ට්‍රම්ප් දෝෂාභියෝග කඩුල්ල පනීද? | දිනමිණ


 

ට්‍රම්ප් දෝෂාභියෝග කඩුල්ල පනීද?

ධම්මික සෙනෙවිරත්න

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වී ඇති දේශපාලන පසුබිමද මෙහිදී බැහැර කළ නොහැකිය. මීළඟ ජනාධිපතිවරණය සඳහා පිටිය සැකසෙමින් තිබියදී එය ඉදිරිපත් වීම විශේෂම කාරණයයි. එමෙන්ම තමා දෙවන වරටත් තරග කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදී හා ඊට සැරසෙමින් සිටියදී එය ඉදිරිපත්ව ඇත.

ජනපති ධුරයේ දෙවන වටයට සූදානම් වෙමින් සිටින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෝෂාභියෝග කඩුල්ලක් පැනීමට සිදුවී තිබේ. කතානායිකා නැන්සි පෙලෝසි බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශය මඟින්, ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය මඟින් පෙරට ගෙනැවිත් ඇති දෝෂාභියෝගය ඉදිරියට යන බව පෙනෙන්නට ඇත. එදිනම ජනාධිපති ට්‍රම්ප් විසින් තැබූ ට්විටර් පණිවිඩයක් මඟින් දෝෂාභියෝගකරුවන්ට අභියෝගයක් එල්ල කෙරිණි. ඒ; හැකිතාක් ඉක්මණින් දෝෂාභියෝගය විවාදයට ගන්නා ලෙසය. අමෙරිකාව අස්ථාවර වීමට ඉඩනොහැර මේ ප්‍රශ්නය ඉක්මණින් නිරාකරණය කරගත යුතු බවත් එම පණිවිඩයෙන් කියැවේ.

ඉකුත් බදාදා එම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට කර තිබූ ඉල්ලීම ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ නීතිඥයන් ප්‍රතික්ෂේප කර තිබිණි. අසාධාරණ පරීක්ෂණයකට සහය විය නොහැකි බව ඔවුන් දන්වා ඇත. කෙසේවුවද අනාගතයේදී එම කමිටුව හමුවේ පෙනීසිටීමේ අවස්ථාව ඔවුහු බැහැර නොකරති.

ට්‍රම්ප්ට එරෙහි චෝදනාව

2020 ජනාධිපතිවරණයට තරග කිරීමේදී ජනාධිපති ට්‍රම්ප්, යුක්රේනයේ උපකාර ලබාගෙන තිබේය යන්න ඔහුට එරෙහි දෝෂාභියෝගයට මුල්වූ චෝදනාවය. මේ පිළිබඳ ප්‍රසිද්ධ විභාගය ඉකුත් 13 වැනිදා කොන්ග්‍රසයේ පහළ මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ආරම්භ විය. එහි වැඩි බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටය. රිපබ්ලිකන් පාක්ෂිකයකු වන ට්‍රම්ප්; එවැනි වැරැදිසහගත යමක් සිදුවී නැතැයි කියා සිටී. ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිවාදියකු වන ජෝ බීඩ්න් සහ ඔහුගේ පුත් හන්ටර්ට වැරැදි තොරතුරු ලබාදීම ගැන ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති ව්ලද්මීර් සෙලන්ස්කි ගැන කතා කළේ ද විවේචනාත්මකවය. ජෝජ් බීඩන් උප ජනාධිපතිව සිටියදී, ඔහුගේ පුත් හන්ටර්, යුක්රේන සමාගමක රැකියාව කළේය. ප්‍රශ්නගත කාරණය යුක්රේනයට ඇ. ඩො. මිලියන 400ක යුද ආධාර ලබාදී තිබේය යන කාරණය සම්බන්ධයෙන් ය.

