සෞභාග්‍යමත් රටක් තනන්නට ජාතික සමගිය ඉහළින්ම අවශ්‍යයි | දිනමිණ


 

සෞභාග්‍යමත් රටක් තනන්නට ජාතික සමගිය ඉහළින්ම අවශ්‍යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

පසුගිය ජනාධිපතිවරණයෙන් විශාල ජනවරමක් ලබා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වනු ලැබිණ. එසේ පත්වීමත් සමඟ ඔහුගේ සොහොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව දිනමිණ පුවත්පත යොමු කළ ප්‍රශ්නවලට ඒ මහතා පිළිතුරු දුන්නේ මෙසේය

*විවිධාකාර බදුවලින් කිසියම් ප්‍රමාණයක් ඉවත් කිරීම නිසා ජනතාවට සහන රැසක් අත්වී ඇති බව හැම දෙනාම කියන කතාවක්.ව්‍යාපාරික ප්‍රජාව බැංකු ණය නිසි පරිදි ගෙවා ගන්න බැරිව අසාදු ලේඛනගත වුණා. ඔවුන් පීඩාවට පත් කළ යම් යම් බදු ඉවත් කිරීම නිසා රටේ සංවර්ධන ක්‍රියාවලිය යහපත් වන බව කර්මාන්තකරුවන්,සෙසු ව්‍යාපාරික අංශ කියනවා. බදු අයකර ගත යුත්තේ මල නොතලා රොන් උරා ගන්නා සේ ය කියන කියමන අපේ මුල්‍ය ප්‍රතිපත්තිය.

*ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් නඟා ඇති ඔය කියන චෝදනාව පිළිබඳ සෑහෙන්න කරුණු අප සතුව ඇතත් අධිකරණය හමුවේ යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙන නිසා ඒ ගැන වැඩි යමක් පැවසීම ඒ කටයුතුවලට බාධාවක් විය හැකියි. එකක් පැහැදිලිව කියන්නම්. මේ අපේ ජනාධිපතිවරයාටත් අපේ ආණ්ඩුවටත් එරෙහිව දෙස් විදෙස්හි පවතින පසමිතුරුකම එළිපිට ප්‍රකාශ කිරීමක් බව මේ අභූත චෝදනාවෙන් මනාව පිළිබිඹු වෙනවා.

*අපට දූෂණ චෝදනා නැඟූ උදවිය බලයට පත්වෙලා මාසයක් යන කොට මහබැංකුව මහ දහවල් බිඳල මොන තරම් ධනස්කන්ධයක් හොරකම් කළා ද? එයින් සිද්ධ වෙච්චි පාඩුව කවදා කොහොම ආවරණය කර ගන්නවා ද යන්නත් ඉතා බරපතළ ගැටලූවක්. අදත් මහ බැංකු හොරකමේ ලොකුම හොරුන් බොහොම නිදැල්ලෙ හැසිරෙනවා. එක හොරෙක් රටෙත් නෑ, අපි ඒ හොරා උදර්පණ නීතිය ප්‍රකාරව මේ රටට ගෙන්වා ගත්තහම තව කී දෙනෙක් ඒකට හවුල්ද කියන කාරණාවත් අනාවරණය වේවි.

 

* ඔබත් ඔබේ සහෝදර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලයීය නිලධාරිනියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තොරතුරු ලබාගන්න ඇය බියවද්දා ඇතැයි කියන බරපතළ චෝදනාව නිසා ආණ්ඩුව දේශීයව මෙන් ම ජාත්‍යන්තරවත් අසීරුතාවයකට පත්වී තිබෙනවා නේ ද?

ඒ චෝදනාව සත්‍යයක් නම් ඒක බොහොම බරපතළ එකක්. පුද්ගල නිදහස උදුරා ගැනීමක්. මේ කියන සිද්ධිය එහෙම වූ බවට කිසිම නිවැරදි තොරතුරක් ලැබී නැහැ. මේ ගැන ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේකම්වරයාත් විදේශ සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් යොදවා පරීක්ෂණ අරඹා තියෙනවා. පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් කරගෙන යන පරීක්ෂණවලට අනුව ඒ කාන්තාව පැහැර ගත්තු බවට කිසිදු ඉඟියක් නෑ. මේ කාන්තාව ඔය කියන 25 වැනිදා හවස පාසලක් අසල දී පැහැර ගත්තු බව තමා චෝදනාව. හැබැයි තානාපතිවරයා ඒ නිලධාරිනිය ගැන කිසිදු නිවැරදි තොරතුරක් අනාවරණය කරන්නට තරම් සදාචාර සම්පන්න වෙලා නෑ. පැහැර ගැනීමට ලක්වුණු නිලධාරිනියගෙ නමවත් කියල නෑ.

