බදු සහන නිසා මැතිවරණ පොරොන්දු යථාර්ථයක් වුණා | දිනමිණ


 

බදු සහන නිසා මැතිවරණ පොරොන්දු යථාර්ථයක් වුණා

සංවර්ධන බැංකු කටයුතු සහ ණය යෝජනාක්‍රම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ජනාධිපතිවරණ ජයග්‍රහණය, බදු සහන ලබාදීම මඟින් බලාපොරොත්තු වූ කරුණු. බදු සහන සම්බන්ධව පවතින විවේචන, ඉදිරි මහමැතිවරණය සහ ආණ්ඩුවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අදහස් දක්වයි.

- බැඳුම්කරයට සම්බන්ධ අය රකින්නේ නැහැ 
- පොලිස් නිලධාරීන් මාරු කළේ පොලිස් කොමිසමේ අනුමැතිය මත 
- යහපාලනයේ නීති ක්‍රියාත්මක කළේ දේශපාලනඥයො 
- පොහොට්ටුව ජයග්‍රාහී සංකේතයක් 
- පහුගිය ආණ්ඩුව එල්.ටී.ටී.ඊ ඉල්ලීමට බුද්ධි නිලධාරීන් දඩයම් කළා 
- මිලේනියම් චැලේන්ජ් අස්සන් කරන්නේ නැහැ

පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම ලබාදුන් බදුසහන ගැන ඔබේ අදහස මොකක්ද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනය මේ රටේ යථාර්ථයක් බවට පත්කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ අනුව තමයි මේ බදු සහන දුන්නේ. ජීවන වියදමට බලපාන බදුසහන රැසක් දුන්නා. ඒ සහන ජනතාවට ලැබෙමින් තිබෙනවා කියල අපි හිතනවා.

බදු අඩුවුණාට භාණ්ඩමිලඅඩුවෙන්නෙ නැහැ කියල වෙළෙඳ සංගම් කියනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

බඩුමිල අඩු වෙන්න ඕන. නොවැම්බර් මාසෙ 30න් පස්සෙ වෙළෙන්දන් ළඟ තියෙන තොගවලටත් මේ වැට් සහනය ලැබෙනවා. ඒ නිසා වෙළෙන්දන් පාරිභෝගිකයට ඒ සහනය දෙන්න ඕන. පාරිභෝගිකයට සහන නොදී කූට වැඩ කරනව නම් ඒ ගැනත් අපි විමසිල්ලෙන් ඉන්නවා. ජනතාවත් ඒ ගැන අවධියෙන් ඉන්න ඕන.

බදු සහන දුන්නත් වෙළෙඳ පොළේ භාණ්ඩ මිල වෙනසක් තවම දකින්න නැහැ නේද?

පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන මේ ගැන සොයා බලනවා. අපේ රටේ භාණ්ඩ මිල ඉහළ යන්න මූලික හේතුව වුණේ පහුගිය ආණ්ඩුවෙ බදු ප්‍රතිපත්තිය. තමන්ගෙ හිතවතුන්ට ඕන විදියට සතියෙන් සතියට මාසෙන් මාසෙට ඒ අයගෙ බදු ප්‍රතිපත්ති වෙනස් වුණා. ඒ ආණ්ඩුව සකස් කළේ එකෙන් එකට නොගැලපෙන සංකීර්ණ බදු ප්‍රතිපත්තියක් සමහර ව්‍යාපාරිකයන්ට 40%ක් විතර බදු ගෙවන්න වුණා. අපි වැට් බද්ද 8%ක් කළා. ජාතිය ගොඩ නැඟීමේ බද්ද සම්පූර්ණයෙන් ඉවත්කළා. ආදායම් බද්ධ අවම සීමාව දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කළා. උපරිම සීමාව 28% දක්වා අඩුකළා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ආදායම් බද්ධ 18% දක්වා අඩු කළා. උපයනවිට බද්ධ සම්පූර්ණයෙන් ඉවත් කළා.