දෝෂාභියෝග ක්‍රියාදාමය ආරම්භ වූයේ; නිර්නාමික බුද්ධි නිලධාරියකු විසින් ජනාධිපති ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයා සමඟ ඉකුත් ජූලි 25 වැනිදා දුරකතන ඇමතුම සංවාදයක යෙදී ඇති බවට කරන ලද පැමිණිල්ලකි. එහිදී ජනාධිපති ට්‍රම්ප්; ජෝ සහ ඔහුගේ පුතුට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශනයක් අරඹන ලෙස යුක්රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි පැවසේ. එම දුරකතන ලබාදී ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් විසින් යුක්රේනයට ලබාදීමට සූදානම් කර තිබූ මිලියන ගණනක මුදල රඳවා තබා ටික වේලාවකට පසුව බව ද ඔවුහු කියාසිටියහ.

කෙසේ වුවද මේ චෝදනා ට්‍රම්ප් සහ රැඩොල්ෆ් ගිලියානි ඇතුළු ඔහුගේ නීතිඥයෝ තරයේ ප්‍රතික්ෂේප කරති. අමෙරිකානු යුද ආධාර මෙවැන්නකට යොදාගත්තේය යන චෝදනාව ජනාධිපති ට්‍රම්ප් බැහැරකර ඇත. මෙම දෝෂාභියෝගය ඩිමොක්‍රටික් පක්ෂයේ එහි හවුල්කරුවන්ගේ දඩයමක් බඳුය යන්න ඔහුගේ අදහසය.

මෙහිදී රිපබ්ලිකන් පක්ෂයට ලැබෙන රැකවරණය වන්නේ යුක්රේන ජනාධිපති විසින් ඔහුට පීඩනයක් එල්ල නොවූ බව පැවැසීවමය. ඇමෙරිකා යුද ආධාර ආපසු ලැබේදැයි යුක්රේනය නොදැනුවත්ව සිටීම හා අමෙරිකා යුද ආධාර ඒ වනවිටත් නිදහස් කර තිබීමය.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් රැගෙන ඒම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතුළත්ය. ඉන් ගම්‍යවන පරිදි එවැන්නක් අපරාධ විමර්ශන ක්‍රියාවලියකට වඩා දේශපාලන ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය අදියර 2ක් යටතේ සිදුවේ. එය ඇරැඹෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙනි. විභාගය ඇරැ‍ඹීමට අවශ්‍ය කරන්නේ සරල බහුතරයක ඡන්දය පමණි. අනතුරුව එය විමර්ශනය සඳහා සෙනෙටයට යොමුකෙරේ. සෙනෙටයේදී එය කමිටු 6ක අවධානයට ලක්වේ. වරදක් කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේනම්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එම වගන්ති පිළිබඳ අවධානය යොමු කරමින් ඡන්දය ප්‍රකාශ කරති. දෝෂාභියෝගය පෙරට ගෙනයාමට සරළ බහුතරය (51%) ප්‍රමාණවත්ය. එය ලැබුණේ නම් විමර්ශන විභාගය ඇරැඹේ. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි විභාගය දැනට ඇත්තේ මෙම අදියරේය. විභාගය අවසන්වූ පසු සෙනෙටයේ ඡන්ද විමසීම සිදුවේ. එහිදී ඊට 2/3 ක (67%) ඡන්දයක් ලැබීම අවශ්‍යය. එය ලැබුණහොත් ජනාධිපතිවරයා ඉවත් කෙරෙන අතර ධුරයේ කාර්යයන් පෙරට ගෙනයාම උප ජනාධිපතිවරයාට පැවරේ.

දෝෂාභියෝග ඉතිහාසය

යම් හෙයකින් සරල බහුතර ඡන්දයක් ඊට නොලැබිණිනම් ජනාධිපතිවරයාට සිය ධුරය තවදුරටත් දැරීමට හැකිය. මින් පැහැදිලිව පෙනෙන පරිදි දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා ඉවත්කිරීමට 2/3ක ඡන්දයක් ලැබිය යුතුමය. එකී අවශ්‍යතාව අමෙරිකා ඉතිහාසයේ මෙතෙක් සපුරා නැත. වර්තමානයේ සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයටය.

