ගල්කොරි! | දිනමිණ


 

ගල්කොරි!

වලපනේ නාය යෑම මුළු රටේ ම අවධානයට ලක් වූ විපතක් බව අමුතුවෙන් කිව යුතු නැත. නිවසක් පස් කන්දකට යට වී පවුලේ සියලු දෙනා මරණයට පත්වීම හද කම්පා කරන සිද්ධියකි. මේ නාය යෑම පසුපස ගල්-කොරියක් පවතින බව හෙළිදරව් වී ඇත. එය දැන් දේශපාලන සංවාදයක් බවට ද පත් වී ඇත. කඳු බෑවුමක ගල් කොරියක් පවත්වාගෙන යෑමත් දිනපතා ගල්බෝර දැමීමත් නිසා කන්දේ පස් තට්ටු බුරුල් වී ඇති බව කාගේත් මතය වී තිබේ. ගල්කොරියට අවසර ලබා දුන්නේ කවුද? එහි හිමිකාරිත්වය කාගේද? මීට අදාළ පරිසර වාර්තාවක් ලබාගෙන තිබේ ද? වැනි ප්‍රශ්න දැන් මතු වී තිබේ. ගල් කොරිය වහාම තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත. එය පැසසිය යුතු කාරණයෙකි.

නායයෑම්, ගංවතුර ඇතුළු ස්වාභාවික විපත්වලට හේතු - සාධක ලෙස මිනිස් ක්‍රියාකාරකම් ද පවතින බව රහසක් නොවේ. මෙලෙස පවතින මිනිස් ක්‍රියාකාරකම් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය. සංවර්ධනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග එක කොටසකට අයත් වේ. අනවසරයෙන් කරනු ලබන පාරිසරික හානි අනෙක් කොටසට අයත් වේ. සංවර්ධනය වැළැක්විය හැකි කාරණයක් නොවේ. එහි දී පාරිසරික ආරක්ෂාව සඳහා උපරිමයෙන් ක්‍රියාකිරීම සිදු විය යුතුය. එහෙත් අනවසරයෙන් සිදුකරන පාරිසරික හානිය වැළැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ පාරිසරික නීතිය ඉතා හොඳින් ලේඛන ගත වී තිබුණ ද එය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත.

ශ්‍රී ලංකාව තුළ ගල්කොරි විශාල ප්‍රමාණයක් ඇත. ඒ සෑම ගල්කොරියක්ම පාරිසරික වාර්තාවලට අනුව අනුමැතිය ලබාගත් ඒවා ලෙස සැලැකිය හැකි නොවේ. බොහෝ ගල්කොරි ගැන මහජන විවේචන තිබේ. ගල්කොරි අවට ඇති නිවාස ඉරිතලා ගොස් ඇති ආකාරය බොහෝ තැන්වලදී දැකගත හැකි ය. පාසල් අසල පවත්වාගෙන යන ගල්කොරි ද දැකගත හැකි ය. එය ඉතා අවදානම් සහගත ය. මාර්ග ඉදිකිරීම සඳහාද, වෙනත් ඉදිකිරීම් සඳහා ද ගල් අවශ්‍ය බව කව්රුත් දනිති. ගල් පිටරටින් ආනයනය කිරීම කළ නොහැක්කකි. ඒ හැරත් ශ්‍රී ලංකාවේ ඇති පාෂාණ තට්ටුවට අනුව අවශ්‍ය ගල් ප්‍රමාණය පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි ය ඒ සඳහා සුදුසුම ස්ථාන තෝරා - බේරා නොගැනීම නිසා ගැටලු මතුවන බව පෙනෙයි.

ගංගාවලින් ඉවක් - බවක් නැතිව වැලි ගොඩදැමීම නිසා ද, පාරිසරික ගැටලු ගණනාවක් මතු වී ඇත. කළු ග‍ඟේ වැලි ගොඩදැමීම නිසා මුහුදු වතුර මිරිදියට මිශ්‍ර වෙයි. කැලණි ග‍ඟෙහිද එම තත්ත්වය දකින්නට ලැබේ. මේ හැරෙන්නට ගංගා ඉවුරු ඛාදනය වීම නිසා වෙනත් පාරිසරික ගැටලු මතු වී ඇත. ගල්, වැලි හා දැව යනු රටේ පවතින ජාවාරම් ය. ජාවාරම්කරුවන් පාරිසරික තත්ත්ව සැලැකිල්ලට ගන්නේ නැත. ඔවුන්ගේ ඉලක්කය හැකිතාක් ආදායම් ලැබීම ය. ලාභය උපරිම කරගැනීම ය. නිලධාරීන්ට අල්ලස් ලබා දී පාරිසරික වාර්තා සකස් කරගන්නා ආකාරය ද දේශපාලකයන්ට කොමිස් ලබා දී එම වාර්තා අනුමත කරගන්නා ආකාරයද ජාවාරම්කරුවෝ දනිති. ස්වාභාවික විපත්වල හානිය අවම කර ගැනීමට නම්; මේ ක්‍රියාවලිය නැවැත්විය යුතුය. එය කළ හැක්කේ රජයට පමණි.