බදු අඩුකිරීමෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදලක් රජයට අහිමි වෙනවා. මේ මුදල හොයාගන්නෙ කොහොමද?

යහපාලන ආණ්ඩුවෙ දුර්වල කළමනාකරණය නිසා රුපියල අවප්‍රමාණය වුණා. ඒකෙන් රටට වෙච්ච පාඩුව රුපියල් බිලියන 1000ට වැඩියි. ඔය රුපියල් බිලියන 500 ගැන දැන් කතා කරන අය ඒ ගැන කතා කරන්නෙ නැහැ. මහා පරිමාණ දූෂණ වංචා රැසක් පහුගිය ආණ්ඩුවෙන් සිද්ධ වුණා. රටේ මහජනතාවට ලැබෙන්න ඕන වාසිය තමන්ගෙ හිතවත්තු අතරෙ බෙදාගත්තා. පටන් ගත්තෙ මහ බැංකු වංචාවෙන්. අවසානෙ අනෙකුත් ආයතනවලටත් ඒක පැතිරුණා. ඒ ආණ්ඩුවෙ අනවශ්‍ය වියදම් නාස්තිකාර වියදම් ඇතිවුණා.

ඔබ බැඳුම්කර සිද්ධිය ගැන කතා කළත්, පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම නිසා බැඳුම්කර ගනුදෙනුවෙ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න තිබුණු අවස්ථාව නැතිවුණා නේද?

පාර්ලිමේන්තුව ජනවාරි 03 වෙනිදා නැවත රැස්වෙනවා. අලුත් ජනාධිපතිවරයට මූලාසන කතාව කරල තමන්ගෙ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුව කල් තබන්න ඕන. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මේ බැඳුම්කර මගඩියට සම්බන්ධවෙච්ච කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න අපට අවශ්‍ය නැහැ.ඒ විතරක් නෙවෙයි. තවත් බරපතළ වංචා දූෂණ ගැන අපි අල්ලස් කොමිසමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි සහිතව චෝදනා බාර දුන්නා. ඒ චෝදනා ගැන කිසිම කටයුත්තක් වුණේ නැහැ. පහුගිය ආණ්ඩුවෙ නීතිය ක්‍රියාත්මක කළේ දේශපාලනඥයො. එවැනි තත්ත්වයකට යන්න අපිට අවශ්‍ය නැහැ. පවතින නීති රාමුව තුළ වැරදිකරපු අයට දඬුවම් ලැබෙයි.

යහපාලන ආණ්ඩුව කිව්වෙත් පවතින නීති රාමුව තුළ දූෂිත වංචාකරපු අයට දඬුවම් කරනව කියලයි. අවුරුදු 4ක් ගතවෙලත් ඒ අයට හොරු අල්ලන්න බැරිවුණා. මේ ආණ්ඩුව යටතෙත් ඒකම වෙයිද?

එහෙම වෙන්නෙ නැහැ. ඒ ආණ්ඩු වංචා දූෂණ සීමා කරගත්තෙ දේශපාලන වේදිකාවට පමණයි. අවුරුදු පහක් පමණ ගතවෙලත් ඒ අයට ‍හොරු කියපු අයට විරුද්ධ චෝදනා ඔප්පුකරගන්න බැරිවුණා. පහුගිය සමහර ඇමතිවරු අරලියගහ මන්දිරයෙ ඉඳල දේශපාලන දඩයම් කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විරුද්ධව නඩු පැවරීම ගැන කනගාටුවෙනව කියල. දිල්රුක්ෂි ඩයස් මහත්මිය කිව්ව නීතිපති දෙපාර්තමේන්තුවෙ සුහදගම්ලත් මැතිතුමා කිව්වෙත් ඔහුට බලපෑම් කරපු බව. ඒ අය නීතිය දේශපාලන දඩයමට හවුල්කර ගත්තා. FCID ආයතනයෙ විමර්ශන කටයුතු මෙහෙයවුවෙ කවුද කියල ඒකෙ ප්‍රධානිය කිව්ව. තාජුඩීන් සිද්ධියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ දරුවන්ට චෝදනා කළා. ඔප්පු කරගන්න බැරිවුණා. ගෝඨාභය මහත්තයගෙ හරි නාමල් රාජපක්ෂ මහත්තයගෙ හරි නම කිව්වොත් ඔහුට උසස්වීමක් දෙන බව කිව්ව කියල සිරගත වෙච්ච පොලිස් ස්ථානාධිපතිවරය කියනවා. එවැනි දේවල් මේ ආණ්ඩුව යටතෙ වෙන්නෙ නැහැ. පහුගිය ආණ්ඩුවෙ හොරකම් ගැන මේ ආණ්ඩුව යටතෙ ‍ෙහායනවද කියල අපි විමසිල්ලෙන් ඉන්නවා.