මේ ගැන අපේ ආරක්ෂක ලේකම්වරයාත් විදේශ කටයුතු ලේකම්වරයාත් විමර්ශන කණ්ඩායම් කළ පරීක්ෂණය ගැන විස්තර ස්විට්සර්ලන්ත තානාපතිවරයාට ප්‍රකාශ කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා නව ජනවරම ලැබ දවස් අටකින් තමයි මේ බරපතළ චෝදනාව එල්ල කරන්න ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගත්තෙ. ඉකුත් දෙසතිය පුරා සෑහෙන කරුණු මාධ්‍ය ඔස්සේ කියැවුණා. එයින් අනාවරණය වෙලා තියෙන්නෙ එහෙම දෙයක් සිද්ධ වුණු බවක් නෙවෙයි.

පහුගිය යහපාලන ආණ්ඩුවේ වුවමනාවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන ලද පොලිස් පරීක්ෂකවරයාට රටින් පැන යන්නටත් රැකවරණය දෙන්නටත් ස්විට්සර්ලන්තය මුල්වීමේ සිද්ධිය අනාවරණය වීමත් එක්ක ඇතිවුණු අවමානයෙන් මිදෙන්න මොවුන් විසින් සීතාම්බර පටය වැනි නාට්‍යයක් නිර්මාණය කරන ලද බව තමයි පොදු මහජන මතය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් නඟා ඇති ඔය කියන චෝදනාව පිළිබඳ සෑහෙන්න කරුණු අප සතුව ඇතත් අධිකරණය හමුවේ යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙන නිසා ඒ ගැන වැඩි යමක් පැවසීම ඒ කටයුතුවලට බාධාවක් විය හැකියි. එකක් පැහැදිලිව කියන්නම්. මේ අපේ ජනාධිපතිවරයාටත් අපේ ආණ්ඩුවටත් එරෙහිව දෙස් විදෙස්හි පවතින පසමිතුරුකම එළිපිට ප්‍රකාශ කිරීමක් බව මේ අභූත චෝදනාවෙන් මනාව පිළිබිඹු වෙනවා. කොහොම වුණත් අපේ නිර්දෝෂීභාවය අප පෙන්වා සිටිය යුතුයි. මෙහි සත්‍යාසත්‍යතාවය රට හමුවේ ලෝකයා හමුවේ තබන්නට අවශ්‍ය විමර්ශන ඉදිරියටත් කරනවා. මන්ද මෙයින් හානි වන්නේ අපේ මවුබිමට.

* යහපාලන ආණ්ඩුව ගෙවුණු අවුරුදු හතරහමාරක කාලය තුළ ජනතාව මත නේක විධ බදුබර පැටෙව්වා. නව ආණ්ඩුව විසින් වැට් බද්ද ඇතුළු බදු අඩු කළා. ජනතාවගේ පැත්තෙන් ඒක ලොකු සහනයක් වුණත් බදු බර අඩු කිරීමත් එක්ක ආණ්ඩුවට රුපියල් මිලියන ගණනක පාඩුවක් ඇති වෙනවා නේ ද?

වැට් බද්ද ඇතුළු බදු සෑහෙන සංඛ්‍යාවක් අඩු කිරීම නිසා ආණ්ඩුවට මුල්‍යමය වශයෙන් රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුවෙන බව ඇත්ත. ඒත් එහෙම බදු බර වැඩි කරමින් උපයා ගත්තු මුදල්වලින් රටේ ආර්ථිකයේ උන්නතියක් තියෙන්න ඕනැ නේද. ඒත් සිද්ධ වුණේ ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කර රටේ දේශීය දළ නිශ්පාදනය පවා පහතට හෙළීම නේද?

අපේ කාලයේ රටම වැඩබිමක්වෙලා තිබුණා. එහෙම තිබුණු රට මුඩුබිමක් වුණේ මන්ද කියන කාරණාව මෙහි දී සලකා බලන්න.

