කසළ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් | දිනමිණ


 

කසළ ප්‍රශ්නයට තිරසාර විසඳුමක්

මේ එළැඹ ඇත්තේ නීති ක්‍රියාත්මක කරමින් හෝ රටේ ජනතාව යහ මගට ගත යුතු කාලය යි. ඒ සඳහා උපරිම සහයෝගය ලබාදීමට අප සිටින්නේ සූදානමිනි. කිහිප දෙනකුට දඩ වදින විට සෙස්සන්ගේ විනය ඉබේට ම ගොඩනැගෙනු ඇත. රෑ මැදියමේ අන් සතු ඉඩමකට හෝ මහ මගට කසළ මලු විසිකර යෑමේ අශෝබන පුරුදු කෙමෙන් පහව යනු ඇත. ඉවක් බවක් නැතිව තැන තැන කසළ බැහැර කිරීමට ජනතාව තුළ ඇති කළ යුත්තේ බියකි.

කසළ යනු සම්පතකි. කසළ කඳුවලට යට වී මිනිසුන් අවසන් හුස්ම පොද හෙළූ ඛේදනීය අතීතයක් අපට ඇත්තේ අප කසළ සම්බන්ධයෙන් නිවැරදි පිළිවෙතක් අනුගමනය නොකළ ජාතියක් වූ බැවිනි. එදා සිට අද දක්වා ම කසළ සම්බන්ධයෙන් අප අනුගමනය කරමින් එන වැරදි පිළිවෙත් එමට ය. බස් ටිකට් පත, දුම්රිය ටිකට් පත, ටොෆි කොළය පවා තැන තැන දමා යෑම වැඩි දෙනකුගේ පුරුද්ද ය. ඇතැමකුගේ නිවෙස පිරිසුදු ය. ගෙවතු ද එසේ ම ය. නමුත් එකතු කරගත් කසළ මැදියම් රැයේ ගෙනැවිත් දමන්නේ මහ මගට ය.

නිවෙස තුළ මෙන් ම පොදු ප්‍රවාහන සේවය තුළ , පාසල තුළ, කාර්යාලය තුළ කසළ බැහැර කිරීමේදී නිවැරදි පිළිවෙතක් අනුගමනය කරන්නේ අප අතරින් කීයෙන් කීදෙනෙකු ද? සුඛෝපභෝගී රථවලින් ගමන් කරන අතර මහ මඟට කුණු විසි කිරීම මහත්මා ගතියක් නොවන වග කොතෙක් කීවද ඒවා ද බීරි අලින්ට වෙණ වයන්නා සේ ය. කසළ ප්‍රතිචක්‍රීකරණය, ජීව වායු සහ කොම්පෝස්ට් නිපදවීම පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යන්නේ අදක ඊයෙක සිට නම් නොවේ. නමුත් ඒ කිසිවක් අපේක්ෂිත පරිදි සිදු නොවීම කනගාටුවට කරුණකි.

ආකල්පමය වෙනසක්

රටක් ජාතියක් ලෙස අභිමානවත් ව නැගීසිටිමෙන් දියුණුව කරා යෑමට නම් ජනතාව තුළ පළමුකොට ඇති කළ යුත්තේ ආකල්පමය වෙනසකි. තමන් අවට පරිසරය පිරිසිදු ව තබාගැනීම, කසළ නිවැරදි ව බැහැර කිරීම දරුවකු මුලින් ම උගත යුත්තේ නිවෙසින් ය. එසේ හෙයින් වැඩිහිටියන් කළ යුත්තේ කකුළුවන් සේ ඇදට යමින් පැටවුන්ට කෙලින් යෑමට කියාදීම නොව ආදර්ශමත් ව කටයුතු කිරීම ය.

කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් දරුවන් තුළ නිවැරදි පිළිවෙතක් ඇති කිරීමට කටයුතු කළ හැකි අනෙක් වැදගත් පාර්ශ්වය වන්නේ ගුරුවරුන් ය. ගුරුවරයා ද එය කළ යුත්තේ ආදර්ශයෙනි. කැළි කසළ වැරදි අන්දමින් බැහැර කිරීම තුළ පරිසරයට සහ ජෛව ගෝලයට සිදුවන හානිය පිළිබඳ කුඩා කල සිට දරුවකු දැනුවත් කිරීම තුළින් අනාගතයේ දී පරිසර හිතකාමී මිනිසකු බිහි කළ හැකි වේ. නමුත් සිදු වන්නේ අවට පරිසරය පිරිසිදු ව තබාගැනීම පිළිබඳ පාඩම්, පෙළ පොතට ඇතුළුකොට තිබුණ ද ඒවා විභාගය සමත් කිරීමට පමණක් ප්‍රයෝජනයට ගෙන ඉන් පසුව ජීවිතයෙන් ඈත්කොට දැමීම වීම අප වැනි රටක මිනිසුන් අතින් වන බරපතළ වරදකි.