අමෙරිකා ඉතිහාසයේ මීට පෙර බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් එල්ලවූයේ මොනිකා ලෙවන්ස්කි සිදුවීම සම්බන්ධයෙනි. 1999 දී එම යෝජනාව සෙනෙටයට ළඟාවූ පසුව 2/3 ලබාගැනීමට අපොහොසත් වීමෙන් ප්‍රතික්ෂේප විය.

අමෙරිකා ඉතිහාසයේ ජනාධිපතිවරයකු ‍දෝෂාභියෝගයකට ලක්වූ එකම අවස්ථාව 1868 දී ඇන්ඩ්‍රෲ ජොන්සන්ට එරෙහිව රැගෙන ආ දෝෂාභියෝගයයි. කොන්ග්‍රසයේ අභිමතයට පටහැනිව යමින් යුද ලේකම් ඉවත්කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එය රැගෙන එන ලදී. මෙහිදී ජනාධිපති ජොන්සන් සිය ධුරය රැකගත්තේ අනූනවයෙනි. යෝජනාව පරාජයට පත්වූයේ 2/3 ලබාගැනීමට අවශ්‍ය එක් ඡන්දයක් නොලැබීමෙනි.

අමෙරිකාවේ 37 වෙනි ජනාධිපති රිචඩ් නික්සන්, වෝටර්ගේට් අපවාදය හේතුවෙන් දෝෂාභියෝගයට ලක්වීමට නියමිතව තිබියදී ධුරයෙන් ඉල්ලා අස්විය.

යම් හෙයකින් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ජයග්‍රහණය කළහොත් ඔහු ධුරයෙන් ඉවත් කෙරෙන අතර, ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයකු තෝරා ගැනීමේ 1947 පනත අනුව එම ධුරයට පත්වනු ඇත්තේ උප ජනාධිපති මයික් පෙන්ස්ය.

ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්වී ඇති දෝෂාභියෝගය පිළිබඳ විවිධ මත පළ වෙමින් ඇති අතර, ඒ පිළිබඳ සංවාදයක් ද ඇතිවී තිබේ. කොන්ග්‍රස් කමිටුව හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ ඇතැම් විශාරදයන් පවසන පරිදි ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ඔහුට එරෙහිව නඟා ඇති චෝදනා ප්‍රමාණවත්ය. නීති විශාරදයන් තිදෙනකු එම මතය දරනවිට තවත් නීති විශාරදයකු ඊට වෙනස් මතයක් දරමින් කියා සිටියේ ට්‍රම්ප් ක්‍රියාකර ඇති ආකාරය වැරැදි වුවද ඔහු දෝෂාභියකට ලක්නොවිය යුතු බවය.

කොන්ග්‍රසයේ බුද්ධි කමිටුව මේ පිළිබඳ කරන ලද විමර්ශනයෙන් පසුව පිටු 300ක වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එමඟින් එරට ජාතික අභිලාෂයට ඉහළින් පෞද්ගලික අභිලාෂයක් තබමින් ඔහු ක්‍රියාකර ඇති බවට චෝදනා එල්ලකර තිබේ. 2020 ජනාධිපතිවරණය සඳහා විදේශ මැදිහත්වීම් සිදුවීම ඉන් දෝෂදර්ශනයට ලක්කර ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය නඟන චෝදනා රිපබ්ලිකන් පක්ෂය විසින් මෙන්ම ධවල මන්දිරයෙන් ද ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපති ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පක්ෂයේ දේශප්‍රේමීත්වය ගැන කියා තිබුණේ; ඔවුන් අපේ රටට ආදරය කරනවා ද? යන ප්‍රශ්නය නඟමිනි. ජනාධිපති ට්‍රම්ප් ප්‍රකටව සිටින්නේ ජාතිකවාදය පෙරට තැබු නායකයකු වශයෙනි. ඔහුගේ එම ක්‍රියා පිළිවෙත මීට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ විවේචනයට ලක්විය. ඇතැම් අවස්ථාවල ඔහු ආන්තික අදහස් ඇති අයකු ලෙස හුවාදැක්විණි. 