විවිධාකාර බදුවලින් කිසියම් ප්‍රමාණයක් ඉවත් කිරීම නිසා ජනතාවට සහන රැසක් අත්වී ඇති බව හැම දෙනාම කියන කතාවක්. ව්‍යාපාරික ප්‍රජාව බැංකු ණය නිසි පරිදි ගෙවා ගන්න බැරිව අසාදු ලේඛනගත වුණා. ඔවුන් පීඩාවට පත් කළ යම් යම් බදු ඉවත් කිරීම නිසා රටේ සංවර්ධන ක්‍රියාවලිය යහපත් වන බව කර්මාන්තකරුවන්, සෙසු ව්‍යාපාරික අංශ කියනවා. බදු අයකර ගත යුත්තේ මල නොතලා රොන් උරා ගන්නා සේ ය කියන කියමන අපේ මුල්‍ය ප්‍රතිපත්තිය. ව්‍යාපාරික ප්‍රජාව පෙලන ආර්ථික අපහසුතාවලින් ඔවුන් ලබන නිදහස ඔස්සේ රට ඉදිරියට ගෙන යා හැකි යි. අපි ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ නැතිනම් මුල්‍යාධාර දෙන වෙනත් ආයතන හෝ කියන කියන පදේට නැටුවොත් තමා ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන් සූරා පෙරා භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න වෙන්නෙ. අපි සෞභාග්‍යමත් රටක් ගොඩනැංවීමේ ප්‍රතිපත්තියේ පිහිටා ලාංකේය ජන සමාජය ශක්තිමත්ව ඔසවා තබන්නට අවශ්‍ය පියවර ගන්නේ ජාතික ආර්ථිකය නංවන්නට අපේ ආර්ථික විශේෂඥවරුන්ගේ මඟ පෙන්වීම අනුව මිස විදෙස් මුල්‍ය කළමනාකරණයට ඕනැ ඕනැ විදියට නෙවෙයි.

අපේ ම ආර්ථික පිළිවෙතක පිහිටා රට සංවර්ධනය කරන්නේ ලංකාව සිංගප්පූරුවක් හෝ මලයාසියාවක් කරන්නට නොවේ. අපේ ආර්ථික ප්‍රතිපත්තිය ලංකාව ලංකාව සේ ඉහළට ඔසවා තැබීම.

* ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් එක්ක කොටස් වෙළෙඳපොළේ ඉහළ යෑම ගැන රටේ ලොකු ප්‍රසාදයක් ඇති වුණා. ඇත්තටම මෙහෙම වුණේ කොහොම ද?

කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුකරුවන් ආයෝජනය කරන්න පෙළඹෙන්නෙ ශක්තිමත් ස්ථාවර පාලනයක් රට තුළ ඇත්නම් විතරයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලද දැවැන්ත මහජන වරමත් එක්ක කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කරන්නන්ට විශාල විශ්වාසයක් ඇති වුණා. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙන්ම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවද්දිත් කරන ලද වැඩසටහන් ඔස්සේ ඔහු යමක් සාර්ථකව කරන්නට තරම් නිපුණතාවයක් දක්ෂතාවයක් බුද්ධිමත් බවෙකින් පර්පූර්ණ පුද්ගලයකු බව ඔප්පු කළා. ඔහු කොළඹ නගරය ලෝකයේ ලස්සන ම නගර අතරට එක්කළා. සංචාරක ආකර්ශණය දිනාගත් අංක එකේ නගරය සේ කොළඹ ඔසවා තබන්නට ඔහු කළ දේවල් ජනතාව දුටුවා. ඉතින් එහෙම කෙනෙක් රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීම නිසා තමන් කරන ආයෝජනවලට ඇති සුරක්ෂාව ගැන කිසිදු සැකයක් ඔවුන්ට නැහැ. ඒකයි ප්‍රධානතම කාරණාව.

අනෙක අපි 2005 යුද්ධය අවුරුදු දෙක හමාරකින් අහවරයක් කර රටේ සිවු කොණෙහි ම එක විදියට ආරම්භ කරපු සංවර්ධන ක්‍රියාදාමය නිසා ඔවුන් අප කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් ඇතිව තමන්ගේ ආයෝජන යොදවන්නට දෙවරක් හිතන්නෙ නෑ.

