ශිෂ්‍යයා /ශිෂ්‍යාවගේ අවධානය | දිනමිණ


 

ශිෂ්‍යයා /ශිෂ්‍යාවගේ අවධානය

ස්නායු කායික විද්‍යාව හා සම්බන්ධ අධ්‍යයනයන් ගැන සැලකීමේ දී නොයෙකුත් පරිසර සාධක පුද්ගලයාගේ අවධානය යොමුකර ගැනීම හා එය පවත්වා ගැනීම සඳහා වැදගත් වේ. මේ කාරණා අතර එහි ඇති වැදගත්කම (importance) අලුත් , නැවුම් බව (Novelty) තීව්‍රතාව හෙවත් ප්‍රබල බව (Intensity) සහ සංචලනය ( morement) යන කාරණා වැදගත් සාධක වේ. එබැවින් ගුරුවරයා ඉගැන්වීම් කරන කාර්යයේ දී ඉහත කාරණය ගැන සැලකිලිමත් වීම සහ එම සාධක ප්‍රායෝගිකව භාවිතයට ගැනීම ද වැදගත් වේ.

ඉගැන්වීම් ක්‍රියාවලියේ දී එම උගන්වන දේ පිළිබඳ වැදගත්කම කියා දිය යුතු ය. හොඳින් වටහා දිය යුතුය. මෙහි දී අවශ්‍ය තැන්, අවශ්‍ය කරුණු අවධාරණය කළ යුතු යි. මේ පාඩමෙන්, මේ කොටසින් ප්‍රශ්නයක් එනවා මයි. බො‍හෝ දුරට මේ ගැන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ආදී වශයෙන් විශේෂ පාඩම් කොටස් ගැන විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය ය.

එමගින් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ සෘජු අවධානය අදාළ කාරණය වෙත යොමු කර ගැනීමටත්, වෙනත් බාහිර අවධානයන්ගෙන් වළක්වා ගැනීමටත් හැකිවේ. යම් පාඩමකින් ප්‍රශ්න අසන බව ගුරුවරයා කී විට ශිෂ්‍ය ශිෂයාවන් ඒවා ගැන වැඩි උනන්දුවක් හා අවධානයක් යොමු කරනු ඇත. වැදගත් යැයි හැ‍ඟෙන තැන්, වැදගත් කරුණු (Keypoints) පාරිභාෂික පද, වචන, ශබ්ද (keyterms) පාඩමක් අවසානයේ පැහැදිලි කර දිය යුතු වේ.

ඉගැන්වූ අදාළ කරුණු ගැන ශිෂ්‍යයාට ‍හෝ ශිෂ්‍යාවට කෙටියෙන් ලිවීමට හෝ කීමට අවස්ථාවක් දීම ප්‍රයෝජනවත් ය. නැවුම් බවකින් (Novelty) යුතුව අධ්‍යයන කාර්යයේ නිරත වීම මඟින් දරුවාගේ අධ්‍යයනය පහසු වෙයි. එමගින් ළමයාගේ අවධානය යොමු කිරීම හා එය පවත්වා ගැනීම සඳහා හේතුවේ. උදා: ලෙස ශාකවල පත්‍ර, හැඩතල දැක බලා ගෙන රැගෙන එන්නැයි ළමයින්ට පැවරීමෙන් එය ළමයින්ට ඉගෙනීමට පහසු කෙරේ.

සත්ත්ව විද්‍යා පාඩමක දී ගෙම්බකු, කැරපොත්තකු වැනි පරීක්ෂණ ‍ සඳහා යොදා ගන්නා සතකු රැගෙන එන්නැයි ශිෂ්‍ය ශිෂ්‍යාවනට පැවරීමෙන් ඔවුන් ඒ සතුන් ගැන පොතෙන් කියා දෙන දේට වඩා වැඩි දෙයක් ඉගෙන ගනු ඇත. එසේ ම ප්‍රායෝගිකව අත්දැකීම තුළින් හොඳ මතකයක් ඉතිරි වේ. බෝල යන්ත්‍රයකින් (Ball Machine) බෝලය විසි කෙරෙන්නේ හැම වරක්ම අලුත් දිශාවකට, අලුත් විදිහකට වෙනස් ක්‍රමයට බැවින් එය යන්ත්‍රයෙන් විසි කෙරෙන බෝලය අල්ලන්නා එය ඉතාමත් දැඩි අවධානයකින් කළයුතුය. නැත්නම් ඒ බෝලය අල්ලන්නට බැරිය. අලුත් විදිහට හැම වාරයකම බෝලය එන බැවින් ඒ ගැන දැඩි අවධානයකින් එය ඇල්ලීමට හැමවිටම දැඩි අවධානයෙන් (Attention) සිටීමට සිදුවේ.

අධ්‍යයන කටයුතුවල දී ළමයි බො‍හෝ විට අනවධානයෙන් පසු වන්නේ උගන්වන විෂයයේ ඇති ගැඹුරයි. එම ගැඹුරු කාරණා වුවත් සරලව කියා දීම තුළින් ළමයින්ගේ අවධානය පවත්වා ගැනීමට පුළුවන් වේ. මෙහි දී ශරීර භාෂාව (Body Language) භාවිතා කළහැකි වේ. මේ මගින් අවශ්‍ය කරුණු කාරණා තහවුරු කිරීමට උත්සාහ කිරිම වැදගත්ය.

