ශ්‍රී ලංකා මීටර් 100 සහාය ක්‍රීඩකයෝ වසර 15ක් පැරණි තරග වාර්තාවක් බිඳ දමති | දිනමිණ

ශ්‍රී ලංකා මීටර් 100 සහාය ක්‍රීඩකයෝ වසර 15ක් පැරණි තරග වාර්තාවක් බිඳ දමති

නිරෝෂාන් ප්‍රියංකර

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් පැවැති සිවුවැනි දිනය වූ ඊයේ වසර 15ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ සමගින් ඊයේ දිනයේදී මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ වනවිට ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 9ක්, රිදී 10ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගෙන තිබේ.

මීටර් 100 සහාය දිවීමේ පිරිමි කණ්ඩායම ඊයේ තත්පර 39.14කින් තරගය නිමකළ අතර එහි පැරණි වාර්තාව 2004 වසරේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඉන්දියානු කණ්ඩායම විසින් පිහිටුවා තිබුණේ තත්පර 39.91කිනි. හිමාෂ ඒෂාන්ගේ නායකත්වයෙන් විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශන සහ චානුක සංදීප මේ කණ්ඩායමට එක්වූහ.

‘ගොඩක් සතුටුයි දකුණු ආසියානු තරග වාර්තාවක් තබමින් රන් පදක්කම දිනා ගැනීමට හැකිවීම ගැන. විශේෂයෙන් යුපුන් මතක් කරන්න ඕන. ඔහු ඉතාලියේ ට්‍රෙනින් කරන්නේ. අවසන් මාස හතරේදි අපි හතර දෙනා එකක එක්වෙලා පුහුණුවීම් කලා. අපි ට්‍රෙනින් කරපු සර්ලටත්, අපිට උදව් කරපු සෑම දෙනාටත් විශේෂයෙන් තිරය පිටුපස සිට අපට උදව් කරපු සර්ලටත් අපි ස්තූතිවන්ත වෙනවා. අපි හතරදෙනාම යුද හමුදාව නියෝජනය කරන්නේ ඒ ගැනත් සතුටුයි’හිමාෂ පැවැසීය.

මීටර් 100 සහාය ඉසව්වේ කාන්තා රන් පදක්කමත් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ලක්ෂිකා සුගන්ධි, සාරංගි ද සිල්වා, සදීපා හෙන්ඩර්සන් සහ අමාෂා ද සිල්වා එක්වූ එම කණ්ඩායම තත්පර 44.89කින් තරගය නිම කිරීමට සමත්වූහ. ලක්ෂිකා සහ සාරංගි මේ ක්‍රීඩා උළෙලේදී දිනාගත් දෙවැනි රන් පදක්කම මෙය විය. මින් පෙර ලක්ෂිකා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙන් සහ සාරංගි දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගත්හ.

‘අපි ලොකු විශ්වාසයකින් තමයි ආවේ ගෝල්ඩ් එක ගන්නවා කියලා. ජෙනරල් පාලිත ප්‍රනාන්දු සර්ටත්, මහින්ද මුදලිගේ සර්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන. අපි උත්සහ කරනවා 2020 ඔලිම්පික් යන්න රිලේ ටීම් එකෙන්, ඒකට ලොකු සහයෝගයක් දුන්නොත් වෙන රටකට ගිහින් ඒ කට්ටයත් එක්ක පුහුණුවීම් කරන්න අපිට අවස්ථාවක් දුන්නොන් ඔලිම්පික් යන්න් පුළුවන් වෙයි කියලා හිතනවා.’ පැවැසු ලක්ෂිකා සුගන්ධි මේ තරගයේදී අනෙක් කිසිදු කණ්ඩායමක් අභියෝගයක් නොවූ බවත් පැවැසීය.