2005 දී අපි ජනවරම් ඉල්ලද්දි ජනතාව කීවේ බයක් සැකක් නැතිව ජීවත්වන්න පුළුවන් තැනකට රට පත් කරන්න කියා. අපි මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරද්දි එක එක තාලෙ දේශපාලන විචාරකයින් යුද විශ්ලේෂකයින්, යුද විශේෂඥයින් පුන පුනා කීවේ එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කරන්න බැරිය කියන කතාව. හැබැයි අපි උතුරේ මෙන්ම නැගෙනහිර ජනතාව කොටි සංවිධානයෙන් මුදා ගෙන ඒ යුද විශ්ලේෂකයින්ගෙ විශේෂඥයින්ගෙ මතය පුහු එකක් බව රටට විතරක් නෙවෙයි ලෝකයටම පෙන්නුවා. එයින් අපේ ත්‍රිවිධ හමුදාවම ඉතාමත්ම නිර්භිත ශක්තිමත් ම හමුදාවක් බව ඔවුන් හොඳින් අත්දැක්කා. අපි යුද්ධය පවතිද් දී වගේම අවසන් කළ පසුත් රටේ තොටේ ඉතා ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලියක් ඇරඹුවා.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොට, මාගම්පුර ජාත්‍යන්තර වරාය නිර්මාණය කළා. අධිවේගී මාර්ග පද්ධතියක් ස්ථාපිත කරන්නට පියවර ගත්තා. දකුණු අධිවේගී මාර්ගය අහවර කළා. කෙළඹ වටරවුම් පාර, නොරොච්චෝලෙ, කෙරවලපිටිය, කොත්මලේ විදුලි බලාගාර නිර්මාණය කළා. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රියාත්මක කළා. ග්‍රාමීය සංවර්ධනය උදෙසා අපි මෙහෙම ක්‍රියාත්මකව සිටින විට ඒක දරා ගන්නට බැරි නරුම මිනිසුන් අපට විරුද්ධව ඇරඹූ මෙහෙයුම නිසා අවුරුදු කීයකට නම් රට ආපස්සට ගියා ද? අපි මේ සියල්ලක් ම කළේ අපට හොඳ සැලසුම් කිරීමේ දක්ෂයින් හිටිය නිසා.

අපේ මුල්‍ය කළමනාකරණය බොහොම වගකීමකින් හසුරුවන ලද නිසා සාමාන්‍ය ආර්ථික වේ ගය 6.8% ක් ලෙස පවත්වා ගන්න පුළුවන්කමක් ලැබුණා. දළ දේශිය නිශ්පාදන ඩොලර් බිලියන 69 ක් දක්වා වර්ධනය කර ගන්න හැකිවුණා 2014 අවසන් වෙන කොට. 2005 දී අප සතු වුණේ ඩොලර් බිලියන 24 යි. උද්දමනය 3. 5 කින් පවත්වා ගන්න අපට පුළුවන් වුණේ අපේ ආර්ථික උපාය මාර්ග සාර්ථක වූ හින්දා. අපේ ජනතාවට මතක ඇති 2014 අවසන් වෙන කොට ඩොලරයක වටිනාකම රුපියල් 130 ක මට්ටමින් පවත්වා ගත්තෙ මුල්‍ය කළමනාකරණයේ නිපුණ ආර්ථික විශේෂඥයින්ගෙ සහාය නොඅඩුව අප ලද නිසා. මෙහෙම දියුණුවක් ලැබුවෙ රට තුළ මුදල් සංසරණය හොඳින් සිද්ධ වෙච්ච නිසා.

ගමනැඟුම, දිවිනැඟුම වැනි වැඩසටහන් ඔස්සේ හැම ගමකම පාහේ පැවැති දියුණුව යහපාලන ආණ්ඩුවෙ මුග්ධ ක්‍රියා පිළිවෙත් නිසා ආපස්සට ගියා.

