නාළිකාවලට සුභාවිත ගීත ඇලජික්... රොඩ්නි වර්ණකුල | දිනමිණ


 

නාළිකාවලට සුභාවිත ගීත ඇලජික්... රොඩ්නි වර්ණකුල

ගීත නම් කොතෙකුත් බිහිවෙමින් පවතී. නමුත් ඒ සියල්ලම පාහේ ගීත සාහිත්‍ය පෝෂණය කරන නිර්මාණ ම නොවේ. සුභාවිත ගීතය තවමත් නොනැසී පවතින්නේ එය රැකගැනීමට පැහැදිලි වුවමණාවක් ඇති කලාකරුවන්ගේ කැපවීම මත ය. ඒ අතර ජනප්‍රිය රංගන ශිල්පියකු මෙන් ම ගායන ශිල්පියකු වන රොඩ්නි වර්ණකුල අමතක කළ නොහැකි චරිතයකි. කාලීන තේමාවක් ඔස්සේ පද බැඳුණු “තරු විසිවෙන ගිනි මද්දහනේ” ඔහු හඬ මුසු කරන නවතම ගීතය යි.

ඔබ හඬ මුසු කළ නවතම ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාවට මුලපුරමු නේද?

“තරු විසිවෙන ගිනි මද්දහනේ” පද රචනය කළේ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ. සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග. මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළේ දුමින්ද මල්ලි. දර්ශනගේ සංගීත අධ්‍යක්ෂණය ගැනත් මම හොඳින් අහලා දැකලා තියෙනවා. ඉතිං මමත් එකඟ වුණා වචන දෙකක් නැතුව. අපිට එකතු වෙලා සාර්ථක නිර්මාණයක් බිහි කරන්න පුළුවන් වුණා. නමුත් ඒ සාර්ථක නිර්මාණය විඳින්නෙ එක්තරා සීමිත පිරිසක් පමණයි. මේ ගීතය වෙළඳ සේවයේ සහ ස්වදේශිය සේවයේ ඇහෙනවා. අනෙක් සියලු ම නාලිකාවලට සුභාවිත ගීත ඇලජික්. ඒ නිසා විශාල වශයෙන් නම් ප්‍රතිචාර ලැබෙන්නෙ නෑ. නමුත් ගීතය අහන කිහිපදෙනා ඒ ගැන සතුටින් කතා කරනවා.

මේ වසර තුළ ඔබ ගීත නිර්මාණ කීයකට දායක වුණාද?

මගේ හිතවතුන්ගෙන් ලැබුණු ආරාධනා අනුව මේ අවුරුද්ද පුරා අලුත් ගීත දහයකට දොළහකට පමණ හඬ මුසු කළා. වෛද්‍යවරුන්ගෙ, නාගරික කොමසාරිස්වරුන්ගෙ, නීතිඥවරුන්ගේ පද රචනාත් ඒ අතර තියෙනවා. නමුත් ඒවා වැඩිය ඇහෙන්නෙ නෑ. ලංකාවේ චැනල් නම් එමට ම තියෙනවා. නමුත් ඒ චැනල්වලින් මොකද්ද වෙන්නෙ? ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විතරක් තියෙන කාලේ අපි උදේ පාන්දර ප්‍රබෝධමත් ගීත ඇහුවා. දේශාභිමානී ගීත, රටට වැඩදායි ගීත ඇහුවා. නමුත් දැන් පැය 24 ම ඇහෙන්නෙ අධිවේගී රිද්මයෙන් වාදනය ගීත සහ විලාප ගීත. හොඳ කටහඬවල් තියෙන ඉතාම දක්ෂ තරුණ ගායන ශිල්පීන් තමයි මේ කොන්දක් පණ නැති අය වගේ ආදරය වෙනුවෙන් විලාප නඟන්නෙ. විරහා වේදනාව ගැන ඉස්සරත් ගීත ගැයුණා.

නමුත් ඒ ගීතවල තිබුණා සාහිත්‍යමය රසයක් වගේ ම විවිධත්වයක්. අද අලුත් ගීත 100ක් අරන් බැලුවොත් සීය ම එක වගේ. එක ම අදහස, එක ම තනුව. අපේ ප්‍රවීණ ගේය පද රචකයෝ ඕවට කියන්නෙ හරියට පොලිසියේ පැමිණිල්ලකට තනුවක් දාලා වගේ කියලා. කලා නිර්මාණ සොඳුරු වෙන්න ඕනෙ. හැම කලා නිර්මාණයකින් ම හැම මිනිහෙක්ගෙ ම රසාඥතාව එක දශමයකින් හරි ඉහළට ගේන්න ඕනෙ. සංගීතය කියන්නේ ලලිත කලාවන් අතර සුලලිත කලාව. සංගීතයෙන් මිනිසුන්ව සමනය කරන්න ඕනෙ. සංහිඳියාවකට පත් කරන්න ඕනෙ. එහෙම දේවල් 60, 70 දශකවල ගීතවලින් වුණා. දැන් මුල්තැන දීලා තියෙන්නේ රිද්මයකට සහ හඬකට විතරයි. මේ ගීත ගායනා කරන තරුණයන් විදග්ධ සභාවක් ඉස්සරහා එයාලගේ ගීත ගායනා කරන්න අකමැතියි. ඔවුන් දන්නවා තමන්ගේ ගීතයේ ප්‍රමිතිය. මේවා කිව්වයින් පස්සේ අපිට පතුරු යන්න බනියි. නමුත් මේ තමයි ඇත්ත.

