නාට්‍යය ළමයාට වඩාත් ගෝචර අධ්‍යාපන ක්‍රමවේදයයි | දිනමිණ


 

නාට්‍යය ළමයාට වඩාත් ගෝචර අධ්‍යාපන ක්‍රමවේදයයි

චන්දන අලුත්ගේ

සෝමලතා සුබසිංහ ළමා නාට්‍ය උළෙල - 2019 මේ මස 06, 07, 08 යන දිනවල දී සවස 3.30ට සහ 6.45ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගතවේ. මේ සම්බන්ධයෙන්, ලංකා ළමා හා යොවුන් රඟහල පදනමේ අධ්‍යක්ෂක, කොලඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ළමා නාට්‍ය නිෂ්පාදක, ළමයින් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ වසර විසිපහක පමණ අත්දැකීම් ඇති චන්දන අලුත්ගේ සමඟ කළ සාකච්ඡාවකි.

 ළමයා කියන සත්ත්වයා, සැබෑ තත්ත්වයේදී සහ කලාවේදී තේරුම් ගන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව වැනි රටවල ළමයා යනු වැඩිහිටියාගේ කුඩා අවදිය ලෙස සලකනු ලැබූවත්, නිර්මාණකරනයේදී ළමයා යනු විශේෂිත පුද්ගලයකු ලෙස අවබෝධ කරගතයුතුයි. ඒ අනුව ළමයාගෙ මානසික තත්ත්වයට ගැලපෙන ලෙස නාට්‍ය නිර්මාණ කෙරෙනවා. ඔවුන් සඳහා විශේෂිත කෑම වර්ග, ඇඳුම්, වෛද්‍ය සේවා මෙන්ම නිර්මාණකරණයද ළමයාට ඔබින ලෙස සිදුවිය යුතුයි. ළමුන්ගේ පරිකල්පනය දියුණු කිරීමට හොඳම ක්‍රමය නාට්‍ය බව පර්යේෂණ මගින් සනාථවී තියෙනවා.

වාර්ෂිකව ළමා නාට්‍ය උළෙලක් පැවැත්වීමේ අරමුණ වන්නේ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ කළ දේම පවත්වා ගෙන යාමමද? නැත්නම් වෙනත් එකක්ද?

ඇයගේ අභිප්‍රාය වුණේ නාට්‍ය මඟින් ළමයින් තුළ මානව දයාව ඇතිකිරීම. එය උතුම් ක්‍රියාවක්. ඔවුන්ට විනෝදයෙන් සහ විවේකයෙන් ළමයින් ලෙස වර්ධනය වීමට නාට්‍ය මනා ලෙස ඇය භාවිත කර ආදර්ශයන් අපට දායද කර තිබෙනවා. අප සංස්කෘතියේ අභිමානය සහ එහි වටිනාකම් ද පවුලේ එකමුතුව සහ එහි වටිනාකම් ද ආදරය, මානව දයාව සහ ලෝකය පිළිබඳ දැනුවත් වීමේ වැදගත්කම මෙම නාට්‍ය තුළින් රසවත් සහ ඉතාමත් ආකර්ශනීය ලෙස දරුවාට පැහැදිලි කරනවා. අපගේ උත්සාහය ඇයගේ එම දායාදය තවත් දියුණු කර අලංකාර ළමා නාට්‍ය සමුදායක් නිර්මාණය කිරීමයි.

නිර්මාණයකින් පණිවිඩ බලා දෙන්නේ නෑ. එහෙත් ළමයා සඳහා කරන නිර්මාණවලදී බරපතල දේ ළමයාට දෙන්න බෑ. ළමා නාට්‍ය හරහා ළමයාට දෙන්නේ පණිවිඩයක්ද? නැත්නම් ඊට එහා ගිය දෙයක්ද?

අපගේ ළමා නාට්‍ය තුළින් ළමයින්ට ජීවිතාවබෝධය සහ ලෝකාවබෝධය ලබාදීමට උත්සාහකරනවා. ඒවගේම මූලික කලා ශිල්ප එනම් නැ‍ටුම්, සංගීතය, වර්ණ, ශාරීරික චලනය යනාදිය පිළිබඳ අවබෝධයද මෙම නාට්‍ය තුළින් ළමයාට ලබාදෙනවා.

ජාත්‍යන්තර ජන කතා සහ සුරංගනා කතා පදනම් කොට ගෙන අර්ධ සංගීතමය නාට්‍ය ලෙස මෙම නාට්‍ය නිෂ්පාදනය කර තිබෙනවා. දරුවන් හට අප සංස්කෘතියේ අභිමානය සහ එහි වටිනාකම් ද පවුලේ එකමුතුව සහ එහි වටිනාකම් ද වටහා ගත හැකි පරිදි සරල නාට්‍යමය ආකෘතියකට අනුව මෙම නාට්‍ය නිෂ්පාදනය කරනවා. ඒ වගේම ආදරය, මානව දයාව සහ ලෝකය පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම මෙම නාට්‍යවලින් දරුවාට පැහැදිලි කරනවා.

