සියල්ල රටින් ගෙන්වීම....? | දිනමිණ


 

සියල්ල රටින් ගෙන්වීම....?

බඩ ඉරිඟු, කහ, කුරක්කන්, සියඹලා,ගොරකා වැනි ද්‍රව්‍ය පමණක් නොව; කොමඩු වැනි පලතුරු ද රටින් ගෙන්වා ඇතැ’යි වාර්තා වෙයි. මේ සඳහා ඇ.ඩො. 234 ක මුදලක් වැය කර ඇතැ’යි ද සඳහන් වී ඇත. මෙය සැලැකිය හැක්කේ ජාතික අපරාධයක් හැටියට ය. එක අතෙකින් විදේශ විනිමය පිළිබඳ ගැටලුව උග්‍ර වී ඇත. තව අතෙකින් දේශීය නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව කුණුවීමට පටන්ගෙන ඇත. දේශීය කොමඩු අලෙවි කරගත නොහැකිව ඒවා තොගපිටින් වන අලින්ගේ කෑමට වීසි කරනු පසුගිය දිනවල දැකගත හැකිවිය. පසුගිය රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කෙතරම් දුර්වල එකක් ද යන්න ඉහත සිද්ධිවලින් සනාථ වෙයි.

ඕනෑම රාජ්‍යයක් තමන්ගේ අපනයන හා ආනයන රටේ ආර්ථිකයේ වාසියට හරවා ගත යුතුය. ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් කළ යුත්තේ අපනයන ව්‍යාප්තකොට ආනයන හැකිතාක් අඩුකර ගැනීම ය. එහෙත් ගිය ආණ්ඩුව යටතේ සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. බලා සිටියදීම අපනයන ක්ෂේත්‍රය කඩා වැටිණි. ආනයන තව - තවත් පුළුල් විය. රටට අනවශ්‍ය විසිතුරු භාණ්ඩවලින් වෙළඳපොළ පිරී ගියේ ය. ඒ හැරෙන්නට දේශීය නිෂ්පාදනවලට ආදේශක පිටරටින් ගෙන්වන ලදී. දේශීය ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත් විය. මේ හැරෙන්නට ප්‍රතිඅපනයන වැඩසටහන නිසා තේ - ගම්මිරිස් වැනි වගාකරුවන්ද අසීරු තත්ත්වයකට ඇද වැටිණි.

ගිය වසරේ ආනයන වාර්තාවලට අනුව බඩ ඉරිඟු මෙ.ටො. 120 ක් ද, මෑ මෙ.ටො. 47 ක් ද, කුරක්කන් මෙ.ටො. 03ක් ද, කහ මෙ.ටො. 5 ක් ද, සියඹලා මෙ.ටො. දශම 5ක් ද කොමඩු මෙ.ටො. දශම 3 ක් ද, පොල් මෙ.ටො. 84 ක් ද , පොල්තෙල් මෙ.ටො. 9 ක් ද ආසන්න වශයෙන් පිටරටවලින් ගෙන්වා ඇත. සියඹලා පිටරටින් ගෙන්වන්නේ වියළි කලාපයේ රූස්ස ගස්යට සියඹලා කුණු වෙන්නට හරිද්දිය. කොමඩු පිටරටවලින් ගෙන්වන්නේ දේශීය කොමඩු අලෙවි කරගත නොහැකිව ඉවත දමද්දී ය. කෘෂිකර්මය සම්බන්ධයෙන් හරි වැඩපිළිවෙළක් නොතිබූ බවද, වෙළෙඳ පොළ කළමනාකරණය පිළිබඳ හරි වැඩපිළිවෙළක් නොතිබූ බවද ඉහත සිදුවීම් අපට පැහැදිලි කරයි.

විවෘත ආර්ථිකය නරක දෙයක් නොවේ. එමගින් සිදුවන එක වෙනසක් වන්නේ අපේ වෙළෙඳ පොළ ලෝකයට විවෘත කිරීමය. විවෘත ආර්ථිකය අද ලෝක ආර්ථිකයේ පොදු තත්ත්වය සේ සැලැකිය හැකි ය. එහෙත් එකිනෙක රටවල් එය දේශීය වෙළෙඳ පොළ තත්ත්වවලට අනුව හසුරුවාගැනීම සිදු කරයි. විවෘත ආර්ථිකය යැයි කියූව ද ආර්ථිකයේ ඇතැම් අංශ පාලනය කළ යුතුව තිබේ. ඇතැම් අංශ වඩාත් දිරිමත් කළ යුතුව තිබේ. විවෘත ආර්ථිකයට ඉබේ හැසිරෙන්නට ඉඩ හැරීම සුදුසු දෙයක් නොවේ. විවෘත ආර්ථිකයේ ප්‍රධාන අංගයක් වන පෞද්ගලික අංශය පවා යම් පාලනයකට නතු කර ගත යුතුය. යුරෝපයේ දියුණු රටවල් මේ සඳහා භාවිත කරන්නේ ආර්ථික නියාමන ක්‍රමය යි. ආර්ථිකයේ සෑම අංශයක් ම නියාමනය කිරීම සඳහා රජය ඉදිරිපත් වෙයි. එබඳු ක්‍රමවේදයකින් ‍තොරව විවෘත ආර්ථිකයේ සාර්ථක ප්‍රතිඵල නෙළාගත නොහැකි ය.