ඊයේ සිය දෙවැනි රන් පදක්කම හිමිකර ගැනීමට නිලානි රත්නායක සමත් වූයේ මීටර් 5000 ඉසව්ව ජය ගනිමිනි. මේ ඉසව්ව විනාඩි 16:55.18කින් නිමාකල නිලානි මින් පෙර මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. තමන්ගේ කාලය අමතක කර රන් වෙනුවෙන් පදක්කමකට තරග වැදුණු බවත්, කාලගුණ සම්බන්ධයෙන් යම් චකිතයකින් තරගයට එක්වූවත් අනෙක් ක්‍රීඩිකාවන්ගෙන් ලැබුණු අභියෝගය හමුවේ මේ ජය අත්කර ගැනීමට හැකිවූ බව නිලානි තරගයෙන් අනතුරුව පැවැසුවාය.

මේ අතර මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට කෞෂල්‍යා මධුෂානී සමත් වූයේ විනාඩි 1:00.40ක කාලයක් වාර්තා කරමිනි. ඇය පසුගියවර පැවැති 12 වැනි ක්‍රීඩා උළෙලේදී මේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ක්‍රීඩිකාවයි. එමෙන්ම 12 වැනි ක්‍රීඩා උළෙලේදී කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් තාරිකා ප්‍රනාන්දු ඊයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූයේ මීටර් 14.35ක දුරක් සටහන් කරමිනි. එම ඉසව්වේ පිරිමි තරගයට එක්වූ සමිත් මධුසංකට (මී.15.55) හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

බර ඉසිලීම

පොකාරා හිදී පැවැත්වෙන බර ඉසිලීමේ ඉසව්වේදී ඊයේ රිදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදි පිරිමි කිලෝග්‍රෑම් 67 බර පන්තියෙන්ච තුරංග ලක්මාල්ද, කිලෝග්‍රෑම් 63 බර පන්තියෙන් අශිකා බාස්කර්ද මේ පදක්කම් දිනා ගත්හ.

ගොල්ෆ්

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විතව සහභාගිවූ ගොල්ෆ් කණ්ඩායම 13ක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය. ඊට රන් 2ක්, රිදී 5ක් සහ ලෝකඩ පදක්කම් 6ක් එක්විය.

මේ කණ්ඩායමට සිසිර කුමාර, චානක පෙරේරා, බී.ඒ.සංජීව, එන්. රංග, ටී.සෙල්වරත්නම්, ජී. යටවර සහ ටානියා බාලසුරිය ඇතුළත් වූහ.

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සහභාගිවූ මූලික වටයේ 6 වැනි තරගයේදී සත්කාරක නේපාලය ලකුණු 41කින් පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් ලබාදුන් ලකුණු 119ක ඉලක්කය හඹාගිය සත්කාරක නේපාලයට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 77ක් පමණි.

ලිහිණි අප්සරා හතරේ පහර 5ක් සමගින් පන්දු 27කින් ලකුණු 37ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. ජනාදි අනාලි ලකුණු 35ක් ඉනිමට එක් කළාය. නේපාල පිළිතුරු ඉනිමේදී නායිකා රුබීනා චෙට්ටි ලකුණු 19ක් ඉනිමේ වැඩිම ලකුණු ලෙස රැස්කළ අතර ශචිනි නිසංසලා ලකුණු 16කට කඩුලු 3ක් සහ සත්‍යා සන්දිපනී ලකුණු 5කට කඩුලු 2ක් දවා ගත්හ. මේ ජයග්‍රහණයත් සමගින් හෙට (8) ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය සමගින් රන් පදක්කම සඳහා තරග වැදීමට නියමිතය. බංග්ලාදේශය රන් පදක්කම සඳහා වන අවසන් තරගයට එක්වූයේ අපරාජිතවමය.

ජූඩෝ-3x3​

බාස්කට්බෝල්

ක්‍රීඩා උළෙලේ අවසන් ඉසව් ලෙස ජූඩෝ සහ 3x3 බාස්කට්බෝල් ඉසව් අද ආරම්භ වීමට නියමිතය.

නව අදහස දක්වන්න