ළමා නාට්‍ය සඳහා වඩාත්ම හොඳ රංග ක්‍රමය කුමක්ද?

ළමයින් ඉතාමත් නිර්මාණශීලි බුද්ධිමත් පිරිසක්. ඒ වගේම ලමයින් බොහෝම ක්‍රීඩාශීලියි සහ ප්‍රබෝදමත්. බොහෝම අවංකයි සහ අහිංසකයි. ළමයින්ගේ මෙම ස්වාභාවික ලක්ෂණ ආරක්ෂාවන අයුරින් සහ තවත් වර්ධනය වන අයුරින් නාට්‍ය නිෂ්පාදන ක්‍රමවේද සහ රංගවිධි ක්‍රම දියුණු කළ යුතුයි. ළමයින්ගේ රංගනය සඳහා, අප භාවිතා කරන ක්‍රමවේදය වෘත්තීමය නළුවන් යොදා ගැනීමයි.

උළෙල සඳහා වේදිකාගත කරණ "පුංචි අපට දැන් තේරෙයි", "තොප්පි වෙළෙන්ඳා", "වලස් පවුල" එකිනෙකට වෙනස් රස ලබාදෙන නාට්‍ය තුනක්?

"තොප්පි වෙළෙන්ඳා" සහ "පුංචි අපට දැන් තේරෙයි" නාට්‍ය ද්විත්ය ශ්‍රී ලාංකේය ජන නාට්‍ය ශෛලියට අනුව නිෂ්පාදනය වී තියෙනවා. ජන ගී, ජන නැ‍ටුම් සහ ජන නාට්‍ය ක්‍රම පිළිබඳ අවබෝධය ඉතාමත් රසවත්ව ළමයාට ඉදිරිපත් කරනවා.

"වලස් පවුල" නාට්‍ය නූතන නාට්‍ය සම්ප්‍රදායට වඩාත් සමීප ලෙස නිපදවා තිබෙනවා. නූතන සංගීත රටා, චලන, රංගාලෝකය යනාදිය උපයෝගි කරගනිමින් ළමයාට රසවත් නාට්‍යමය අත්දැකීමක් ලබාදෙනවා.

උළෙලේ නාට්‍ය සියල්ලම ජාත්‍යන්තර ජන කතා සහ සුරංගනා කතා පදනම් කොට ගෙන අර්ධ සංගීතමය නාට්‍ය ලෙස නිෂ්පාදනය කර තියෙනවා. ඒ වගේම දරුවන් හට අප සංස්කෘතියේ අභිමානය සහ එහි වටිනාකම් ද පවුලේ එකමුතුව සහ එහි වටිනාකම් ද වටහා ගත හැකි පරිදි සරල නාට්‍යමය ආකෘතියකට අනුව මෙම නාට්‍ය නිෂ්පාදනය කර තියෙනවා. ආදරය, මානව දයාව සහ ලෝකය පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම මෙම නාට්‍යවලින් දරුවාට පැහැදිලි කරනවා.

විදෙස් රටවල ළමා නාට්‍ය කලාව මෙරටට වඩා දියුණු මට්ටමක පවතිනවා. ඒ කලාව අධ්‍යාපනය සඳහා ද යොදා ගන්නවා?

"පුංචි අපට දැන් තේරෙයි" නාට්‍ය 6 වන ශ්‍රේණිය නාට්‍ය හා රංග කලා විෂයට සහ 9 වන ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට නිර්දේශිත ග්‍රන්ථයක්. "තොප්පි වෙළෙන්ඳා" නාට්‍ය 7 වන ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට නිර්දේශිත ග්‍රන්ථයක්. ඒ නිසා මේ නාට්‍ය නැරඹීම ළමයින්ගේ පාසල් අධ්‍යාපනයේම කොටසක්.

එහෙත් ප්‍රශ්නය ඇත්තේ ළමයින්ව නාට්‍ය නැරඹීමට යොමුකිරීම ගැනයි. නාට්‍ය හැර අනෙක් සෑම කටයුත්තක් සඳහාම, ළමයා යොමු කරනවා. උදාහරණයක් ලෙස අධ්‍යාපන චාරිකා, ග්‍රහලෝකගාරයට යෑම, සත්වෝද්‍යානයට යෑම වැනි දෑ පාසල් වෙලාවේම සිදුවුණත්, නාට්‍ය පාසල් වේලාවේ පැවත්වීමට අධ්‍යාපන බලධරයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් වැනි අයගේ උනන්දුව මදි. විෂය මාලාවට අදාළ නාට්‍යවලටත් මේ තත්ත්වය එසේමයි.