එදා 2005 දි අපි රට භාරගත්තේ ශක්තිමත් ආර්ථිකයක් තිබුණු රටක් නෙවෙයි. ඒත් අපි යහපාලකයන් සේ අඬ අඬා දොඩ දොඩා වැළපුණේ නෑ. අපි නිසි ආර්ථික කළමනාකරණයක් යොදා ගත්තු නිසා උපාය මාර්ග මැනවින් හඳුනාගෙන ක්‍රියාත්මක කළ නිසා ලෝකයේ බලවත් රාජ්‍යයන් පවා ආර්ථික වශයෙන් කඩා වැටෙද් දී ඒ ලෝක ආර්ථික අර්බුදය හමුවේ වුව නොසැළී දෙපයින් නැඟී සිටින්නට අපිට හැකි වුණා. යහපාලනයක් ගැන කියමින් ආණ්ඩුව කඩා බිඳ දමන්නට කුමන්ත්‍රණ කළ උදවිය අද රට ආපස්සට හරවා අගාධයකට හෙළා ඇත්තේ එහෙව් රටක් තමා.

අපට අද බාරගන්නට වෙලා තියෙන්නෙ ණය බරින් නොපෙනෙන තරමේ අගාධයකට ප්‍රපාතයකට ඇද දමා තිබෙන රටක් ජනතාවක්. ඒත් අපි වැටී තිබෙන මාතෘ භූමිය කෙසේ හෝ ඔසවාලිය යුතු යි. එය ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඒත් ජනතාව අපට ඒ කාර්යය කරන්නට භාර දීලා තියෙනවා. ඉතින් ඒ දුෂ්කරවූත් කටුක වූත් කටයුත්ත කෙසේ හෝ සාර්ථක කොට මතු පරම්පරාවට යහපත් රටක් නිර්මාණය කරන්නට ඇප-කැප විය යුතුයි. ඒ සඳහා අපේ ජනාධිපතිතුමා ආදර්ශයෙන් පෙන්වා තියෙනවා ගෙවී ගිය සති දෙක තුන තුළ ආර්ථික අතින් අපි ශක්තිමත් වන්නට ගතයුතු ක්‍රියා මාර්ග කවරේද කියා.

* ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවන්නට නම් රාජ්‍ය සේවක සහාය නොඅඩුව ලැබිය යුතුයි නේ ද? ඒත් පහුගිය කාලෙ ඔබේ නියෝග ක්‍රියාත්මක කළ ජනාධිපති ලේකම්වරයා මෙන් ම තවත් රාජ්‍ය නිලධාරීන් ගණනාවක් විවිධ චෝදනාවලට ලක්වී සිටීම නිසා ඔවුන් ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට තමන් ආරක්ෂා වීමේ පිළිවෙතක පිහිටා වැඩ කළොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන් ම ඔබත් ඔබේ ආණ්ඩුවත් අපේක්ෂා කරන ඉලක්ක කරා ගමන් කළ හැකි ද?

යහපාලනය කළේ, මමත් මගේ පවුලේ ඇත්තනුත් සමඟ එක්ව රාජ්‍ය සේවයේ යෙදෙමින්, මේ රටේ ඉදිරි අනාගතය යහපත් ලෙස සංවර්ධනය කරන්නට වගකීමක් ඇතිව තමන්ගේ සේවය ඕනැවටත් වඩා වැඩියෙන් ඉටු කරන ලද වගකීම් දැරූ ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටත් අභූත චෝදනා නඟමින් අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ ඔවුන් දුර්මුඛ කිරීමට නිර්ලජ්ජිත උත්සාහයක යෙදීම.

තිස් හවුරුදු යුද්ධයක් පැවැති මේ රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වන්නට සුදුසු පරිසරය නිර්මාණය කරන්නට දිවි හිමියෙන් ඇප-කැප වූ ත්‍රිවිධ හමුදාවේ විවිධ අංශයන් හි නිලධාරීන් විශේෂයෙන් ම බුද්ධි නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල උදවියට මොන තරම් කරදර හිංසා කළා ද? ජනාධිපති ලේකම්වරයා ලෙස සේවය කළ ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට චෝදනා නඟා ඔවුන් වැරදිකරුවන් කළේ දහස් ගණනක් වූ උපාසක උපාසිකාවන්ට අටසිල් සමාදන් වෙන්නට සිල් රෙදි ලබා දෙන සේ ගරුතර මහා සංඝරත්නයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් මගේ නියමයට අනුව ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන්.

