අයහපත් කාලගුණයෙන් විපතට පත් අයට කඩිනම් සහන දෙන්න | දිනමිණ


 

අයහපත් කාලගුණයෙන් විපතට පත් අයට කඩිනම් සහන දෙන්න

ජනපතිගෙන්-අගමැතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් අාපදා තත්ත්වයට මුහුණ දී සිටින මහජනයාගේ ආරක්ෂාව සහ සුබ සාධනය තහවුරු කරලීමටත් අවශ්‍ය සියලු සහන සැපයීමටත් ගත යුතු ක්‍රියාමාර්ග නොපමාව ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි නායයෑම්, පස් කඳු කඩා විටීම්, ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වතාවරණය ඇති කිරීමට හා මහජන සුබසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේක උපදෙස් මඟින් මේ වන විට දැනුම් දී ඇත.

මෙම සියලු කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු සලසා තිබුණු අතර එහිදී පසුගිය දිනයන්හි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූවන් හා ඇති වූ විනාශයන් පිළිබඳ සාකච්ඡා කිරීමට හා ඒවා වළක්වා ගැනීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2) හමුවක් කැඳවා තිබිණි. අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි එහිදී අගමැතිවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අයහපත් කාලගුණ තත්වයන් හේතුකොටගෙන මේ වනවිට දිස්ත්‍රික්ක 9ක ජනතාව ආපදා තත්වයට ලක්ව ඇති අතර මඩකලපුව, නුවරඑලිය, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඒ පිළිබඳ අවධානය යොමුකර, අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අවතැන් වූවන්ට පිසූ ආහාර ලබාදීම හා ඔවුන්ගේ සනීපාරක්ෂක තත්ත්වයන් පිළිබඳ නොපමාව කටයුතු කරන ලෙස හා පීඩාවට පත්වූවන්ට වියලි ආහාර ලබාදීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ආපදාවට ලක්වූ දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන ලෙස මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන ලෙස ඉල්ලා සිටී අගමැතිවරයා අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය මේ දිනවල පවතින බැවින් විභාගයට පෙනී සිටින සිසුන්ට තම විභාග මධ්‍යස්ථානවලට යාමට නොහැකි නම් විකල්ප විභාග මධ්‍යස්ථාන ලබාදෙන ලෙසද උපදෙස් දී තිබේ.

ආපදා කළමනාකරණ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ, අගමැති ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධනුෂ්ක ගොඩකුඹුර සහ නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න