ඕනෑම නාට්‍ය කලාවක් දියුණු වීමට එය කර්මාන්තයක් සේ වර්ධනය විය යුතුයි. ළමයින්ගේ නාට්‍ය සඳහා ප්‍රවේශපත්‍ර අඩුමිලකට දියයුතුයි. ඒ නිසා ළමා නාට්‍ය කලාව කර්මාන්තයක් ලෙස වර්ධනය වීමට නොහැකියි. එසේවිමේදී දියුණු ළමා නට්‍ය කලාවක් ඇතිකරගැනීම දුෂ්කරයි.

නාට්‍ය කලාව අධ්‍යපනය සඳහා යොදා ගැනීමේ නිසි ක්‍රමවේදයක් මේ රටේ නෑ නේද? එය ඇති කරනවා නම් එය කළ යුත්තේ කෙසේද?

යම්කිසි ක්‍රමවේදයක් තිබුණත් එය ක්‍රියාවට නැංවීම අධ්‍යාපන බලධරයන් උවමනාවෙන්ම පැහැරහරිනවා සේ අපට දැනෙනවා. එක් අතකින් නාට්‍ය විෂය නිර්දේශයට අන්තර්ගත කර තිබුණත් අනෙක් අතින් එම නාට්‍ය පාසල් වේලාවේදී ප්‍රදර්ශනය කිරීම ගැන පැහැදිලි අදහසක් දකින්න නෑ.

සුදුසු ක්‍රමවේදයක් මගින් ප්‍රශස්ත ළමා නාට්‍ය ‍තෝරාගෙන ළමයින් නාට්‍ය නැරඹීමට යොමුකරන පහසු ක්‍රමයක් සකස් කළයුතුයි. එය ඇත්තෙන්ම පලදායී අනාගත අයෝජනයක්.

මීට අමතරව, සෝමලතා සුබසිංහ Pley House වෙතින් වාර්ෂිකව ළමයාට පෞර්ෂය වර්ධන වැඩසටහන්, නාට්‍ය worke shop විදිහට පවත්වාගෙන යනවා?

ළමයින්ට තුලනාත්මක වර්ධනයක් සඳහා අප ආයතනය විවිධ ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. උදාහරණයක් ලෙස ළමයින් සඳහා නිර්මානාත්මක ක්‍රියාකරකම් පාඨමාලාව ගත හැකියි. මෙම වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සෞන්දර්යාත්මක අත්දැකීම් මඟින් ළමයින්ට තුලනාත්මක කායික සහ මානසික වර්ධනයක් ලබාදීම සහ ළමයින්ගේ ක්‍රීඩාශීලිත්වය, ප්‍රබෝධමත්භාවය හා මූලික කලා ශිල්ප පිළිබඳ රසඥතාවය වර්ධනය කිරීමය. මෙවැනි ක්‍රියාකාරකම් සඳහා විධිමත් පාසල් අධ්‍යාපන්යේ ඇති ඉඩකඩ අල්පයි.

මීට අමතරව පාසල් නිවාඩු කාලයේ පවත්වන තවත් පාඨමාලා ගණනාවක්ම තිබෙනවා. ලබන වසරේ මුලදී නාට්‍යකරණය හදාරන ළමයින්ට ප්‍රායොගික ක්‍රියාකරකම් පාඨමාලාවක් ආරම්භ කරනවා. එය පවත්වන්නේ පාසල් විෂය නිර්දේශයට සමගාමීව.

නාට්‍ය කලාව මීට වඩා පාසලට රැගෙන යායුතුයි නේද?

නවතම පරීක්ෂණවලින් ඔප්පුවී තිබෙනවා මිනිස් මොළයට වඩාත් ගෝචර අධ්‍යාපන ක්‍රමවේදය නාට්‍ය බව. එසේනම් ප්‍රශස්ත නාට්‍ය මඟින් ළමයගේ අවබෝධය පහසුවෙන් වර්ධනය කළ හැකියි. නාට්‍ය නැරඹීමෙන් ළමයා විවිධ ජීවිත අත්දැකීම් දකිනවා, ඇසෙනවා, හැ‍ඟෙනවා, සිතනවා සහ අවසානයේ දී පරිකල්පනය කරනවා. ඉතින් මෙය නොවේද අප ළමයාට දිය යුත්තේ?

 

සංවාදය
අනුසාර මාහිංගොඩ

නව අදහස දක්වන්න