ඔබ චිත්‍රපට, ටෙලිනාට්‍ය මෙන් ම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. මාධ්‍යවේදියෙක්. මේ විදිහට ක්ෂේත්‍ර කිහිපයක ම වැඩ කරනකොට ඔබ තුළ සිටින ගායකයාට ඉස්මතු වෙන්න ප්‍රමාණවත් ඉඩක් ලැබෙනවාද?

පාසලේ මම මුලින් ම ජනප්‍රිය වුණේ ගායකයෙක් හැටියට. පස්සෙ තමයි නළුවෙක් වුණේ. නමුත් ප්‍රසිද්ධ වේදිකාවට එන්නෙ නළුවෙක් විදිහට. ඒ, ගීත ගායනා කරමින්. මගේ ගායන කෞෂල්‍ය නිසා මේ ක්ෂේත්‍රයේ කටයුතු කළ මුළු කාලය පුරා මට බොහෝ විට ලැබුණෙ ගයමින් රඟන්න. රඟමින් ගයන්න. ඉතිං නාට්‍ය වේදිකාවෙදිත් ඉතා ම හොඳින් මා තුළ සිටින ගායකයා ඉස්මතු වෙනවා. “හා හා ළඳේ” සහ “සඳ එළිය වගේ” නමින් මම සංයුක්ත තැටි දෙකක් නිකුත් කළා. “සඳ එළිය වගේ” CD එක මම චැනල් කිහිපයකට දුන්නා. නමුත් ඒ චැනල්වල ප්‍රචාරය වෙන්නෙ නෑ. මොකද මේවා සුභාවිත ගීතනෙ. ඒ CD එකේ තියෙන්නේ රෝහණ වීරසිංහ, ඔස්ටින් මුණසිංහ, නවරත්න ගමගේ, රත්නශ්‍රී විජේසිංහ, ලූෂන් බුලත්සිංහල වැනි ප්‍රවීණයන් සංගීතවත් කළ සහ ගේය පද රචනා කළ ගීත. ඒවා ඉතිං දැන් තියෙන සමහර චැනල්වලට ගෝචර වෙන්නෙ නෑනේ. ඉඳහිට ගුවන්විදුලියේ සහ සිටි එෆ්.එම්. එකේ ප්‍රචාරය වෙනවා.

ඔබේ “හා හා ළඳේ” ගීත එකතුව නිකුත් වුණ කාලේ නම් මීට වඩා වෙනස් මාධ්‍ය සංස්කෘතියක් තිබුණා?

ඒ ගීත එකතුව නිකුත් වුණේ 1999දි. ඇතුළත් වුණේ නාට්‍ය ගීත. ඒ කැසට් පටය හොඳින් අලෙවි වුණා. පස්සෙ කාලෙක ඒ ගීත එකතුව CD එකක් විදිහට නිකුත් කළාම මම කළේ ඒ CD නාට්‍ය දර්ශන පැවැත්වෙන තැන්වල කවුන්ටර්ස්වල තියලා විකුණුවා. නාට්‍ය බලන්න එන ප්‍රේක්ෂකයෝ අතර ඒ වෙනුවෙන් හොඳ ඉල්ලුමක් තිබුණා. මම ඒ සීඩී තැටිය අලෙවි කරගත්තේ ඒ විදිහට. අද තත්ත්වය වෙනස්. කවුරුත් එහෙම කවුන්ටර්ස්වල තිබ්බට සීඩී ගන්නෙ නෑ. නව තාක්ෂණය තුළ අන්තර්ජාලය හරහා අවශ්‍ය ගීත අවශ්‍ය පරිදි බෙදාගන්න පුළුවන්. නමුත් ඔරිජිනල් ගීතය ම මේ අය ළඟ තියෙනවාද? කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා මම මෑතකදී “රොඩ්නි වර්ණකුල (රොඩ්ඩා)” නමින් යූ ටියුබ් චැනල් එකක් නිර්මාණය කරගත්තා. එහි මගේ ගීත ඉතා ම පැහැදිලි ව විස්තරත් එක්ක ම අප්ලෝඩ් කරලා තියෙනවා, කැමති කෙනෙකුට රසවිඳින්න පුළුවන් වෙන විදිහට.