වලපනේ සිද්ධියට අදාළ ගල්කොරිය ගතහොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි බොහෝ කාලයක සිට ඉදිරිපත් වී තිබේ. මීට අදාළ ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් ලෙස සලකුණු කර ඇත. ගල් කොරියට අවසර ලබාදීම එක අතෙකින් ගැටලුවක් වන අතර පරිසර සංවේදී කලාපයක පදිංචි වීම හා එහි වගා කටයුතු සිදු කිරීම තව අතෙකින් ගැටලුවක් වෙයි. මේ කලාපයේ පදිංචිකරුවන් වෙනත් ප්‍රදේශවල පදිංචි කිරීම වඩාත් සුදුසු බවට නිර්දේශ ඉදිරිපත් වී ඇතත්; එය ඉටු වී නැත. පදිංචිකරුවන් තම නිවාස හා වගා භූමි අතහැර යෑමට කැමැති නොවීම ගැටලුවෙහි තවත් පැතිකඩක් ලෙස සැලැකිය හැකිය. සියල්ලෙහි ප්‍රතිඵලය වී ඇත්තේ බරපතළ ඛේදවාචකයෙකි.

වලපනේ මල්පොත්තාව ගල්කොරිය සම්බන්ධයෙන් හෙළිදරව් වන කරුණුවලට අනුව මෙහි වැඩකටයුතු කිහිපවරක් නවතා ඇත. හිමිකරුවන් වෙනත් ව්‍යාපාරිකයන්ට ගල්කොරිය අලෙවි කළ අවස්ථාද තිබේ. අදාළ ප්‍රාදේශීය සභාව ගල්කොරිය සම්බන්ධයෙන් දීර්ඝ සංවාද පවත්වා ඇත. අවසන් ලෙස ගල්කොරියේ කටයුතු කරගෙන යෑම සඳහා ප්‍රාදේශී සභාවේ අනුමැතිය ලැබී ඇති බවද, දේශපාලන ආශිර්වාදය ද ගල්කොරියට ලැබී ඇති බවද කියැවේ. මේ සිදුවීම් ජාලයෙන් පෙනී යන්නේ රටේ පාරිසරික ප්‍රතිපත්ති හා නීති නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැති බව ය.

රටේ පවත්නා ගල්කොරි ගැන ද, වැලි ගොඩදැමීම ගැන ද, පස් කැපීම ගැන ද සමාලෝචනයක් කළ යුතු කාලය පැමිණ ඇතැ’යි කිව හැකි ය. ගල්, වැලි හා පස් ප්‍රවාහනය සම්බන්ධයෙන් වුව සමාලෝචනයක් කොට තීරණ ගත යුතුව තිබේ. ලෝකයේ සංවර්ධිත රටවල් පරිසරය පිළිබඳ දැඩි අවධානය යොමු කරන්නට පටන් ගෙන තිබේ. පාරිසරික විනාශය නිසා චීනය, ඉන්දියාව වැනි රටවල් බරපතළ පාඩම් ඉගෙන ගෙන ඇත. චීනය හා ඉන්දියාව වායු දූෂණයට මුහුණ දී සිටිති. ඉන්දියාවේ නවදිල්ලිය මිනිස් වාසයට නුසුදුසු තැනක් බවට පත්වෙමින් තිබේ. මේවායින් පාඩම් ඉගෙනීමට අපට ද අවස්ථාවක් ලැබී ඇත.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාරිසරික සංවර්ධනයට අදාළ කොටසේ ඇති වගන්තිවලට අනුව ගල්, වැලි, පස් සම්පාදනයට අදාළ විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. එය එකිනෙක ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවක් ද පෙනෙන්නට තිබේ. කුමක් වුව රටේ පාරිසරික තත්ත්වය පිළිබඳ රජයේ දැඩි අවධානය යොමුකොට සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතුය.

නව අදහස දක්වන්න