කෙසේ වෙතත් මේ වන විට නව ජනාධිපතිතුමා ආරම්භ කර තිබෙන වැඩ පිළිවෙළ සැබවින් ම පැසසුමට ලක්විය යුතු ම ය. උදෑසන ජනතාව රාජකාරී සඳහා පිටත්වන වේලාව වන විට වීදියක් වීදියක් ගාණේ කසළ එකතු කර අවසන් ය. පෙර පරිදි ජනතාව රාජකාරි සඳහා පිටත්වන මං මාවත්වල කුණු කරත්ත හෝ වීදි පිරිසිදු කරන්නන් පෙනෙන්නට නැත. ඔවුන්ගේ රාජකාරිය පාන්දරින් අවසන් වීමෙන් පසු හිරු රැස් වැටෙන්නේ පිරිසිඳු නගරවලට ය.

පිරිසිඳු මංමාවත්වලට ය. එසේ හෙයින් පිරිසිඳු මාවත් ඔස්සේ පැහැදිලි මනසින් රාජකාරියට පිටත්ව යෑමට දැන් අපට අවස්ථාව උදා වී ඇත. නමුත් ගැටලුව ඇත්තේ එකතු කරගන්නා කසළ ගෙනගොස් අතහරින තැන පිළිබඳව ය. කොළඹ මහ නගර සභාව ඔවුන්ගේ වගකීම හරියාකාර ව ඉටු නොකරන බව පැහැදිලි ය. කසළ සම්බන්ධයෙන් ඔවුන්ට අදටත් නිවැරදි වැඩ පිළිවෙළක් නැත. එකතු වන කුණු ලොරි රථවල පටවා යවන්නේ අරුවක්කාලුවට ය. ලංකාවේ කසළ සම්බන්ධයෙන් බරපතල ම ගැටලුව ඇත්තේ අරුවක්කාලු ප්‍රදේශයේ ය.

නිවැරැදි ක්‍රමවේද

කසළ ගැටලුවට නිසි විසඳුමක් නොමැති වීමෙන් අරුවක්කාලුවට කසළ ගෙනයෑමට නගර සභාවට ඉඩ නොදෙන විට සිදු වන්නේ වීදි පුරා කසළ ගොඩගැසීම ය. එසේ ම මේ කසළ අරුවක්කාලුවට ගෙනගොස් දැමීමෙන් ඒ ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන අපහසුතා පිළිබඳ ව ද විශේෂයෙන් අවධානය යොමු විය යුතු ය. ඒ සඳහා පිළියමක් ලබාදීම මේ මොහොතේ ජනාධිපතිතුමන් විසින් අවධානය යොමු කළ යුතු අත්‍යවශ්‍ය කටුයුත්තක් සේ දකිමි.කෙසේ වෙතත්

කොම්පෝස්ට් නිපදවීම හෝ ජීව වායු නිපදවීම ජනතාව බලාපොරොත්තු වන පරිදි සිදු වන්නේද නැත.

පසුගිය වකවානුව තුළ ජනතාව දැනුවත් කළේ කසළ බැහැර කරන විට කඩදාසි, ප්ලාස්ටික් සහ වීදුරු වෙන්කොට බැහැර කිරීමට ය. එවැනි ක්‍රමවේද ආරම්භ වූ නමුත් ක්‍රමවත් ව පවත්වාගෙන යෑමට රටක් ලෙස අප අපොහොසත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ හෙයින් එවැනි ක්‍රමවේද නැවත ක්‍රමවත් ව පවත්වාගෙන යෑමටත් කසළ ගැටලුවට එක් ව පිළිතුරු සෙවීමටත් පළාත් පාලන ආයතන වැඩි වගකීමක් ගත යුතු ය. මිනිසුන්ට නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නේ නම් ඔවුන් අතරින් බහුතරය එය ක්‍රියාත්මක කරනු ඇත. කඩදාසි, වීදුරු, ප්ලාස්ටික් වෙන්කොට නොදෙන්නේ නම් කසළ රැගෙන නොයන බවට කොළඹ නගර සභාව දැනුම් දුන් පසු ජනතාව කසළ වෙන් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ බව අපට මතක ය.

