සේනානි ප්‍රඩක්ට්ස් බස්නාහිර පළාතේ හොඳම කාන්තා ව්‍යවසායකත්ව සම්මානය දිනයි | දිනමිණ


 

සේනානි ප්‍රඩක්ට්ස් බස්නාහිර පළාතේ හොඳම කාන්තා ව්‍යවසායකත්ව සම්මානය දිනයි

ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කළ 2019 වසරේ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සේනානි ප්‍රඩක්ට්ස් ආයතනය මධ්‍යම පරිමාණ අංශයේ රිදී සම්මානයෙන්ද එහි අධ්‍යක්ෂිකා ජෙනිකා සේනානි වරුසවිතාන මහත්මිය බස්නාහිර පළාතේ හොඳම කාන්තා ව්‍යවසායිකාව ලෙසද සම්මානයෙන් පිදුම් ලැබුවාය.

දෙදහස් හත වර්ෂයේ රුපියල් දහසක ආයෝජනයකින් ආරම්භ කළ සේනානි ප්‍රඩක්ට් ආයතනය මේ වන විට කීර්තිමත් ගමනක් පැමිණ තිබේ. ගොරකා කිලෝ පහක් මිරිස් ගලක අඹරා මුලින්ම නිපදවූ ගොරකා පේස්ට් සඳහා වෙළඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති විය. පසුව ගොරකා චට්නි වෙළඳපොළට හඳුන්වා දීමට සේනානි ප්‍රඩක්ට්ස් ආයතනය කටයුතු කළේය. පාන්, රොටි, ආප්ප, පිට්ටු, බිස්කට් ආදී ආහාර සමඟ භාවිතා කළ හැකි මෙම ගොරකා චට්නියට ඉතා ඉහළ ඉල්ලුමක් ඇත.එහි විශිෂ්ටත්වය වන්නේ කොලොස්ටරෝල් සඳහා ඖෂධයක් වීමත් කුඩා දරුවන්ට පවා ආහාරයට ගැනීමට හැකි වීමත්ය.

ගොරකා පේස්ට් සහ ගොරකා චට්නි, සියබලා පේස්ට්, සියබලා චට්නිවලට අමතරව ගොරකා කැබලි, හාල්මැස්සන් බැදුම, චිලි පේස්ට් සහ ඇබරල්ලා චට්නි ඇතුළු දේශීය කුළුබඩු රාශියක් වෙළඳපොළට හදුන්වා දී තිබේ. මෙම නිෂ්පාදනවල ඇති නැවුම් ගුණාත්මක බව නිසා විශාල වෙළදපොළක් හිමි කර ගෙන ඇත. රසායනික ද්‍රව්‍ය සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මම නිෂ්පාදනවල අඩංගු නොවන නිසා පාරිභෝගික විශ්වාසයද ඉහළ මට්ටමක පවතියි.

සේනානි ප්‍රඩක්ට්ස් ආයතනයේ නිෂ්පාදන මේ වන විට විදේශීය වෙළඳපොළටද අපනයනය කරනු ලබයි. ජාතික විදාතා සම්මානය, කළුතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර හොඳම ව්‍යවසායිකාව, කාගිල්ස් වීර සම්මානය ඇතුළු තවත් ජාතික සම්මාන රාශියක් සේනානි ප්‍රඩක්ට්ස් ආයතනය දිනා ගෙන තිබේ. සියලුම ජයග්‍රහණ පිටුපස සිටින රාජ්‍ය ආයතන

හා පාරිභෝගිකජනතාවට සහ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී සේවය කරන සියලුම සේවක සේවිකාවන්ට තම ස්තුතිය පුද කරන බව වරුසවිතාන මහත්මිය පැවසීය.

නව අදහස දක්වන්න