රටේ අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්! | දිනමිණ


 

රටේ අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්!

අධ්‍යාපනයේ සැලැකිය යුතු වෙනසක් සිදු කිරීමට යනබව රාජ්‍ය මට්ටමින් පැවැත්වෙන සාකච්ඡාවලින් සනාථ වෙයි. ඒ හැරත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ද ජාතික අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන සඳහන් විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වුවමනාවක් ගැන දීර්ඝ කාලයක සිට සංවාද පවත්වා ඇත. ඒවායේ දී සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන සාධක කිහිපයක් තිබිණි. අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර සම්බන්ධයක් නොවීම ඒ අතර ප්‍රධාන වෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පවතින උග්‍ර තරගය, වෘත්තීය අධ්‍යාපනය සඳහා පවතින අඩු ආකර්ෂණය හා අධ්‍යාපනයේ විසමතාවත් සංවාදයට අයත් සෙසු මාතෘකා විය.

නව රජයේ අවධානයට යොමු වී ඇති විශේෂ කරුණු කිහිපයක් ද තිබේ. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම, අ‍.පො.ස. උ/පෙ. සමත් වන සියලු ශිෂ්‍ය ප්‍රජාවට උපාධියක් හැදෑරීම සඳහා ඉඩ - ප්‍රස්ථා සලසා දීම, විද්‍යා හා ගණිත ක්ෂේත්‍රවල උපාධිධාරීන් බිහි කිරීම සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම හා කලා උපාධිධාරීන් සඳහා පරිගණක පුහුණුව ලබාදීම ඒ අතර ප්‍රධාන වෙයි. මේ සෑම පියවරක්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය වෙනසකට හේතුවන බව කිව හැකිය. අධ්‍යාපනයේ ඉහළම අපේක්ෂාව වන්නේ මානව සම්පතට වටිනාකමක් ලබාදීම ය. ඉහත සඳහන් සෑම පියවරක් ම ඊටඅදාළ ය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් රටට හදුන්වා දිය හැකි නම්; එය ඉතා වැදගත් ය. ලෝකයේ සංවර්ධිත රටවල් හැම එකක් ම පාහේ තම දේශයට අනන්‍ය වූ එහෙත් ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි වෘත්තිකයන් බිහි කරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ජපානය,රුසියාව, අමෙරිකාව, චීනය වැනි රටවල් ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. අපේ රටේ පවතින්නේ ආණ්ඩුවෙන්, ආණ්ඩුවට වෙනස් වන අධ්‍යාපන රටාවකි. සෑම ආණ්ඩුවක් ම පාහේ අධ්‍යාපනය සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබේ. ඇතැම් ප්‍රතිසංස්කරණ සාර්ථක ය. ඇතැම් ප්‍රතිසංස්කරණ අසාර්ථක ය. අපට අවශ්‍ය වන්නේ වෙනස් නොවන ශක්තිමත් අධ්‍යාපන රටාවකි.

අධ්‍යාපනය පිළිබඳ සරල විග්‍රහයකට ගියහොත් එහිලා මූලික ප්‍රයත්න දෙකක් ඇති බව පෙනී යයි. පළමු ප්‍රයත්නය වන්නේ විනයගරුක සමාජයක් බිහිකිරීමය. දෙවන ප්‍රයත්නය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය වෘත්තිකයන් බිහි කිරීම ය. මෑතකාලීන අධ්‍යාපනයේ ප්‍රතිඵලය නිරීක්ෂණය කළහොත්, ඉහත කී අංශ දෙකෙන් ම සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නැත. දකුණු ආසියාවේ ඉහළ ම සාක්ෂරතා අනුපාතයක් සටහන් කරගැනීමට අප සමත් වී ඇති’මුත් අධ්‍යාපනයේ සමස්ත ඉලක්කය එයින් පරිපූර්ණ වන්නේ නැත. නූතන අධ්‍යාපනය පැවැතිය යුත්තේ සාක්ෂරතාව ඉක්මවා ගොස් සාර්ථක වෘත්තිකයන් බිහි කරන තැනෙක ය.