නමුත් ජනතාව පිළිවෙළට වෙන්කොට ලබාදුන් කඩදාසි, වීදුරු සහ ප්ලාස්ටික් ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ම නගර සභාවෙන් රැගෙන යන්නේ එක ම කුණු ටැක්ටරයේ එකට ම ය. තමන්ගේ උත්සාහය සහ මහන්සිය අපතේ යන බව ඇස්පනාපිට පෙනී යන තැන එවැනි ක්‍රමවේද අනුගමනය කිරීමට ජනතාව තව දුරටත් යොමු වේ ද? යන්න ගැටලුවකි. විශේෂයෙන් ම කොළඹ නගරය පිරිසිඳු ව තබාගැනීමට කොළඹ නගර සභාවට හැකියාව ලැබී ඇත්තේ අරුවක්කාලු කසළ රඳවනය හේතුවෙනි. නමුත් ඔවුන්ගේ කසළ ප්‍රශ්නය විසඳා ගැනීමට අප ඔවුනට බල කළ යුතු ය. මන්ද තවකෙකුගේ වත්තකට කුණු දමා තම වත්ත පිරිසිඳු ව තබා ගැනීම සිදු නොකළ යුත්තකි. මෙවැනි ගැටලුවලට පිළියම් සෙවිය නොහැකි නගරාධිපතිවරුන් අපට කුමකට ද?

එසේ ම යම් හෙයකින් රට ගැන හැඟීමක් ඇතිව කටයුතු කිරීමට ජනතාව පෙළඹෙන්නේ නැතිනම් නීති ක්‍රියාත්මක කිරීම තුළින් හෝ රට ගොඩැගිය යුතු ය. මහ මගට කසළ දමන්නන් වෙනුවෙන් වූ රු.50ක දඩය රු.500 දක්වා වැඩි කිරීමට එදා අපි කටයුතු කළෙමු. එවැනි නීති පවතින නමුත් ගැටලුව වන්නේ ක්‍රියාත්මක නොවීමේ ය. එසේ ම එම නීති ක්‍රියාත්මක කිරීමට යොදවා ඇති නිලධාරීන් කොන්ද පණ ඇති ව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවකි. ඇතැම් නිලධාරීන් උත්සාහ ගන්නේ අලි යන කපොලු තිබිය දී කූඹි යන ගුල් වැසීමට ය.

නීතිය අකුරට

කසළ අක්‍රමත් ලෙස බැහැර කිරීම නිරන්තරයෙන් ඩෙංගු උවදුරට අතවැනීමකි. එබැවින් ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ඇති රු. 25000ක දඩය ද අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කළ යුතු ය. රටට යහපතක් කිරීමේ අරමුණින් එම දඩය පැනවීමට අප ඉතා වෙහෙස වී කටයුතු කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය ඇමති ධුරයේ කටයුතු කළ අවධියේ ය. සාධාරණ පරිදි ක්‍රියාමක නොවන්නේ නම් නීති සැකසීමේ ඵලය කුමක් ද? මේ එළැඹ ඇත්තේ නීති ක්‍රියාත්මක කරමින් හෝ රටේ ජනතාව යහ මගට ගත යුතු කාලය යි. ඒ සඳහා උපරිම සහයෝගය ලබාදීමට අප සිටින්නේ සූදානමිනි.

කිහිප දෙනකුට දඩ වදින විට සෙස්සන්ගේ විනය ඉබේට ම ගොඩනැගෙනු ඇත. රෑ මැදියමේ අන් සතු ඉඩමකට හෝ මහ මගට කසළ මලු විසිකර යෑමේ අශෝබන පුරුදු කෙමෙන් පහව යනු ඇත. ඉවක්බවක් නැතිව තැන තැන කසළ බැහැර කිරීමට ජනතාව තුළ ඇති කළ යුත්තේ බියකි. එය සිදු කළ හැක්කේ නීතියෙන් දඬුවම් කිරීමෙන් විනා කාරුණික ව පහදා දීමෙන් නොවන බව නම් දැන් දැන් මැනවින් පැහැදිලි වෙමින් තිබේ.

