ආනන්ද ඉතිහාසය අලුතෙන් ලියූ පොඩ්ඩා | දිනමිණ


 

ආනන්ද ඉතිහාසය අලුතෙන් ලියූ පොඩ්ඩා

කුඩා කළ පටන්ම ජීවිතේ අනේක විධි කඩඉම් අපට හමුවෙයි. පහේ හපන්නු සොයා යන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යනු ජීවිතේ හමුවන පළමු කඩඉම. කතාවට කියන්නේ නම් ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ නොව අම්මලාගේ විභාගය යනුවෙනුයි. ගමේ පාසලේ දුවා පුතාගේ ජීවිතයේ තීරණත්මක සංධිස්ථානයක් වන ශිෂ්‍යත්ව විභාගය නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමට මෙන්ම රජයෙන් පිරිනමන ශිෂ්‍යාධාරය ලබා ගැනීමට වැදගත් වේ.

ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් මෙවර ගනු ලැබූ විශේෂිත තීන්දුවක් ලෙස ප්‍රථිපල නිකුත් වීමෙන් පසු ජාතික මට්ටමේ වැඩිම ලකුණු ලාභීන් පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් නොකිරීම දක්වන්නට පිළිවණ. එක්තරා අතකට එය යහපත් තීන්දුවක් වන්නේ අනෙක් දරුවන්ගේ දක්ෂතා දැකීමෙන් කුපිත වන සමහර දෙමාපියන්ගේ හැසිරීම් දරුවන්ට දරාගැනීමට නොහැකි වන හෙයිණි. නමුත් අගය කිරීමක් වශයෙන් ඔවුන් පිළිබඳව රටට යමක් කීම ඔවුන්ට මෙන්ම අනෙක් දරුවන්ට ද අභිප්‍රේරණයක් විය හැකිය.

කොළඹ ආනන්දය යනු සියවසකට එහා අතීතයක ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය දිග්විජය කළ ශාස්ත්‍රාලයකි. වසර 123ක ඉතිහාසය තුළ රටේ ප්‍රමුඛතම පුරවැසියන් නිර්මාණයක් කිරීමේ මහගු කාර්ය සියතට ගත් ආනන්දය සිය මතක පොතේ දිනෙන් දින ආනන්දීයන්ගේ සැමරුම් සහ ජයග්‍රහණයන්ගෙන් පුරවාගනී.

එස්.පී.ජී. තරුල් නිම්නක කියන්නේ තවමත් පහ වසරේ ඉගනුම ලබන ආනන්දියෙකි. ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් එදා මෙදා තුර ආනන්දය ලබා තුබූ ඉගලම ලකුණ වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ ලකුණු ප්‍රමාණය සඳහන් වූයේ 193ක් වශයෙනි. නමුත් පෙර කී පරිදි දරුවන්ගේ මානසික තත්ත්වය සලකා ගනු ලැබූ තීන්දුවට අනුව මේ පිළිබඳව කතා කිරීමට කාලයක් ගතවිණි.

විභාගයට කියා ටියුෂන් පංති ගානේ දවස ගෙවෙන දරුවන් අතරේ තරුල්ගේ දවස ගෙවෙන්නේ පාසලේ අධ්‍යයන කටයුතු සහ විෂය බාහිර කටයුතු සමගයි.ඔහුට ශිෂ්‍යත්ව විභාගය සමත් වීමේ අධිෂ්ඨානයක් වූ නමුත් ඒ සඳහා අමුතුවෙන් වෙහෙස වීමක් නම් අවශ්‍ය වූයේ නැහැ. මේ පහේ පොඩ්ඩා මේ වන විටත් පාසලේ විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් රැසකට සිය දායකත්වය ලබා දෙනු ලබයි. විද්‍යාලයීය චෙස් කණ්ඩායම, පිහිණුම් කණ්ඩායම, දැනුම මිනුම කණ්ඩායම සහ බාල දක්ෂ කණ්ඩායමේද ක්‍රියාකාරී සාමාජිකයෙක් වේ.

නිදහසේ දවස ගෙවූ දරුවෙක් වූ තරුල් තමන්ට පාසලෙන් ලැබුන සහයෝගය විභාග කටයුතු සඳහා ප්‍රමාණවත් වූ බව පැවසුවේය. දිනපතා පාසල් ගිය ඔහු විවේක කාලයේ තමන්ට රිසි පරිදි සෙල්ලම් කළ බවත් ඔහුගේ මව පවසයි. ඇය සිය දරුවාගේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ මෙය කඩඉමක් පමණක් බවත් ඊට සතුටින් මුහුණ දීමට අවැසි සහයෝගය මිස අනවශ්‍ය බලපෑම් නොකරන්නේ නම් වඩා සුදුසු බවයි.

ආනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට සිය ස්තූතිය පුදකරන බවත් ඇය තව දුරටත් කියා සිටියා

නව අදහස දක්වන්න