ශ්‍රී ලංකාවේ මුල් කාලීන අධ්‍යාපන රටාව පැවැතියේ ආගමට හා සාහිත්‍යයට නැඹුරුතාවක් දක්වමින් ය. නිෂ්පාදන ක්‍රියාවලියට හා ආර්ථිකයට අධ්‍යාපනය ඍජු ලෙස සම්බන්ධ වී ඇති බවක් පෙනෙන්නට නැත. යටත්විජිත අධ්‍යාපනය පවා ආගමට වැඩි බරක් තැබූ බව පෙනෙයි. එහෙත් ඉංග්‍රීසි පාලන සමයේ අධ්‍යාපනය රාජ්‍ය පාලනයට යම් සබඳතාවක් දක්වා ඇත. නූතන ලෝකයේ අධ්‍යාපනය මුළුමනින් ම පාහේ ගොඩනැඟී ඇත්තේ ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය පුහුණු ශ්‍රමය නිර්මාණය කිරීම සඳහා ය. අපට ඉන් බැහැර වී හුදෙකලා අධ්‍යාපනයක් කරගෙන යා නොහැකි ය. එහෙත් නිදහසින් පසුව රටේ පාලනය අතට ගත් නායකයන් ජාතික අධ්‍යාපනය දූරදර්ශී ලෙස හසුරවා ඇති බවක් පෙනෙන්නට නැත.

රටේ නිදහස් අධ්‍යාපන රටාවක් පැවැතියේ වුව අධ්‍යාපන පහසුකම් පිළිබඳ ගැඹුරු විසමතාවක් පැවැතිණි. කොළඹට කිරි ගමට කැකිරි වැනි සටන් පාඨයක් බිහිවන්නේ ද එම පසුබිම තුළ ය. අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර සම්බන්ධයක් ද නොවීය. අධ්‍යාපනය එක පැත්තකට ගමන් කළ අතර රැකියා වෙළෙඳ පොළෙහි ඇබෑර්තු පැවැතියේ වෙනත් පැත්තක ය. දියුණු රටවල් වෘත්තීය කුසලතා සහිත පුද්ගලයන් නිර්මාණය කිරීමට අධ්‍යාපනය යොදාගත් අතර ශ්‍රී ලංකාව ශාස්ත්‍රීය පුද්ගලයන් බිහි කිරීමට අධ්‍යාපනය යොදා ගත්තේ ය. වෘත්තීය අධ්‍යාපනය සඳහා පිළිගැනීමක් හා ආකර්ෂණයක් ද රට තුළ නොපැවතිණි. මේ සියල්ලෙහි ම ප්‍රතිඵලය වූයේ සංවර්ධනය එකතැන පල්වීම ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කොටස නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ නූතන අධ්‍යාපනය, රැකියා වෙළෙඳ පොළ, රටේ සංවර්ධනය හා ලෝක ආර්ථික ප්‍රවණතා පිළිබඳ ගවේෂණයකින් පසු එහි වගන්ති නිර්මාණය කර ඇති බව ය. රටට හා ලෝකයට ගැළපෙන ජාතික අධ්‍යාපනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ඇති වගන්තිවලට අනුව නිර්මාණය කරගත හැකි ය. දැනට ම රජය ගෙන ඇති තීරණයක් වන්නේ ගුරුවරුන් සඳහා උපාධිධාරීන් ම ‍තෝරා ගැනීමට ය. එය සාධනීය පියවරකි. රජය ගෙන ඇති තවත් තීරණයක් වන්නේ විද්‍යා පීඨවලට විශ්වවිද්‍යාල තත්ත්වය ලබාදීම ය. එය ද සාධනීය පියවරකි.

රටේ ඉදිරි ගමනට අවශ්‍ය නූතන ශ්‍රම හමුදාවක් බිහි කිරීමත්; අධ්‍යාපනය ඔස්සේ සමාජ විසමතාවට පිළියම් සෙවීමත් රජයේ ඉලක්කය බව පෙනී යයි. මෙය සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි නම්; රටේ සාධනීය වෙනසක් ඇතිවනු නිසැක ය.

 

නව අදහස දක්වන්න