මත්තල භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටක් කිරීමට අවධානය | දිනමිණ


 

මත්තල භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටක් කිරීමට අවධානය

මහින්ද අලුත්ගෙදර

ජාත්‍යන්තර මට්ටමින් ගනුදෙනු කරනවා පමණක් නොව රටේ සියලු ගුවන් තොටුපොළ සංවර්ධනය කරමින් ව්‍යාපාරික සහ සංචාරක ව්‍යාපාරයේ හෙට දවස උදෙසා අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් වැඩි දියුණු කිරීම නව රජයේ දැක්ම වී තිබෙන බව සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

මගී ප්‍රවාහනයට පමණක් නොව හම්බන්තොට පිහිටීම අනුව මත්තල ගුවන් තොටුපොළ භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපොළක් වශයෙන් දියුණු කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කරන ඒ මහතා මේ වෙනුවෙන් රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බවද එය රටේ ආර්ථිකයට විශාල ශක්තියක් එකතු කරන්නක් බවද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (06) පෙරවරුවේ පැවැති සංචාරක අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන ත්‍රෙමාසික සත්කාර සේවා පුහුණු පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන් සඳහා සහතික පත්‍ර බෙදාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වනවිට මත්තල ගුවන් තොටුපොළින් රටට හිමිවනුයේ පියාසර කරන ගුවන් යානා සඳහා ලබාදෙන සේවාවලින් ලබන ආදායම බවත් යාපනය, මඩකලපුව ගුවන් තොටුපොළ සංවර්ධනය කර අභ්‍යන්තර ගුවන් යානා ගමනා ගමන කටයුතු වර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

සංචාරක ව්‍යාපාරයට සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට උචිත අයුරින් ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව කී ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි සංචාරක කර්මාන්තය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබෙන බව ද සඳහන් කළේය.

නව අදහස දක්වන්න