ආණ්ඩුව දීපු බදුසහන ඊළඟ මැතිවරණයෙන් පස්සෙත් ලැබෙයිද?

මේ සහන ලබා නොදුන්නොත් ඊළඟ මැතිවරණය තෙක්වත් ජනතාවගෙ ආර්ථිකය ගොඩයන්නෙ නැහැ. මහබැංකුව, පෞද්ගලික හා රාජ්‍ය බැංකු එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමා කතාකළා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයො, ගොවියා, ධීවරයා වගේම මහාපරිමාණ ව්‍යාපාරිකයත් බරපතළ අර්බුදයකට ගිහින්. මුළු රටම ණයකාරයො වෙලා. ව්‍යාපාරිකයන්ගෙ දේපල වෙන්දේසිවෙනවා. ඒ අයගෙ ආර්ථිකය ඉස්සරහට යන්නෙ නැහැ. අපි මේ ව්‍යාපාරිකයන්, ගොවියන් ධීවරයන් ආරක්ෂාකරන්න ඕන.

විදේශීය ආයෝජකයන් ගෙන්න ගන්න පහුගිය ආණ්ඩුව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒත් ඔවුන් බලාපොරොත්තු වුණ තරමට ආයෝජකයො ආවෙ නැහැ. ආයෝජකයන් ගෙන්න ගන්න ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ මොකක්ද? 

ආයෝජකයන් ගෙන්න ගන්න පහුගිය ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක්තිබුණෙ නැහැ. හම්බන්තොට වරාය බදුදීමෙන් ලබාගත්ත මුදල් ප්‍රමාණය තමයි ඒ අය ආයෝජන හැටියට පෙන්නුවෙ. පහුගිය ආණ්ඩුව වන්ස්ටොප් ෂොප් සංකල්පය ඉවත් කළා. අපි ඒක ගෙනාවෙ ආයෝජකයන් සූරාකන එක නවත්වන්න. ආයෝජකයො නැති වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි පහුගිය ආණ්ඩුව යටතෙ කොටස් වෙළෙඳපොළ එකදිගට කඩාගෙන වැටීම. දේශීය සහ විදේශීය ආ‍යෝජකයන් සියල්ලන්ටම ආයෙත් රටේ ආයෝජන කරන්න කියල අපි ආරාධනා කරනවා. ඒකට අවශ්‍ය සියලු පහසුකම් අපි දෙනවා.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන්කරන්න අමෙරිකාව සූදානම් බව සහකාර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ජ් කියනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මොකක්ද?

පහුගිය ආණ්ඩුව කාලෙ අස්සන් කරපු ගිවිසුම් ගැන කරපු විවේචන අදටත් එහෙමමයි. ඒ විවේචන කරපු ගිවිසුම් අපේ ආණ්ඩුවක් යටතෙ සාධාරණිකරණය කරන්න අපි සූදානම් නැහැ. අපේ ආණ්ඩුවක් යටතෙ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අස්සන් කරන්නෙ නැහැ. සමහර ගිවිසුම් සමාලෝචනය කරන්න සූදානම්.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට සංශෝධන ආවොත් අස්සන්කරන්න සුදානම් ද?

