වෙනස | දිනමිණ


 

වෙනස

ශ්‍රී ලංකා ආර්ථිකය අලුත් ප්‍රබෝධයක් සහිතව ඉදිරියට යන බවක් පෙනෙයි. ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් වන කරුණුවලින් ද විශේෂඥයන්ගේ නිරීක්ෂණ වාර්තාවලින් ද ඒ බව තහවුරු කරගත හැකි ය. බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම, ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීම, වරාය නගරයේ ව්‍යාපෘති ආරම්භ කිරීම සේ ම ජනාධිපතිවරයා හා නව ආණ්ඩුව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසයත් ඊට හේතුසාධක ලෙස පෙන්වා දිය හැකි ය. ලෝක ආර්ථික ප්‍රවණතාවලට අනුව කිසියම් රාජ්‍යයක ආර්ථිකයේ හදිසි පිබිදීමක් ඇතිවන්නේ ව්‍යවසායකයන් පාලන තන්ත්‍රය කෙරෙහි විශ්වාසය තබා නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් බව පිළිගත හැකි සත්‍යයෙකි. එම තත්ත්වය දැන් අපේ ආර්ථිකය තුළ ද දැකගැනීමට පුළුවන.

වසර හතරක හෝ වසර පහක හෝ කාලයක පටන් රටේ ආර්ථිකය පැවැතියේ එක තැන පල්වෙමින් ය. ආර්ථික විශේෂඥයෝ එය ආර්ථික මන්දනයක් ලෙස හැඳින්වූහ. බලයේ සිටි පාලකයන් විවිධ ආර්ථික න්‍යාය ගැන සඳහන් කරමින් නව වැඩසටහන් ක්‍රියාත්මක කළ ද සංවර්ධනය වේගවත් වූයේ නැත. 2019 වාර්ෂික ආර්ථික වෘද්ධිය 1.6% ක් ලෙස පුරෝකථනය වී ඇත. දකුණු ආසියාවේ දුප්පත්ම රාජ්‍යයක් වූ බංගලිදේශය 8% ක ආර්ථික වර්ධන වේගයක් සටහන් කරගන්නේ මේ අතර ය. ගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලැසුම් රටට නොගැළපෙන බව ද අදූරදර්ශී බව ද මෙයින් පෙනී යයි. අවම ලෙස බංගලිදේශයෙන් පාඩම් ඉගෙනීමට අපේ පාලකයන්ට ඉඩ තිබිණි. එහෙත් එය සිදුවූයේ නැත.

රටේ කුරුඳු ගොවීන් ද, ගම්මිරිස් ගොවීන් ද අලුත් ප්‍රබෝධයකින් යුතු ව සිය දෛනික කටයුතුවල යෙදෙන බව ජනමාධ්‍ය වාර්තාවලින් පැහැදිලි වෙයි. ඊට හේතුව ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමට රජය ගත් තීරණය යි. කුරුඳු ටොන් ගණනක් පසුගිය කාලය තුළ පිටරටින් ගෙන්වා තිබිණි. ගම්මිරිස් ටොන් ගණනක් ද පිටරටින් ගෙන්වා තිබිණි. මේ තත්ත්වය මත දේශීය කුරුඳුවල මිල පහළ ගියේ ය. දේශීය ගම්මිරිස්වල මිල ද පහළ ගියේ ය. ගොවීන් මේ වගාවන් අත්හරින තත්ත්වයක් ගොඩනැඟී තිබිණි. ගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ප්‍රතිඅපනයන වැඩසටහන මීට හේතු විය. එය අසාර්ථක බව පෙනී ගොස් තිබුණ ද පාලකයන් ඊට ප්‍රතිකර්ම යෙදුවේ නැත.

කුරුඳු වගාව ආශ්‍රිතව රැකියාවල නියුතු පිරිස තිස්පන්දහසකට අධික ය. ඒ සෘජු රැකියා ප්‍රමාණය පමණකි. මේ වගාව ආශ්‍රිත තවත් නිෂ්පාදනවලින් විශාල පිරිසකගේ ආදායම් මාර්ග සැකසෙයි. ගම්මිරිස් වගාව පවතින්නේ තෙත් කලාපීය ජනතාවගේ දෙවන ආදායම් මාර්ගයක් හැටියට ය. පවුලක සමස්ත ආදායම වැඩිකරන ආර්ථික උපායමාර්ගයක් ලෙස එය පවතී. මෙබඳු ආදායම් මාර්ග බිඳවැටෙන විට ජීවන බර ඉහළ යයි. ආර්ථික පිරිහීම ශීඝ්‍ර වෙයි. ඒ හැරත් අපේ සුළු අපනයන ඔස්සේ රටට කීර්තිනාමයක් ලැබී තිබිණි. ප්‍රතිඅපනයන වැඩසටහනෙන් සිදුවූයේ එම කීර්තිනාමය ද අහෝසි වී යෑම පමණි.

