ගොවි ණය කැපීම ගැන සති දෙකකින් වාර්තාවක් | දිනමිණ


 

ගොවි ණය කැපීම ගැන සති දෙකකින් වාර්තාවක්

ජයසිරි මුණසිංහ

ජනපති-අගමැතිගෙන් මූල්‍ය ආයතනවලට උපදෙස්

ගොවි ජනතාව බැංකුවලින් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය මුදල්වලින් කොපමණ මුදලක් කපා හැරිය යුතු දැයි සති දෙකක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් රජයට ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇතැයි සංවර්ධන බැංකු කටයුතු සහ ණය යෝජනා ක්‍රම රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

වසර ගණනාවක් එකදිගට යල-මහ කන්න දෙක විවිධ ස්වභාවික ආපදා නිසා විනාශයට පත් වී ගොවි ණය ගෙවාගැනීමට නොහැකිව සිටින ගොවි ජනතාවට සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ණය උගුලේ හිරවී සිටින කාන්තාවන් ඇතුළු පිරිසට සහන සලසාදීමට පියවර ගන්නා බව ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දුව එලෙසින්ම ඉටු කිරීමට මේ වාර්තාව ලැබුණු වහාම රජය පියවර ගන්නා බවද ෂෙහාන් සේමසිංහ මහතා කීය.

මෙම ණය මුදල් කපාහැරීමේ දී ජනතාවට සහන සැලසේනවා සේම එම මුදල් ලබාදුන් මූල්‍ය ආයතනවලට ද අලාභයක් හෝ පාඩුවක් සිදු නොවන තැනට වගබලා ගැනීමට රජය අනිවාර්යයෙන් ම කටයුතු කරන බවට රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රජය වතු සේවකයන්ට වැටුප් වැඩිකිරීමේ දී ක්‍රියා කරනුයේ ද සේවක සුබසාධනයත්, වතු හිමිකරුවන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල නොවන ලෙසත් යැයි කී රාජ්‍ය ඇමැතිවරයා, දෙපිරිසටම වාසි අත්වමින් එය සිදු කිරීමට රජය ක්‍රියාකිරීම විශේෂත්වයක් බව ද කීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ මුදල් අමාත්‍යංශයේ දී සිය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමේ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ පැනයට පිළිතුරු ලබා දෙමිනි.

නව අදහස දක්වන්න