ඊළඟට වැදගත් දෙයක් නම් ප්‍රායෝගික අත්දැකීම් හා ක්‍රියාකාරකම් සමඟ ඉගෙනීමට පහසුකම් සැලසිය යුතු බවයි. උදාහරණ ලෙස “ගණිතාගාර” සංකල්පය වැදගත් වේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ළමයාට වෙහෙසක් නැතිව ම ගණිත සංකල්ප ගැන අවබෝධයක් ලබා දිය හැකි ය. විද්‍යාගාරවල දී විද්‍යාත්මක පරීක්ෂණ කිරීමෙන් ඒවා ගැන දැනුම හා අවබෝධය ලබා ගැනීමට සිදුවිය. වනාන්තර පද්ධතියක් පෙන්වීම තුළින් ළමයාට ඒ පරිසරය ගැන බොහෝ දේ අධ්‍යයනයටත් මතක තබා ගැනීමටත් හැකිවේ.

ඉගැන්වීමේ දී අවශ්‍ය කරන මූලික කරුණු අන්තර්ජාල හා වීඩියෝ මගින් ලබා ගෙන ඒවා ප්‍රදර්ශනය කරමින් ඉගැන්වීම් කරන ගුරුවරු ද සිටිති. එවැනි ගුරුවරයකු වන අලි පෙන්වීමට, ස්වභාවිකව වනාන්තරවල හැසිරෙන හැටි ළමයින්ට පෙන්වීමට එම මාධ්‍ය භාවිතා කරනු ඇත. වන අලි ගැවසෙන තැනකට පාසල් ළමයින් රැගෙන යාම අවදානම් සහිත බැවින් ඒ වෙනුවට වීඩියෝ දර්ශන පෙළක් මගින් ඒ කරුණු පැහැදිලි කිරීමට ගුරුවරයාට පුළුවන. ඒ මගින් අලි කන බොන යන එන හැටි වනයේ ගැවසෙන හැටි නිදන හැටි පැටවුන්ට ආරක්ෂාව සපයන හැටි රංචුවේ සහජීවනය ඒ අනුව දෑසින් දැක අධ්‍යයනය කළ හැකි ය. කුඩා ළමයින්ට සත්ත්ව චර්යා නිරූපණය කිරීමට පුළුවන. පන්තියක පාඩමක් කරනවිට වඩා විද්‍යාගාරයක පාඩමක් කරන විට ළමයි ප්‍රබෝධමත්ව පාඩමට අවධානය යොමු කිරීමට පෙලඹෙති. එසේ වන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගය ඒ.

තවමත් අපේ පාසල්වල ගුරුවරු පන්තිය ඉදිරියට විත් හෝ තම ගුරු පුටුවේ අසුන්ගෙන පෙළපොතේ පාඩමක් පෙරළාගෙන එය ළමයින් ඉදිරියේ කියමින් විස්තර කර දීමට උත්සාහ දරති. එවැනි ගුරුවරයකුට පන්තියේ නිශ්ශබ්දතාව ආරක්ෂාකර, පවත්වා ගැනීම සඳහා ද විශාල වෑයමක්, වෙහෙසක් දැරීමට සිදුවේ. එවැනි අවස්ථාවල පාඩම නීරස වූ ඇතැම් ළමයි ඒ ගැන අවධානය අත්හැර තම තමන්ගේ දෙයක් බලා ගනිති. සමහරු ගුරුවරයාගේ ඉගැන්වීම ගැන නොතකා කතා බහ කරමින් ඝෝෂාවක් ඇති කරති. ඒ ඝෝෂාව, බාධා අබිබවා තමා කියන දේ වඩාත් උස් හඬින් කියන්නට ගුරුවරයා එවිට පෙලඹෙනු ඇත. අශීලාචාර, විනයක් නැති ළමයින් ගැන සිතමින් ගුරුවරයා තනිව ම සිත් වේදනා ඇති කර ගනී. ඇතැම් සැර පරුෂ ගුරුවරු කරන්නේ ළමයින්ට දැඩි දඬුවම් පමුණුවීම යි. පහර දීම, මානසිකව වට්ටන අයුරින් පන්තිය ඉදිරියේ ළමයාට අපහාස වන අයුරින් විවිධ ක්‍රියා කිරීම, විදුහල්පතිවරයා වෙත යොමු කිරීම වැනි ක්‍රියාවලට ඔව්හු පෙලඹෙති.

මෙම සාම්ප්‍රදායික ඉගැන්වීම් සංස්කෘතිය වෙනස් විය යුතුව තිබේ. වසර දහස් ගණන් පැරණි ඉගැන්වීම් ක්‍රමවේද, දිසාපාමොක්ලාගේ චරිත අදටත් ගැළපේ යැයි සිතීම මුළාවකි. අද වනවිට අධ්‍යාපනය හා ඉගැන්වීම් ක්‍රමවේද සාර්ථක ඵලදායී වන්නේ කෙසේදැයි සොයා පරීක්ෂණ මඟින් හඳුනාගෙන තිබේ. ඒ කාලයේ පැවති දැනුමට වඩා අතිශයින් පුළුල්, ගැඹුරු, සංකීර්ණ දැනුම් සම්භාවයක් නව ලෝකය අත්පත් කර ගෙන සිටී. වසර සිය දහස් ගණනකට පෙර තිබූ දැනුම මෙන් නොව එය අතිශයින්ම වෙනස් ය. අපගේ ගුරුවරයාට කළ යුතුව ඇති කාර්යභාරය, ඔහුගේ ගුරුභූමිකාව එදාට වඩා බෙහෙවින්ම වෙනස් බව අවබෝධ කර ගත යුතු ය.

කරුණාතිලක හඳුන්පතිරණ

නව අදහස දක්වන්න