ආයාත - නිර්යාත ක්‍රියාවලිය රටට වාසිදායක ලෙස හසුරුවාගත නො හැකි නම්; ආර්ථික වර්ධනයක් ගැන බලාපොරොත්තු තබාගත නො හැකි ය. නිර්යාත පුළුල්කොට ආයාත සීමාකිරීමෙන් රටේ ආදායම් වැඩිකරගත හැකි ය. නිදහසින් පසු දීර්ඝ කාලයක් පැවැතියේ ඒ ක්‍රමය යැයි කිව හැකි ය. එදා අපේ ප්‍රධාන නිර්යාත වූයේ තේ, පොල් හා රබර් ය. මේ හැරෙන්නට කුළුබඩු හා මැණික් අපනයනය ද සිදුවිය. ආයාත හෙවත් ආනයන සීමා විය. අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආයාත කැරිණි. දේශීය නිෂ්පාදන කිසිවක් පිටරටින් ගෙන්වූයේ නැත. මේ ක්‍රමය වෙනස් වූයේ 1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ ය. විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කරන අනෙක් රටවල් ආයාත සීමා කළ ද ශ්‍රී ලංකාව එසේ කළේ නැත.

රටක් ඉදිරියට ගෙන යෑමේ දී ආර්ථිකය ප්‍රධාන වන අතර එය හැසිරවිය යුත්තේ දූරදර්ශී ප්‍රතිපත්තියක් මත ය. ලෝක ආර්ථික ප්‍රවණතා, ජාතික සම්පත්, අනාගත ඉලක්ක ආදිය පිළිබඳ නිරවුල් වැටහීමක් මේ සඳහා පාලකයන්ට තිබිය යුතු ය. රටක ආර්ථික බිඳවැටීම ගැන සම්පූර්ණ වගකීම පාලකයන් දැරිය යුතු ය. නිදහසින් පසු වසර හැත්තෑ එකක කාලය දෙස බලනවිට පාලකයන් දූරදර්ශී ලෙස ආර්ථිකය හසුරුවා ඇති බවක් පෙනෙන්නට නැත. කෘෂිකර්මය නොසලකා හැරීම, අපනයන ක්ෂේත්‍රය කඩාවැටීම, විදේශ විනිමය ගැටලු, දේශීය කර්මාන්ත බිඳවැටීම මීට සාක්ෂි ලෙස පවතී. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්ති හා සැලැසුම් වෙනස්වීමත් මේ පරාධීනතාව සඳහා බලපා තිබේ.

කොළඹ වරාය නගරයේ එක් අදියරක් පෙරේදා විවෘත විය. දැනට වාර්තා වී ඇති අන්දමට එහි නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා විදේශීය ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් කැමැත්ත පළ කර සිටිති. වරාය නගරයේ ව්‍යාපෘති ආරම්භ කිරීමට අදාළ ටෙන්ඩර් ළඟදීම කැඳවීමට නියමිත ය. කොළඹ වරාය නගරයට මුල්ගල තැබුණේ 2014 සැප්තැම්බරයේ ය. ආණ්ඩු පෙරැළියත් සමඟ එහි ඉදිකිරීම් ප්‍රමාද විය. ඊට අදාළ ගිවිසුම් ද සංශෝධනයට ලක්විය. කෙසේ වුව එහි ශ්‍රී ලංකාවට අයත් කොට‍සේ ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම සුබදායක තත්ත්වයකි. මේ මඟින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආදායම සතුටුදායක තත්ත්වයක පවතී. මෙබඳු නව ව්‍යාපෘති නැතිව රටක් ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑම අපහසු ය.

ජනාධිපතිවරයා බලයට පත්වී මාසයක් ගත වී නැත. නව ආණ්ඩුව ක්‍රියාත්මක වන්නට පටන්ගෙන වැඩි දින ගණනක් ගෙවී ගොස් නැත. මේ කෙටි කාලය තුළ ආණ්ඩුව ගෙන ඇති සෑම පියවරක් ගැන ම මහජනයා තුළ විශාල ප්‍රබෝධයක් පවතී. ඒ අනුව මහජනයා ස්වේච්ඡාවෙන් ම රටේ සංවර්ධනයට දායකවන්නට පටන්ගෙන තිබේ. මහජන සංවිධාන ඒකරාශි වී නගර පිරිසුදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. එය සෑම නගරයකම පාහේ දැකගත හැකි ය. මහජනයා පාලකයා කෙරෙහි විශ්වාසයක් තැබීම කෙතරම් වැදගත් ද?

නව අදහස දක්වන්න