ජේ.ආර්.ජයවර්ධන මහතා 1977 දී විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන් අතර ඔහුගේ එක් අභිප්‍රායක් වූයේ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර තරගකාරිත්වයක් ඇතිකොට එහි වාසිය සාමාන්‍ය ජනතාවට ලබාදීමය. ජයවර්ධන මහතාගේ අරමුණ හොඳ එකක් වුව එය ඉටුවූයේ නැත. හොඳම නිදසුන බස් සේවය යි. මුලදී පෞද්ගලික බස් සේවය දුර්වල මට්ටමක පැවැති අතර පසුව මුළු ප්‍රවාහන සේවයම පෞද්ගලික අංශය විසින් ආක්‍රමණය කරන ලදී. ලංගමය පාඩු ලබන තැනකට පත් වූ අතර සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා අතපසු වන තත්ත්වයක් උදා විය. මේ වනවිට ලංගමය පවතින්නේ පෞද්ගලික බස් සේවයට බොහෝ පසුපසින් ය. එහි ඇති තරගයක් නැත. විවෘත ආර්ථිකයෙන් පසු දේශීය කර්මාන්ත ගණනාවක් ද මේ අයුරින් බිඳ වැටිණි.

ශ්‍රී ලංකාවට පසුව විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ආසියාවේ රටවල් ශීඝ්‍රයෙන් දියුණුවට පත් විය. එම රටවල නායකයන් විවෘත ආර්ථිකය හොඳින් හසුරුවාගෙන තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ එය සිදුවූයේ නැත. ඉතා හොඳින් පැවැති දේශීය කර්මාන්ත බිඳ වැටුණේ ද, දේශීය කෘෂිකර්මය දුර්වල වූයේ ද ආර්ථික කළමනාකරණයේ වැරැදි නිසා ය. 1977 න් පසු බලයට පත් වූ සෑම රජයක්ම විවෘත ආර්ථික ක්‍රමය අනුගමනය කළ අතර ඒවාට විවිධ නම් භාවිත කර තිබේ. එහෙත් සිදුවූයේ එකම දේවල් ටිකක් බව පෙනී යයි. විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රය දිගින් - දිගටම පිරිහී ඇත. ආනයන ක්ෂේත්‍රය වර්ධනය වී ඇත. ආනයන ක්ෂේත්‍රය වර්ධනය වීම ආර්ථික පාඩුවකි.

වෙළෙඳ පොළ හැසිරීමේ දී පාර්ශ්ව කිහිපයක් ගැන සලකා බැලිය යුතුය. නිෂ්පාදකයා එක පාර්ශ්වයකි. පාරිභෝගිකයා තව පාර්ශ්වයකි. ගොවියා හා කම්කරුවා තවත් පාර්ශ්වයකි. මේ හැරෙන්නට ව්‍යවසායකයා හා කර්මාන්තකරුවාද වෙළෙඳ පොළ තුළ දී වැදගත් වෙයි. පාලකයන් තීන්දු ගත යුත්තේ මේ සෑම පාර්ශ්වයකටම අයුක්තියක් සිදු නොවන අයුරින් ය. පසුගිය කාලය පුරාවට රජයේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ පාරිභෝගිකයා කෙරෙහි යැයි කියන්නට පුළුවන. බඩුමිල හා සේවා මිල අඩුකරගැනීමේ ඉලක්කය ඇතිව භාණ්ඩ ආනයනය කර ඇති බව පෙනෙයි. එහෙත් එහි වාසිය පවා පාරිභෝගිකයාට ලැබුණු බවක් පෙනෙන්නට නැත.

දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය නොකිරීමට ප්‍රතිපත්ති තීරණයක් ගත යුතුව තිබේ. ආණ්ඩුව ඊට සූදානම් වන බවක් පෙනෙන්නට ඇත. එය හොඳ තත්ත්වයකි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එකිනෙක වගන්ති යථාර්ථයක් බවට පත්වන විට රට තුළ ලොකු වෙනසක් ඇතිවන බවට විවාදයක් නැත.

නව අදහස දක්වන්න