මේ චෝදනාවට ඔවුන් ලක්වුණේ යහපත් චේතනාවෙන් කළ දෙයකට. රටක ප්‍රධානතම රාජ්‍ය නිලධාරියාට එහෙම චෝදනා කර ඔවුන්ගේ මෙහෙය නිසා හිරගෙවල තපින්නට සිද්ධ වූ විට රජයේ සෙසු නිලධාරීන් ද ලිස්සා යෑමේ න්‍යාය පිළිපැදීම හැර තමන් වෙත පැවරෙන කාර්ය ඒ අයුරින් කරන්නට කැමැත්තක් දක්වන්නෙ නෑ, යහපාලක අණ්ඩුව එහෙම කළේ සමස්ත රාජ්‍ය තන්ත්‍රයම කඩා බිම ඇද දැමීමේ දුෂ්ට චේතනාවෙන්.

මීට පස්සෙ එවන් දුක් කරදරවලට ගැහැටට කිසිදු රාජ්‍ය සේවකයෙක් පත් නොවන තත්ත්වයක් අපි නිර්මාණය කරන බව අවධාරණය කරනවා. රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරිය ඉටු කරන විට මින් මතු එවන් දෙයක් නොවන්නට අවශ්‍ය අණපනත් සම්මත කරන්නට පසුබට වෙන්නෙ නෑ, එහෙම නොවුණොත් මේ රට සාර්ථක රටක් වෙන්නෙ නෑ,

ඒත් අපට දූෂණ චෝදනා නැඟූ උදවිය බලයට පත්වෙලා මාසයක් යන කොට මහබැංකුව මහ දහවල් බිඳල මොන තරම් ධනස්කන්ධයක් හොරකම් කළා ද? එයින් සිද්ධ වෙච්චි පාඩුව කවදා කොහොම ආවරණය කර ගන්නවා ද යන්නත් ඉතා බරපතළ ගැටලූවක්. අදත් මහ බැංකු හොරකමේ ලොකුම හොරුන් බොහොම නිදැල්ලෙ හැසිරෙනවා. එක හොරෙක් රටෙත් නෑ, අපි ඒ හොරා උදර්පණ නීතිය ප්‍රකාරව මේ රටට ගෙන්වා ගත්තහම තව කී දෙනෙක් ඒකට හවුල්ද කියන කාරණාවත් අනාවරණය වේවි ය කියන ලොකු විශ්වාසයක් මට තියෙනවා.

ඒ හොර කල්ලිය කරන ලද රුපියල් බිලියන ගණනක වංචාව නිසා රටේ පොලී අනුපාතය 30% වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියා. කෝටි සියයක මුල්‍ය අවශ්‍යතාවය වෙනුවෙන් රුපියල් කෝටි දහසක බැඳුම්කර ලංසු පිළිගැනීම ඔස්සේ මාමයි, බෑනයි හා තවත් අයයි මොන තරම් වංචාවක්, දුෂණයක් රටට සිද්ධ කර ඇත්දැ යි හිතන්න. මේ භාණ්ඩාගාර සුරැකුම් පත් වංචාවට සම්බන්ධ හැම දෙනාට ම නීතියෙන් දඬුවම් ලබාදීමත් එදා සිට අද දක්වා රටේ ආර්ථිකයට සිදුව ඇති පාඩුවත් පියවා ගන්නටත් අවශ්‍යයි.