නැවත ගීත එකතුවක් එළිදැක්වීමේ අදහසක් එහෙම නැද්ද?

නෑ. ආයේ කරන්නෙ නෑ. කරලා තේරුමක් නෑ. දැන් යන රැල්ලට අනුව නම් මොකක් හරි පද ටිකක් ඔය මොකක් ම හරි රිද්මයකට දාලා විෂුවල් එකක් කරලා දුන්නා නම් හොඳට ම ඇති. ඒත් මට එහෙම කරන්න වුවමනාවකුත් නෑ.

මෙරට ගීත සාහිත්‍යයට උදා වී ඇති කලදසාව ගැන ඔබේ අදහස?

ගීත සාහිත්‍යයක් කියන්නේ රටක ඉතා වටිනා දෙයක්. ඒ තුළින් රටේ සංස්කෘතිය, සභ්‍යත්වය විදහා දක්වනවා. ග්‍රැමෆෝන් යුගයේ සිට 50,60,70 දශකවල ගීත අදටත් අහන්න පුළුවන්. තාමත් අපි අහන්නෙ, අහන්න කැමති සහ අපේ දරුවන්ට අහන්න දෙන්නෙ ඒ ගීත. නමුත් නාලිකා හරහා යන්නේ වෙන ම මාෆියාවක්. තරුණයන් කැමතියි තමන්ගේ නිර්මාණ හැකියාව එළිදක්වන්න. ඒකට ඉඩක් ලැබෙන්න ඕනෙ. මාධ්‍ය කරන්නේ එක ම ආරේ නිර්මාණ ටිකක් තෝරගෙන ඒවා ඒ අයගේ චාර්ට්වලට ඇතුළු කරලා මිනිස්සුන්ට අහන්න සලස්වනවා. අහන්නෙ නෑ. අහන්න සලස්වනවා. කල් යද්දි සමහරු ඒ දේවල් වැළඳ ගන්නවා. ඇතැම් රසවින්දන වැඩසටහන්වලදි මට අවස්ථාව ලැබෙනවා උසස් පෙළ හදාරන තරුණ තරුණියන් අතරට යන්න.

ඒ වැඩසටහන්වලදී තරුණ දූලා පුතාලා ඇවිල්ලා අපිත් එක්ක ගයන්නේ සුභාවිත ගීත. අමරදේව සර්ගෙ, සුනිල් එදිරිසිංහ මහත්මයාගේ, නන්දා මාලනියගේ ගීත. දවසක් මම ඒ දරුවන්ගෙන් ඇහුවා. “දුවලා පුතා හොඳ ලස්සන ගීත ගායනා කළා. අපි හිතුවේ ඔයගොල්ලො අද අපිට ඇහෙන තරුණ තරුණියන්ගෙ අලුත් ගීත ගායනා කරයි කියලා. නමුත් ඒ එකක්වත් ඔයාලා මේ වේදිකාවේ ගායනා කළේ නෑ. ඇයි ඒ? ” කියලා. එතකොට මේ දරුවො දීපු උත්තරය තමයි “රොඩ්නි මාමා, අපි අහන ගීතත් තියෙනවා. අපිට අහන්න සලස්වන ගීතත් තියෙනවා. අපි අහන, අපි අහන්න කැමති ගීත තමයි අපි අද ගායනා කළේ.” ඒකෙන් ම පේනවා අද තරුණතරුණියන් හොඳ තැනක ඉන්න බව. ඔවුන්ව වැරදි තැනකට ගේන්න උත්සාහ ගන්නේ අපේ මාධ්‍ය සංස්කෘතිය යි. ගීතය වගේ ම වෙනත් කලා නිර්මාණ ගත්තත් බොහෝ විට අපි යා යුතු තැන එක පැත්තක තිබියදී යවන තැන වෙනස් කරනවා,

මාධ්‍ය මැදිහත් වෙලා. කලාව, සාහිත්‍ය සහ රසවින්දනය හොඳ පැත්තට යොමු වෙනවා කියන්නෙ රටේ දියුණුවේ එක කොටසක්. නමුත් ඉතිං අපි නැවත නැවත කල්පනා කරන්න ඕනෙ නාලිකා හරහා අපිට ලැබෙන රසවින්දනය කොයිතරම් දුරට යහපත් ද? කියන කාරණාව. ඒ ගැන සතුටු වෙන්න බෑ. කලාවට සම්බන්ධ ශිල්පියෙක් හැටියට මම විශ්වාස කරන්නේ රටක ජනතාවගේ මනස හදන්න නම් ආකල්ප සහ සිතුවිලි යහපත් කරන්න නම් අපි යහපත් කලාවක් ඇසුරු කළ යුතු බව යි.

 

 

සංවාදය

කාංචනා සිරිවර්ධන

 

නව අදහස දක්වන්න