මන්ද අපේ ජනතාව අතරින් බහුතරය අතිශය කම්මැළි පිරිසකි. ඔවුන් උදෑසන රාජකාරියට පිටත්ව යන්නේ ද කිසිවක් නොකොට නැවත නිවෙස බලා යෑමේ අරමුණෙනි. නිරන්තරයෙන් අනුන් මත යැපීම ඔවුන්ගේ පරමාර්ථය යි. නමුත් වැටුප ලැබෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටී. චීන වැසියන් පැමිණ මෙරට වරාය සහ පෝට්සිටි ගොඩනගන විට ඔවුන් සතුටු ය.

එය කිසිවක් සිදු නොකොට තවකෙකු විසින් සියල්ල කරදෙන තෙක් බලාසිටීමෙන් ලබන බාල සතුටකි. එවැනි ජාතියක් තමන්ගේ කසළ නිසි පරිදි බැහැර කිරීම වෙනුවෙන් පරිසර හිතකාමී පිළිවෙතක් අනුගමනය කිරීමට අමතර වෙහෙසක් ගන්නේ, එසේ නොකොට සිටීම දඬුවම් ලැබීමට හේතුවක් වන තැනකදී පමණ ය. මෙම මානසිකත්වය වහා වෙනස් කළ යුතු අතර ගොඩනැගිය යුත්තේ රටට ආදරය කරන ප්‍රජාවකි. නමුත් ජනතාවට රට ගැන ප්‍රබල හැඟීමක් නොමැති වීම යහපත් පාලකයන් ද නිරන්තරයෙන් මුහුණපාන ගැටලුවක් බව නොකියා ම බැරි ය. එසේ හෙයින් පරිසරය රැකගැනීමට නම් අවශ්‍ය පරිදි දැඩි ව නීති ක්‍රියාත්මක කළ යුතු ය. නීතියට බියෙන් අවිධිමත් ව කසළ බැහැර කිරීමෙන් වැළකී සිටින්නන් කලෙකදී නිසි පරිදි කසළ බැහැර කිරීම පුරුද්දක් බවට පත් කරගනු ඇත.

ප්‍රතිචක්‍රීකරණය

කුඩා දරුවාගේ පටන් සියලු ම දෙනා වෙනුවෙන් කසළ වෙන් කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණයට පහසුවන පරිදි බැහැර කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සෑහෙන පමණ සිදුකොට ඇත්තෙමු. නමුත් ගැටලුව නම් කිසිවක් එලෙසින් ම ක්‍රියාත්මක නොවීම ය. කසළ යනු සම්පතක් බව මා කියා සිටින්නේ 1993 සිට ය. එසේ ම කොම්පෝස්ට් පොහොර නිපදවීමට, ජීව වායු නිපදවීමට සහ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නිරන්තරයෙන් මග පෙන්වන්නෙමු. මා විසින් ජාතික ඝන අපද්‍රව්‍ය ප්‍රතිපත්තිය පරිසර අමාත්‍යංශයට සකස්කොට දී ඇත්තේ ඉතාමත් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වන පරිද්දෙනි.

එවකට විෂය භාර අමාත්‍යවරයා ව සිටියේ චම්පික රණවක ඇමතිතුමා වන අතර නොමිලයේ සකස්කොට දුන් ජාතික ඝන අපද්‍රව්‍ය ප්‍රතිපත්තිය වෙනුවෙන් වැඩි සැලකිල්ලක් යොමු නොවුණු බව කිව යුතු ය. ඝන අපද්‍රව්‍ය ප්‍රතිපත්තිය පසෙකින් තබා එතුමා අරුවක්කාලු කසළ රඳවනය ඇති කිරීමට කටයුතු යෙදී ය. නමුත් ජාතික ගණ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ නම් එය මෙරට කසළ ගැටලුවට විසඳුම් සෙවිය හැකි හොඳ ම පිළිවෙත යි. යම් හෙයකින් එම වැඩසටහන වෙනුවෙන් නව ආරම්භයක් ගැනීම වෙනුවෙන් සහය දැක්වීමට හැකි නම් මා ඒ සඳහා ද සූදානම් ය.

අවැසි වන්නේ පක්ෂ පාට භේදයකින් තොරව රට වෙනුවෙන් වැඩ කිරීම ය. නිවැරදි ප්‍රතිපත්තිය අප සතුව ඇත. සිදු විය යුත්තේ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගැනීම පමණි. මෙම ජාතික ගණ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන පිළිබඳ ව ජනපතිතුමන්ගේ අවධානය යොමු වන්නේ නම් ඊට අදාළ වැඩ කොටස තෙමසකින් අවසන් කළ හැකි බව මගේ විශ්වාසය යි.

සටහන - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න