ජනාධිපතිවරණයට බලපෑම

ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙන පරිදි මෙය දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට තරම් තත්ත්වයක් නොවේ. එය රටට හිතකර නොවන බව ඔවුන්ගේ අදහසය. ඩිමොක්‍රටික් පක්ෂය කිසියම් අනතුරුදායක පරිසරයක් නිර්මාණය කරමින් සිටින බව ඔවුන් විසින් වටහාගත යුතු බවට ඔවුහු අනතුරු අඟවති. මහාචාර්ය මර්ලි පවසා ඇත්තේ ජනාධිපති, ඩිමොක්‍රටික් පක්ෂය, රිපබ්ලිකන් පක්ෂය ආදී කවුරුත් මෙහිදී අනුවණ ලෙස ක්‍රියාකරන්නේය යනුවෙනි.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වී ඇති දේශපාලන පසුබිමද මෙහිදී බැහැර කළ නොහැකිය. මීළඟ ජනාධිපතිවරණය සඳහා පිටිය සැකසෙමින් තිබියදී එය ඉදිරිපත් වීම විශේෂම කාරණයයි. එමෙන්ම තමා දෙවන වරටත් තරග කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදී හා ඊට සැරසෙමින් සිටියදී එය ඉදිරිපත්ව ඇත. අනෙක් කාරණය ඔහුගේ පාලනයට එරෙහිව රට තුළ මහජන මතයක් ඇතිවී නොතිබීමය. මේ වනවිට ආරම්භවී ඇති දෝෂාභියෝග ක්‍රියාදාමය සමඟ මහජන අභිලාෂ හා අපේක්ෂා ගැලපෙන්නේ කෙසේදැයි පැහැදිලි නැත. එම චෝදනාවලින් පවා එවැනි තත්ත්වයක් මතුවන්නේ නැත.කෙසේවුවද, ඇතැම් අභියෝග හා අවස්ථා හමුවේ ජනාධිපති ට්‍රම්ප් ක්‍රියාකර ඇති ආකාරය මීට බලපෑ බව පෙනෙන්නට තිබේ. ඔහු ඔහුගේ ශෛලියකට කටයුතු කරන බව බොහෝවිට දැකිය හැකිය. ඔහු ගත් ඇතැම් තීරණ ජාත්‍යන්තර වශයෙන් පවා ආන්දෝළනයට තුඩුදුන් බව පෙනෙන්නට තිබිණි. ඒ අතරම උතුරු කොරියාවත් සමඟ මිත්‍රත්වය ගොඩනඟා ගැනීම වැනි අනපේක්ෂිත සුබදායි පියවරද ඇත.

මේ සියල්ල මෙම ක්‍රියාදාමයේදී විනිශ්චයට ලක්කෙරෙන්නේ නැත. මෙහිදී විමර්ශනයට ලක්වන්නේ අදාළ චෝදනා පමණි. එබැවින් තීරණය ලැබෙනු ඇත්තේද අදාළ කාරණා සම්බන්ධයෙන් පමණි. ඒ තීරණය ඉක්මණින්ම ලැබිය යුතු බව ජනාධිපතිවරයා පවා අදහස් කරයි. එහෙත් එයට දින කාල නියමයක් නොමැත. බොහෝදුරට තවත් සති කිහිපයක් මෙම ක්‍රියාවලිය පෙරට යාමට ඉඩ තිබේ. ලබන වසර මුලදී පමණ එය දැක ගැනීමට බොහෝදුරට හැකිවනවා ඇත.

නව අදහස දක්වන්න