* හත්වැනි ජනාධිපතිවරයා ලෙස ඔබේ සොහොයුරා ජනවරම ලබන්නේ සිංහල බෞද්ධ ජනතාවගේ කතිරයේ බලයෙන්. ඒ බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේ දී ද සඳහන් කළා. ඊයේ මා ඔබ හා මේ සම්මුඛ සාකච්ඡාවට පැමිණ සිටිය දී හමුවුණා මඩකළපුව බදුල්ල පාරේ පදිංචිව සිටින වයෝවෘද්ධ අඹු සැමි යුවළක්. ඔවුන්ගේ දුක්ගැනවිල්ල කියන්නට අගමැති මහජන අංශය වෙතයි ඒ වෘද්ධතර යුවළ පැමිණ සිටියේ. ඔවුන් පදිංචිව හුන් නිවස කොටි ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දමා මඩකළපුවෙන් පන්නා දැමූ පසු ගම්පහ ප්‍රදේශයට ඇවිත් ඥාති නිවෙසක පදිංචිව හුන් බවත් දැන් දරුවන් ගම්පහ පැත්තෙ කුලී නිවාසවල ජීවත්වන බවත් කී මේ වයෝවෘද්ධයන් කීවේ පහුගිය කාලයේ රජය විසින් ඒ ප්‍රදේශයේ පදිංචි දෙමළ උදවියට නිවෙස් ඉදිකර දුන්නත් තමන් වෙනුවෙන් ගේ කෑල්ලක් තනා දීමට හෝ තනා ගැනීමට කිසිදු අන්දමක උදව්වක් උපකාරයක් මේ දක්වා නොකළ වග යි. දෙමළ ඇත්තන් වෙනුවෙන් ඉදිකර ඔවුනට ලබා දුන් නිවෙස්වල ඒ දෙමළ උදවියගෙන් සෑහෙන පිරිසක් පදිංචි නැති බව කී ඔවුන් ඒ ප්‍රදේශයේ ජීවත්වන කිසිදු සිංහල පවුලකට කිසිදු ආකාරයක සහනයක් නැති වගක් ද සඳහන් කළා. ඔවුන්ගේ නිවෙස් තනා දීමට වගකිවයුතු අංශවලින් මැළිකමක් දක්වන්නේ ජාතිවාදය යළිත් හටගනීවිය යන හේතුව නිසා බවයි ඒ යුවළ කියන්නෙ. තත්ත්වය මේක නම් මොවුන් මවුබිමේ ම අනාථයන් වී සිටිනවා නොවේ ද? මෙවන් උදවිය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය පැහැදිලි කළොත්?

සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා මේ බිමේ උපන් ඒ හැම කෙනකුට ම ඇත්තේ සමාන අයිතියක්. ඔය කියන කතාව හොයා බලන්නම්. එවන් හැම කෙනකුට ම යුක්තිය සාධාරණය ඉටු විය යුතුයි. දෙමළ ජනයා බහුලව වෙසෙන ගම්බිම්වල සිංහල හෝ මුස්ලිම් හෝ වේවා සිංහල ජනයා බහුලව වාසය කරන ගම් දනව්වල දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා මුස්ලිම් ප්‍රජාව බහුතරයක් ජීවත්වන පරිසරයක දෙමළ හෝ සිංහල හෝ වේවා ඒ හැම දෙනා ම මේ රටේ පුරවැසියන්. ඔවුන්ගේ භාෂාව හෝ ආගම හෝ ජන වර්ගය හෝ සලකා වෙන් වෙන් වශයෙන් සැලකීමට කිසිදු පාලන තන්ත්‍රයකට බැහැ. ජන වර්ග අතර සාමය සහයෝගීතාවය සහෝදරත්වය වැඞීම අරමුණු කරගෙන යි අපේ පාලනය කරන්නෙ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මනාව සඳහන් කර තියෙනවා. අපි කිසිවකු අතර ජාතිභේදය වපුරන්නෙ නෑ. ජාතිභේදය තුරන් කර හැම දෙනාට එකට ජීවත්විය හැකි රටක් ඇති කිරීමේ පරමාර්ථය පෙරදැරිවයි ක්‍රියා කරන්නෙ.

අගමැති මහජන සම්බන්ධතා අංශය ආරම්භ කළේ මේ වගේ ගැටලූ නිරාකරණය කිරීමේ අභිලාසයෙන් තමා. මිනිසුන්ට මිනිසුන් සේ සාමයෙන් සමාදානයෙන් සහයෝගීතාවයෙන් එකට ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අපි ඇප කැපව හිඳින වග අවධාරණය කළ යුතු යි. සමස්ත ජනතාවම දුක්ඛ දෝමනස්සයන්ගෙන් මුදා ගැනීමේ පරම චේතනාවෙන් ආණ්ඩුවක් හැටියට පියවර ගැනීමයි අපේ පරමාර්ථය. ඒ පරමාර්ථයෙන් අප කටයුතු කළත් අපට දෙස් විදෙස් ප්‍රතිගාමීත්වය නඟනා අභූත චෝදනා සියල්ල බැහැර කරන්නට නිසි සේ රිසි සේ පියවර ගැනීම අපේ ප්‍රතිපත්තියයි. සෞභාග්‍යමත් රටක් බිහිකිරීමට නම් ජාතික සමගිය අංක එක බව මා යළි යළිත් අවධාරණය කරන්න කැමතියි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න