ඥානසාර හිමිට සමාවදීමට එරෙහි පෙත්සම් දෙකට සංශෝධන ඉදිරිපත් කිරීමට අවසර | දිනමිණ


 

ඥානසාර හිමිට සමාවදීමට එරෙහි පෙත්සම් දෙකට සංශෝධන ඉදිරිපත් කිරීමට අවසර

නෙල්කා මැදගෙදර

අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කර අති පෙත්සම් දෙකක් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට අවසර දුන්නේය.

ඒ අනුව සංශෝධිත පෙත්සම් මාර්තු මස 02 දින ඉදිරිපත් කිරීමට නියම කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මෙම පෙත්සම් ඊයේ (05) කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීමට කටයුතු කළ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නීතිපතිවරයා නම්කර සිටින බවය. එහෙත් දැන් ජනාධිපතිවරයා විශ්‍රාමලබා සිටින බැවින් ඔහුගේ නම වගඋත්තරකරුවකු ලෙස ඇතුළත් කළ හැකි බැවින් ඒ සඳහා අවසර දෙන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 6ක සිර දඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව පිරිනමමින් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කෙළේය.

එම තීරණය අභියෝගයට ලක්කරමින් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කොට තිබිණි.

නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා සහ නීතිඥ විරාන් කොරයා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න