බීච් වොලිබෝල් කණ්ඩායම් රන් දිනයි | දිනමිණ


 

බීච් වොලිබෝල් කණ්ඩායම් රන් දිනයි

නිරෝෂාන් ප්‍රියංකර

මල්ලවපොර-පිරිමි කබඩි කණ්ඩායම් ඉතිහාසය අලුත් කරයි

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය වූ ඊයේ පොකාරා හිදී පැවැති බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි ඉසව් ද්විත්වයෙන්ම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එමෙන්ම එහි රිදී පදක්කම්ද ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි.

රන් දිනූ පිරිමි කණ්ඩායමට අසංක ප්‍රදීප් කුමාර සහ අශේන් රශ්මික එක්වූ අතර ඉන්දික ටිරෝන් සහ ජයාන් තනූජ රිදී දිනූ කණ්ඩායමට ඇතුළත් වූහ. චතුරිකා මධුෂානි වීරසිංහ සහ දීපිකා බණ්ඩාර රන් දිනූ කාන්තා කණ්ඩායමට ඇතුළත් වූ අතර දිනේෂා ප්‍රසාදිනී සහ කසුනි තාරුකා රිදී දිනාගත් කණ්ඩායම නියෝජනය කළහ.

මල්ලවපොර

දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ. කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් තරග කල දිල්හානි වීරබාහු සහ කිලෝග්‍රෑම් 72ක බර පන්තියෙන් අයෝමි සෙනෙවිරත්න රන් පදක්කම් දිනා ගත්හ. එම ඉසව්වේදී පිරිමි කිලෝග්‍රෑම් 92 බර පන්තියෙන් තරග කළ නිශින් වල්පිට රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

පිහිනුම්

පිහිනුම් ඉසව්වෙන් ඊයේ ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 4ක් හිමිවිය. මීටර් 200 නිදහස් ආර පිහිනුම ඉසව්වේ කාන්තා සහ පිරිමි රිදී පදක්කම් ද්විත්වම ශ්‍රී ලංකාවට හිමිවූ අතර මේ සමගින් මැතිව් අබේසිංහට රන් පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව අහිමිවිය. පිරිමි කණ්ඩායමට මැතිව් අබේසිංහ සමගින් කාවින්ද්‍ර නුගේරා, ස්ටෙපාන් පෙරේරා සහ ඩිලංක ෂෙහාන් ඇතුළත් වූ අතර කාන්තා කණ්ඩායමට භක්ති කරුණාසේන, සන්දු සවිඳි, රමුද සමරකෝන් සහ ගංගා සෙනෙවිරත්න ඇතුළත් වූහ. පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් අකලංක පීරිස්, මීටර් 200 සමනල ආර ඉසව්වෙන් රන්දිව් සෙනෙවිරත්න රිදී පදක්කම් දිනා ගත්හ.

බර ඉසිලීම

ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ඉසව්වෙන් රන් පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පෙරේදා පැවැති මේ තරගයේදී කාන්තා කිලෝග්‍රෑම් 87 තරගයට එක්වූ එච්.ඩබ්.ටී.එන්.බී.ජේ.හසුතැන්න එහි රන් පදක්කම දිනාගත් අතර කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග කළ වයි.ඩී.අයි.කුමාර ද රන් පදක්කම දිනා ගත්තේය. පිරිමි කිලෝග්‍රෑම් 109ට වැඩි බර පන්තියෙන් තරග කළ උෂාන් චාරුක, කිලෝග්‍රෑම් 76 බර පන්තියෙන් තරග කළ බී.සී.ප්‍රියන්තිද රිදී පදක්කම් දිනා ගත්හ.

දුනු විදීම

දුනු විදීමේ ඉසව්වේ ඊයේ පැවැති පිරිමි කණ්ඩායම් Recure ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එම කණ්ඩායමට සජීව් ද සිල්වා, සඳුන් හේරත් සහ රවීන් දල්පදාදු ඇතුළත් වූහ.

ක්‍රිකට්

පොකාරා හිදී කාන්තා ක්‍රිකට් රන් පදක්කම් වෙනුවෙන් පැවැති සටනින් ලකුණු 2කින් ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ සමත්වූහ. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල කඩුලු 8ක් දැවී ලකුණු 91ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 89ක් පමණි. මේ සමගින් රිදී පදක්කමෙන් සෑහීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ලකුණු හඹා යෑමේදී නායිකා හර්ෂිතා මාධවී ලකුණු 32ක් සහ ලිහිණි අප්සරා ලකුණු 25ක් රැස්කළ අතර සෙසු පිතිකාරිනියන්ගෙන් ලකුණු 10 ඉක්මවිය හැකිවූයේ නිලක්ෂණා සඳමිනී (10) ට පමණි.

නිගර් සුල්තානා ලකුණු 29ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නිමේෂා තිමාෂිණි එකම ඕවරයකදී කඩුලු 4ක් බිඳ දැමීමට සමත් වූවාය.

මේ අතර මූලික වටයේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9ක ජයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරාගෙන ලසිත් කෘස්පුල්ලේ සහ පැතුම් නිශ්ශංක දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 134කි. තරගයේ වීරයා වූ ලසිත් නොදැවී ලකුණු 73ක් රැස් කළේ පන්දු 47කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමගිනි. නොදැවී ලකුණු 67ක් රැස්කරමින් පන්දු 52කට මුහුණදුන් නිශ්ශංකගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. මෙහි රන් පදක්කම සඳහා අවසන් තරගය අද (9) පැවැත්වෙන අතර එම තරගයට ද එක්වන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි.

මල්ලවපොර

මල්ලවපොර ඉසව්වෙන් රිදී පදක්කම් 5ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකවෝ සතම් වූහ. කාන්තා කිලෝග්‍රෑම් 76 බර පන්තියෙන් තරග කළ කුමුදිකා රවිහාරි, කිලෝග්‍රෑම් 70 බර පන්තියෙන් තරග කළ අනිල් නිරෝෂන් මුණසිංහ, පිරිමි කි.ග්‍රෑම් 79 බර පන්තියෙන් සුරේෂ් චානක, කි.ග්‍රෑම් ශ්‍රියන්තිකා නිරෝෂනී, කි.ග්‍රෑම් 57 බර පන්තියෙන් ගයාන් චතුරංග, කි.ග්‍රෑම් 65 බර පන්තියෙන් චාමර පෙරේරා රිදි පදක්කම් දිනා ගත්හ.

කබඩි

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමේ දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට අද (9) රන් පදක්කම සඳහා සටනට පිවිසෙයි. ඊයේ පැවැති තරගයෙන් බංග්ලාදේශ 35-20ක් ලෙස පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. එම තරගය අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

පාපැදි

පෙරේදා නිමාවට පත්වූ පාපැදි ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් ද්විත්වයක් දිනා දීමට ප්‍රභාෂ් මධුසංක සහ දිනේෂා දිල්රුක්ෂි සමත් වූහ. ප්‍රභාෂ් පිරිමි මාර්ග ධාවන තරගයෙන්ද, දිනේෂා කාන්තා කාලය මැනීමේ තරගයෙන්ද මේ පදක්කම් හිමිකර ගත්හ. එමෙන්ම එම ඉසව් ද්විත්වයේ කාන්ත සහ පිරිමි ලෝකඩ පදක්කම් 4 ම ශ්‍රී ලංකාව සතුවිය.

 

නව අදහස දක්වන්න