ඒ ගැන තවම අපි කතාකරල නැහැ. අපේ රටේ පහෙන් එකක ඉඩම් මේ ගිවිසුම යටතෙ වෙනත් රටකට පවරනවා. ඒ වෙනුවෙන් අපිට ඩොලර් මිලියන 480ක් ලැබෙනවා. ඊට පස්සෙ අපේ රටේ ආරක්ෂාවට එල්ල‍වෙන තර්ජන, රටේ ප්‍රධාන තීරුව අපිට අහිමිවීම ගැන සලකා බලද්දි මේ ගිවිසුමට අපේ කිසිම එකඟතාවක් නැහැ. සිංගප්පූරු ගිවිසුම අපිට කොච්චර හානිදායකද, හම්බන්තොට වරාය විකිණීම, පෝට්සිටිය මේ වා සම්බන්ධ ගිවිසුම් ගැන ආයෙත් සමාලෝචනය කරන්න පුළුවන්ද කියල අපි බලනවා. අපේ රටට කුණු කන්ටේනර්පිටින් ආවෙ මේ ගිවිසුම් හින්දයි.

බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන පහුගිය කාලය පුරා එදා විපක්ෂයෙ හිටපු ඔබ ඇතුළු පිරිස ලොකු විවේචනයක් කළා. වර්තමාන ආණ්ඩුව සී.අයි.ඩී. නිලධාරීන් ගැන ක්‍රියාකරන ආකාරය ගැන ඔබ මොකද කියන්නෙ?

බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කළේ එල්.ටී.ටී.ඊ හා අන්තවාදී කණ්ඩායම්වල ඉල්ලීම් මත . ඒකට අපි විරුද්ධයි. අදත් ඒ වි‍රෝධතාව එහෙම්මමයි. අසාධාරණ ලෙස සිරගත කරපු බුද්ධිඅංශ නිලධාරීන් ඉන්නව නම් ඒ අයට සාධාරණයක් ඉටුකරනව කියල කියපු කතාවත් විකෘති කළා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ කිසිම නිලධාරියෙක්ව දඩයම් කරල නැහැ. මේ රටේ නීතිපද්ධතියට, පොලිසියට තමන් විසින්ම කරපු අපරාධ නිසා පාපොච්චාරණයක් හැටියට එක නිලධාරියෙක් රටින් පැනල ගියා. ශානි අබේසේකර පොලිස් අධිකාරිවරයා ගැනත් විවේචන තියෙනවා. ඔවුන් මේ ආයතන දේශපාලනීකරණය කළා. පොලිසියෙ ස්ථානමාරු සියල්ල පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව කරපුවා.

ඉදිරි මැතිවරණය පො‍හොට්ටුව ලකුණෙන් තරඟ කළ යුතු බවට කෙරෙන යෝජනා ගැන ඔබේ අදහස මොකක්ද?

අභියෝගාත්මක මැතිවරණ‍ දෙකක් පොහොට්ටුව ලකුණෙන් අපි ජයගත්තා. පළාත් පාලන මැතිවරණයෙදි අපි 80%ක බලයක් ගත්තා. ජනාධිපතිවරණයත් අපි ජයගත්තා. අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, මංකොල්ලකාරයන්, පාතාලය, ජාවාරම්කාරයො මේ සියලු දෙනා පරාජය කෙළේ පොහොට්ටුව ලකුණෙන්. හෙට දිනේ අනාගතය බලාපොරොත්තුවෙන කණ්ඩායම පොහොට්ටුව දිනෙව්වා. පොහොට්ටුව ලකුණ ජයග්‍රාහී සංකේතයක්. ඉදිරි මැතිවරණ සන්ධානයකින් පොහොට්ටුව ලකුණෙන් අපි දිනනවා. ජයග්‍රාහී ලකුණක් ඉවත්කරල මැතිවරණයකට යන්න බැහැ.

ඡායා-සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න