිළිගනු ලැබීය. ඒ සඳහා ඉන්දියානු සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් ද එක්ව තිබිණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල චාරිකාවේ දෙවන දිනය වූ 29 වැනිදා ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව නවදිල්ලි නුවරදී සිදුවිය. අසල්වාසී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව දිගු දැක්මක් සහිතව පෙරට යාමට තබා ඇති පියවර පිළිබඳ විදේශ අමාත්‍යවරයාගේ දැඩි විශ්වාසය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පළවිය.

ආර්ථික සහයෝගිතාව අරමුණු කරගත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා නව යුගයකට ගෙනයාම ඉන්දීය රජයේ අපේක්ෂාව බව ද මෙහිදී විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති හමුවේ පැවසීය.

එසේම දෙරටේ ව්‍යාපාරික සහයෝගිතාව පිළිබඳව දීර්ඝව කරුණු හෙළිකළ අමාත්‍යවරයා පවසා සිටියේ ගුණාත්මක අගයෙන් ඉහළ පාලන තන්ත්‍රයක් පැවතීම විදෙස් ආයෝජන පහසුවෙන් රටට ගලාඒමට ඉවහල්වන ප්‍රධාන සාධකයක් බවයි.

එදින සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් වූ විශේෂ භෝජන සංග්‍රහය රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. ඒ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ හමුවට සමගාමීවය. රාජ්‍ය නායකයකුට පිරිනමන ඉහළම ගෞරවය පුද කරමින් හමුදා උත්තමාචාර සහිතව ශ්‍රී ලංකා ජනාධිපති පිළිගැනීමට ඉන්දීය ජනාධිපතිවරයා විසින් කටයුතු කෙරිණි. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු විදෙස් සංචාරය ලෙස භාරත දේශයට පැමිණීම එහිදී ඉන්දීය නායකයා විසින් අතිශය අගය කළේය. එසේම ඒ ප්‍රමුඛතාව දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට සහ සහයෝගිතාවට ශක්තියක් වන බව තමා විශ්වාස කරන්නේයැයි ඉන්දීය නායකයා පැවසීය.

අනාදිමත් කාලයක් දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට තම රජය බැඳී සිටින බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය නායකයා හමුවේ පැවසීය. දෙරටේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට අදාළ ඉහළ ආර්ථික සැලසුම් පිළිබඳවද මේ හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය. ඉන්දීය රජයේ මැති ඇමැතිවරු සහ ප්‍රභූන් පිරිසගේ සහ‍භාගිත්වයද මෙහිදී කැපී පෙනුණි.

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ඉන්දීය චාරිකාවේ සුවිශේෂීම හමුව යෙදී තිබුණේ 29 වැනි දින දහවල් හයිදරාබාද් මන්දිරයේදීය. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟය. ඉන්දීය අගමැතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ මහත් අභිමානයෙනි. රාජ්‍ය නායකයන් දෙපළගේ හමුව පැය දෙකකට ආසන්න කාලයක් විය. එහිදී ඉන්දීය අගමැතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කළ ආරාධනය පිළිගැනීම පිළිබඳව සිය කෘතඥතාව පළ කිරීමටද අමතක කළේ නැත. එසේම ජනාධිපතිවරණ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා තුළ වූ විනය සමස්ත දේශපාලන ලෝකයටම ආදර්ශයක් බවත්, සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට රජයේ පූර්ණ සහාය පළ කරන බවත්, ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් විශේෂ සහන ණය ප්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක් හෙවත්, රුපියල් මිලියන හැට අටදහසක් ලබාදීමට ද ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා හමුවේ අගමැතිවරයා පොරොන්දු විය. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශ්වාසනීයව ගොඩනැඟීමට අසල්වැසි රාජ්‍යයක දිගුකාලීන සහෝදරත්වය දැක්වූ විශේෂ අනුකූලතාවකි. එසේම රට මුහුණපා සිටින ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුව ද ‍දෙරටේ නායකයන් අතරේ සුවිශේෂී මාතෘකාවක් බවට පත්විය. දීර්ඝ වශයෙන් වූ සාකච්ඡාවෙන් අනතුරුව ලංකා රජයේ ජාතික ආරක්ෂාව ‍ඉලක්ක කරගත් වැඩපිළිවෙළට තවත් ඩොලර් මිලියන 50ක ප්‍රදානයක් කිරීමටද අගමැතිවරයා තීරණය කළේය.

ඉන්දු - ලංකා ධීවර ගැටලුව කලක සිට පැවතෙන්නෙකි. දෙරටම මේ ගැටලුවේ දී අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව නායකයෝ දෙපළ සතුට පළ කළ අතර, දැනට ශ්‍රී ලංකා භාර‍යේ අත්අඩංගුවේ ඇති සියලුම ධීවර බෝට්ටු නිදහස් කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී එකඟතාව පළ කළේය. අසල්වාසී රාජ්‍යයක් ලෙස තම රටට දක්වන ඇල්ම දෙරටේම අනාගතයට ඉතා සුබදායී බවත්, දෙරටේ ආරක්ෂාව ප්‍රමුඛව කටයුතු කිරීමේ වැදගත්කම ද රාජ්‍ය නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු මිත්‍රත්වය සහ ආර්ථික, දේශපාලන හා සමාජයීය උන්නතිය උදෙසා වගවීමට ද රාජ්‍ය නායකයෝ දෙපළ වාචිකව ගිවිස ගත්හ.

අනතුරුව පැවති දෙරටේ රාජ්‍ය නායක මාධ්‍ය හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‍තමන් වෙත දැක්වූ ගෞරවයට සහ ආදරයට ඉන්දීය රජයටත්, නායකයන්ටත්, ජනතාවටත් සිය ප්‍රසාදය පළ කළේය. එසේම ඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කළේය. ඉන්දීය අගමැතිවරයා විසින් පිරිනැමූ දිවා භෝජනයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හයිදරබාද් මන්දිරයේ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී මහත්මා ගාන්ධි ශ්‍රීමතාණන්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමටද අමතක නොකළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් අතර හමුවද මේ චාරිකාවේ යම් වැදගත්කමක් ඉසිලීය. ඒ නව ජනාධිපතිවරයා විසින් විදෙස් දූත මෙහෙවර පිළිබඳ සිය දැක්ම ඔවුන්ට හෙළි කිරීම නිසාය.

එසේම මහාබෝධි සංගමයේ සභාපති සහ දඹදිව සාංචි චේතියගිරි විහාරයේ විහාරාධිපති බානගල උපතිස්ස හිමියෝ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ශුභාශිංසන එක් කළේය.

දින දෙකක් පුරා දෙරටේ අභිමානවත්, ඓතිහාසික මිත්‍රත්වය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය රාජ්‍ය චාරිකාව සමාප්ත කළ ජනාධිපතිවරයා රටට, රටේ ඉතිහාසයට විදේශ සබඳතාවන්හි නවතාවක් එක් කිරීමට සමත් විය.

ජාතික දර්ශනය සහ ජාතික අභිමානය ගොඩනැ‍ඟෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාරව චාරිකාව නිම කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට ගොඩබැස්සේ ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් තුළ ද ජාතික භක්තියක් ඇති කරමිනි.

 

තිලාන් පුංචිහේවා
ඡායාරූප -ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න