පසුගිය ආණ්ඩුව මත්තල වී දැම්මට අපි පලාලිවල මිරිස් දාන්නේ නෑ | දිනමිණ


 

පසුගිය ආණ්ඩුව මත්තල වී දැම්මට අපි පලාලිවල මිරිස් දාන්නේ නෑ

නිමල් රාජපක්ෂ

මුඩුබිමක්ව තිබූ රට වැඩබිමක් කිරීම අරමුණයි

ඇමැති ප්‍රසන්න රණතුංග

පසුගිය ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වී ගබඩා කළාක් මෙන් පලාලි ගුවන්තොටුපොළේ මිරිස් ගබඩා කිරීමට වත්මන් ආණ්ඩුව සූදානම් නැති බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සිවිල් ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රාජ්‍ය ආයතන දුර්වල කර විකුණා දැමීම පසුගිය රජයේ ප්‍රතිපත්තිය වුව ද වත්මන් රජය යටතේ එම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අහෝසි කර තිබෙන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රගතිශීලී සේවක සංගමයේ නියෝජිතයන් සමඟ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට ඊයේ (27) එක්වෙමිනි.

පසුගිය පාලන කාලයේ දී කටුනායක ගුවන්තොටුපොළ පරිපාලනය අත්තනෝමතික ලෙස කටයුතු කළ බවත් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සේවක අයිතීන් පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

සාකච්ඡාවේ දී අහදස් දැක්වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

පසුගිය ආණ්ඩුවට තිබුණේ රාජපක්ෂ භීතිකාවක්. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මහින්ද රාජපක‍ෂ මහතාගේ නමින් නම් කර තිබීම නිසා උරණ වූ එක්සත් ජාතික පක්ෂයට එය විනාශ කිරීමට ඕනෑ වුණා. ඒ නිසා තමයි මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කළේ. කඩමුඩියේ පහුගිය ආණ්ඩුව හදපු පලාලි ගුවන්තොටුපොළේ හරිහමන් ශක්‍යතා අධ්‍යයනයක්වත් සිදුවී නැහැ. එහෙත් පලාලි ගුවන්තොටුපොළේ මිරිස් ගබඩා කරන්න අපි ලෑස්ති නැහැ. වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව තමයි මුඩුබිමක්ව තිබූ මේ රට වැඩබිමක් කිරීම. ඒ සඳහා සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරලා සංචාරකයන් මෙරටට ගෙන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ප්‍රසාද් විජේරත්නසේකර මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

නව අදහස දක්වන්න