වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට යහපත් විනයක් අනිවාර්යයි | දිනමිණ


 

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට යහපත් විනයක් අනිවාර්යයි

ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් නව පුහුණුකරු මිකී ආතර් මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ලේකම් මොහාන් ද සිල්වා මහත්වරු සමග

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට යහපත් විනයක් අනිවාර්ය බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් නව පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි. ටෙස්ට් ලෝක ශූරතාව වැනි ඉතා වැදගත් තරගාවලියක් ක්‍රියාත්මක වන හෙයින් ඉක්මනින් එම තරගාවලිය සඳහා සූදානම් විය යුතු බව මිකී ආතර් මහතා පැවැසීය. ඉතා ඉහළ දක්ෂතා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉතා ක්‍රමානුකූලව උසස් තලයට ගෙන ඒම වැදගත් බව නව ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඊයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් හී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

“ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතාම නිහතමානී බව වැටහුණා. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් විදිහට ඔවුන් ආදර්ශමත් විදිහට ක්‍රීඩා කළ යුතුයි. මා රටවල් කිහිපයක පුහුණුකරුවකු ලෙස කටයුතු කර අත්දැකීම් ලබා තිබෙනවා. ඒ නිසා මා සතුව ඇති සැලැස්මට අනුව ක්‍රීඩකයන් එක්ක ඉතාම සතුටින් ජයග්‍රහණයට පියවරෙන් පියවර යා හැකි බව විශ්වාසයි“ නව පුහුණුකරු පැවැසීය.

“මා ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මුණ ගැසුණා. උදෑසන කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කළා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සහ කැපවීමෙන් පුහුණු සැසියට එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතුව හොඳ දක්ෂතා හා කුසලතා තියෙනවා. තවත් මාස අටකින් විස්සයි 20 ලෝක කුසලාන තියෙනවා. ඔවුන්ව ඒ සඳහා සූදානම් කළ යුතුයි. ඔස්ට්‍රේලියාව දැනට සිටින හොඳ කණ්ඩායමක්. ඊළඟ විස්සයි 20 ලෝක කුසලාන ඉන්දියාවේ තියෙන්නෙ. ඔවුන්ගේ රටේදී ඉන්දියානු ක්‍රීඩකයන් දක්ෂයි. ඔස්ට්‍රේලියාවේ තියෙන ලෝක කුසලාන තරගාවලිය අපේ පළමු ඉලක්කයයි” මිකී ආතර් මහතා සඳහන් කළේය. ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදි ශ්‍රී ලංකාව ඉහළට පැමිණීම වැදගත් බව අවධාරණය කළ ආතර් මහතා ටෙස්ට් ලෝක ශූරතාවලියේදී ඒ සඳහා අවධානය යොමු කර ඇති බවත් පැවැසීය.

මිකී ආතර් මහතා අවසන් වරට පුහුණුකරු ලෙස කටයුතු කළ පාකිස්තාන පිලට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී පුහුණුකරු ලෙස මුලින්ම කටයුතු කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් සමග වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා ගිවිසුම් අස්සන් කළ 51 හැවිරිදි මිකී ආතර් මහතා දකුණු අප්‍රිකාවේ පළමු පෙළ තරග 110 කට ක්‍රීඩාකර ඇත. ඔහු මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ හා දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

මිකී ආතර් මහතා 2016 වසරේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ අතර ඔහුගේ මඟ පෙන්වීම යටතේ පාකිස්තානය අංක එකේ ටෙස්ට් හා විස්සයි 20 කණ්ඩායම බවට පත්විය. අයි. සී. සී චැම්පියන්ස් කුසලානය පාකිස්තානය දිනා ගැනීම ඔහුගේ පුහුණුව යටතේ සිදුවිණි. ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන පිලේ පසුබැසීමත් සමග පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආතර් මහතාගේ කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා සමග පිතිකරු පුහුණුකරු ලෙස ග්‍රාන්ට් ෆ්ලවර්, පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සාර්කර් හා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ෂේන් මැක්ඩර්මෝට් වැඩ භාරගෙන ඇත. ප්‍රධාන පුහුණුකරු සමග එක්වන මෙම සහාය පුහුණුකරුවන් ලෝකයේ අංක එකේ කණ්ඩායම් සමග කටයුතු කළ වඩාත් පළපුරුදු අය වෙති.

නව අදහස දක්වන්න